අගමැතිට එරෙහි විශ්වාසභංග බැහැ | දිනමිණ

අගමැතිට එරෙහි විශ්වාසභංග බැහැ

ස්වර්ණා විජේකෝන්

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව අගමැතිවරයා ඉලක්ක කරමින් විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට ප්‍රතිපාදන නොමැති බව ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා පවසයි.

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ විශ්වාස භංග යන වචනය පවා සඳහන් වන්නේ 48( 1 ) වගන්තිය යටතේ බවත් යම් හෙයකින් විශ්වාස භංග යෝජනාවක් ගෙන එන්නේ නම් එය ගෙන ආ යුත්තේ ජනාධිපතිවරයා,අගමැතිවරයා ප්‍රමුඛ සමස්ථ ආණ්ඩුවට එරෙහිව බවත් ඇමතිවරයා පැවසීය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ආණ්ඩුව විශ්වාස භංග යෝජනාව පරාජය වුවහොත් පෙර පැවැති ආකාරයට ජනාධිපතිවරයාට බලතල භාවිත කළ නොහැකියි. ඒ වගේම කතානායකවරයාට අග්‍ර විනිශ්චයකාරවරයාගේ මතය විමසා තාවකාලිකව ජනාධිපති ධූරයේ වැඩ බැලිය හැකියි.

එහෙත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රජාතන්ත්‍රවාදි නායකයකු ලෙස තමන්ට එරෙහිව ගෙන ආ විශ්වාස භංග යෝජනාව කල් නොයවා විවාද කිරීමට අවස්ථාව ලබාදුන් බවත් ඇමතිවරයා සඳහන් කෙළේය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුගමණය කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදිය හැකි පහසුම අවස්ථාවේ විශ්වාස භංග යෝජනාව පිළිබඳ විවාදයට අවස්ථාව ලබාදුන් සේම මෙම යෝජනාව නියත වශයෙන්ම විපක්ෂය පරාජයට පත්වන බවත් ඇමතිවරයා සඳහන් කෙළේය.

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පවා නිවැරදි ලෙස අධ්‍යයනය නොකර මෙවැනි විශ්වාස භංග යෝජනා ගෙන එන්නේ දේශපාලන අරමුණු වෙනුවෙන් බවත් ඇමතිවරයා පැවසීය.

ඇමති වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේ සිරිකොත පක්ෂ කාර්යාලයේදී ඊයේ (28) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ යම් හෙයකින් විශ්වාස භංග යෝජනාවක් ගෙන එන්නේ නම් ආණ්ඩුව ප්‍රකාශ කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉටුකිරීමට අපොහොසත් වීම, මුදල් පනත් සම්මත කිරීමට අපොහොසත් වීම, විසර්ජන පනත් කෙටුම්පත සම්මත කිරිමට අපොහොසත් වීම ආදිය වෙනුවෙන් ගෙන ආ හැකි අවස්ථාව ඇති බවත් ඇමතිවරයා පැවසීය.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් නිදොස් කොට නිදහස් කඑන ලද කරුණු පදනම් කර ගනිමින් ඉදිරිපත් කර ඇති මෙම විශ්වාස භංග යෝජනාවේ කිසිඳු පදනමක් නොමැති බවත් ඇමතිවරයා සඳහන් කෙළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති වජිර අබේවර්ධන මහතා මෙසේද පැවැසීය.

ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එන විශ්වාස භංග යෝජනාව යම් හෙයකින් විපක්ෂය ජයග්‍රහණය කළහොත් අගමැති වරයාගේ හා ජනාධිපතිවරයාගේ කාර්යයන් පිළිබඳ වැඩ බැලීමේ වගකීම කතානායකවරයා වෙත පැවරෙනවා.19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැතිවරයාට එරෙහිව පමණක් විශ්වාස භංග යෝජනාවක් ගේන්න බැහැ.19 වැනි ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් දැරිය යුතු ඇමැති ධූර පවා සඳහන් කර තිබෙනවා.2020 වනතෙක් ඒ ඇමති ධූර ජනාධිපතිවරයාට දැරිය හැකියි.

නව අදහස දක්වන්න