චරිතවලට කොටු වෙන්න මම කැමැති නෑ | දිනමිණ

චරිතවලට කොටු වෙන්න මම කැමැති නෑ

නයනතාරා වික්‍රමාරච්චි

මේ දිනවල තිරතග වන ‘එක දවසක අපි’ සිනමාපටයෙන් සිනමාවේ දොරට වැඩුම සනිටුහන් කරගත් ඇය, නයනතාරා වික්‍රමාරච්චි ය. ටෙලි නාට්‍ය නිළියක ලෙස ප්‍රේක්ෂකයන් දැනහඳුනා ගත් ඇය, මේ දිනවල අතිශයින්ම ජනප්‍රියත්වයට පත්ව තිබෙන ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යයේ ‘දෙව්මි’ ලෙසින් රගපාන්නී ය. වෙළෙඳ දැන්වීම් නිරූපණ ක්ෂේත්‍රය තුළ ද ඇය සුවිශේෂී චරිතයකි.

* ඔබගේ සිනමා ප්‍රවේශය පිළිබඳ කතා කළොත්?

එක දවසක අපි’ කියන්නෙ මම සිනමා රංගනයෙන් පළමු වතාවට රසිකයන් අතරට එන නිර්මාණය . එහි මම රඟපාන්නෙ පාරමී කියන විශ්වවිද්‍යාල සිසුවියගේ චරිතය. ගමෙන් නගරයට ඇවිත්, නාගරික සමාජය තුළ ජීවිතය හඳුනා ගන්න උත්සාහ කරන යුවතියක් විදිහටයි මම පාරමී හඳුන්වන්නෙ.

නවකයෙක් විදිහට සිනමාවට පැමිණෙද්දි, ක්ෂේත්‍රයේ අත්දැකීම් තිබෙන පිරිසකුයි මට හමු වුණේ. නවකයෙක් විදිහට මා ආදරයෙන් පිළි අරන්, ඔවුන් සතු අත්දැකීම් මා වෙත ලබා දෙමින්, පාරමීගේ චරිතය සාර්ථකව නිරූපණය කිරීමට සහය දුන් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන අනුරුද්ධ ජයසිංහ මහතාට මගේ පළමු ස්තූතිය හිමි වෙනවා. එහි ප්‍රධාන පිරිමි චරිතය නිරූපණය කරන පුබුදු චතුරංග අයියා මට හොඳ සහයෝගයක් ලබා දුන්නා. ඒ වෙනුවෙනුත් මම ඔහුට ආචාර කරනවා.

* රූපවාහිනිය හඳුනාගෙන සිටි නිළියක වූ ඔබ, සිනමාව හඳුනා ගත්තෙ කොහොමද?

රූපවාහිනියත් හොඳයි. ටෙලි නාට්‍යයටා වඩා සියුම් විදිහට , සිනමා තිරය මත අපේ රංගනය ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙනවා. ඒ නිසා , සිනමා රංගනයේදී, දැනුමක් වගේම, සතතාභ්‍යාසය අවශ්‍යයි. සිනමාවේ හොඳ ගමනක් යන්න නම් ,හොඳ හැදෑරීමක් කළ යුතුයි.

* මේ වෙද්දි රංගනය හැදෑරීමට ඔබගේ අවධානය යොමු වෙලාද?

රංගනයට එන්න පෙර ධර්මජිත් පුණර්ජීවගේ ‘මායාශක්ති’ රංග ශිල්පශාලිකාවේ වසරක් පමණ මම රංගනය හැදෑරුවා. ඒත්, රංගනය කියන එක හදාරලා අවසන් කරන්න පුළුවන් විෂයක් නෙමෙයි. ඒ ගැන හැමදාමත් ඉගෙන ගන්න ‍දේ තියෙනවා. මෙය, පරක් තෙරක් නැති විෂයක්. මම මේ වනවිටත් රංගනය තුළින් රඟපෑම ඉගෙන ගනිමින් සිටිනවා.

* ඔබ රංගනයට පිවිසීමට පෙර, රංගනය හැදෑරුවෙ, අනාගතය ඉලක්ක ගැන හිතලද?

රංගනය හැදෑරීම අහම්බයක් නෙමෙයි. මම රංගනය ඉගෙන ගන්න එන්නෙ, රංගනය ගැන මගේ තිබුණු කැමැත්ත නිසයි. ඒත් , රංගනයට කැමැත්තක් තිබුණා කියලා මේ තරම් ඉක්මනින් ප්‍රේක්ෂකයන් අතරට එන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ.

* ඔබගේ පළමු ටෙලි රංගනය මොකක්ද?

ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්මයාගේ ‘හංස පිහාටු’ ටෙලි නාට්‍ය තමයි මගේ පළමු රංගනය. ඊට පස්සෙ සමන් කුමාර ලියනගේ අධ්‍යක්ෂවරයාගේ ‘එරන් ලන්දු’ ටෙලි නාට්‍යයේ චරිතයක් රඟපෑවා. ‘දෙවෙනි ඉනිම’ කියන්නෙ මගේ තුන්වැනි ටෙලි නාට්‍යයයි.

* ඔබට වාසනාව ගෙනා ටෙලි නාට්‍ය චරිතය වෙන්නේ දෙව්මිද?

දෙව්මි කියන්නෙ මම පෞද්ගලිකව ආදරය කරන කෙනෙක්. දෙව්මි චරිතයට ආදරයෙන් රඟපාන නිසා වෙන්නැති, දෙව්මි මේ තරම් ප්‍රේක්ෂකයන්ට සමීප වෙන්නෙ.

* ඉක්මන් ජනප්‍රියත්වය, ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයට බලපානවද?

මම පෙර පැවසුවා වගේ, ඉක්මනට ජනප්‍රියත්වයට ළං වෙන්න ඕනැ කියලා ආපු ගමනක් නෙමෙයි මේ. එය මම නොදැනුවත්ව, නොහිතුව විදිහට සිද්ධ වුණ දෙයක්. මම කළේ මට ලැබුණු දෙව්මිගෙ චරිතයට මගේ උපරිමයෙන් සාධාරණයක් ඉටු කරපු එක විතරයි. කෙනෙක්ට ජනප්‍රියත්වය ලැබුණා හෝ නොලැබුණා, මේ ක්ෂේත්‍රයේ දිගටම රැඳෙනවාද කියන එක තීරණය වෙන්නෙ, තමන් මොනවද කරන්නෙ? තමන් රැකෙන්නෙ කොහොමද? කියන දේ මතයි.

* ඉදිරි කාලයේ ඔබගේ රංගනය අපට දකින්න ලැබෙන්නෙ මොන වගේ නිර්මාණවලින්ද?

තව චිත්‍රපට දෙකක් එන්න තියෙනවා. ඒ චිත්‍රපට දෙක ම වාණිජ මට්ටමේ චිත්‍රපට. චන්න පෙරේරා අධ්‍යක්ෂවරයාගේ ‘භවාත්මා’ ටෙලි නාට්‍යයෙත් මගේ රංගන ඇතුළත්. ‘එක දවසක අපි’ කියන්නේ කලාත්මක සිනමාපටයක්. මගේ ඉදිරි නිර්මාණවලින් මීට හාත්පසින් වෙනස් රංගනයන් දකින්න ලැබේවි.

* ඒ කියන්නෙ, ඔබ ගත කරන්නෙ කාර්ය බහුල කාලයක් කියන එකද?

ඔව්. තරමක් කාර්යබහුලයි.

* මේ වගේ වැඩ රාශියක හිරවෙලා හිටියහම, සාර්ථකව රංගනයේ යෙදීමට ඇති අවස්ථා ඇහිරෙනවා කියලා ඔබ හිතෙන්නේ නැද්ද?

මම අලුත් කෙනෙක් විදිහට, සමහරු කියන්න පුළුවන් මෙහෙම කරන එක වැරැදියි කියලා. ඒත්, මම නවකයෙක් වුණත්,චරිත ලැබුණා කියලා හැම එකම බදා ගන්නෙ නැහැ. නිර්මාණ ඕන තරම් අත්හරිනවා. මට උපරිමයෙන් සාධාරණයක් කරන්න පුළුවන් සීමීත චරිත ප්‍රමාණයක් විතරයි මම බාර ගන්නෙ. මම වැඩ ගොඩක හිරවෙලා නැහැ. එකිනෙක චරිතවල වෙනස්කම් තෝර ගන්න බැරි තරමට මම කාර්ය බහුල නැහැ. මම මා තුළම සිරවෙලා වැඩ කරන්න කැමැති නැහැ. කලාකරුවො එහෙම වෙන්න හොඳ නැහැ කියලයි මම හිතන්නෙ.

* ඔබ තවමත් වේදිකා රංගනයෙන් දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඒ මොකද?

මායාශක්ති රංග ශිල්ප ශාලිකාවේදි රංගනය හැදෑරුවට පස්සෙ, මම ප්‍රසිද්ධ වේදිකාවට ආවා. ඒ, බර්ටෝල් බ්‍රෙස්ට්ගේ කෘතියක රඟපාමිනුයි. ඒකෙන් පස්සේ, මට වේදිකාව වෙනුවෙන් කාලය වෙන් කර ගන්න අවස්ථාවක් උදා වුණේ නැහැ. ඇරියුම් ලැබුණත්, මගේ චරිතයට වගේම නිර්මාණකරුවාට සාධාරණයක් ඉටු කළයුතු නිසා, මම ඒ වගේ දේ බාර ගත්තෙ නැහැ.

* ඔබගේ රංගන දිවියේ ඉදිරි අපේක්ෂා මොනවද?

කලා ක්ෂේත්‍රයේදි මා දන්න පිරිස සහ මගේ ප්‍රේක්ෂකයන්ට මා දකින්න ලැබෙන මෙගා ටෙලි නාට්‍ය දෙවෙනි ඉනිම. මගේ පළමු සහ අවසාන මෙගා ටෙලි නාට්‍ය වෙන්නේ දෙවෙනි ඉනිමයි. මින් ඉදිරියට සීමිත කොටස් ප්‍රමාණයක් තියෙන, මුල ඉඳන් අවසානය දක්වාම තිර රචනය තියෙන ටෙලි නාට්‍ය හා චිත්‍රපටවලට විතරයි මගේ දායකත්වය ලබා දෙන්න අදහස් කරන්නෙ. ඒ හැරුණහම, සිනමාවට වැඩි නැඹුරුවක් දක්වන්නත් බලාපොරොත්තු වෙනවා.

* ඉදිරි කාලයේ ඔබේ අරමුණ, වෘත්තීය නිළියක් වීමද?

වෘත්තීය නිළියකට වඩා, හොඳ රංගනයක් ඉදිරිපත් කළහැකි මට්ටමේ නිළියක වීමටයි මම මඟ හෙළි කර ගනිමින් ඉන්නෙ. නළු නිළියන් විදිහට අපට කොන්ද කෙළින් තියාගෙන තීරණයක් ගන්න පුළුවන් පසුබිමක් අපි හදාගන්න ඕනැ කියලා මම හිතනවා. ලැබෙන හැම නිර්මාණයක්ම බාර නොගෙන හිටියොත් තමයි, හොඳයි කියන චරිත තෝරා බේරා ගන්න අපට ශක්තියක් ලැබෙන්නෙ. ඉදිරි කාලයේදී රංගනයට අමතරව, ව්‍යාපාරික පැත්තෙන් කටයුතු කරන්න අදහසක් තියෙනවා.

* මේ වනවිට ඔබ රංගනයට පෙරුම් පුරාගෙන සිටින චරිත මොනවද?

යොවුන් පෙම්වතියගේම චරිතයට සිරවී සිටින්න මගේ කැමැත්තක් නැහැ. මම කැමැතියි කටුකත්වය අත්විඳින කාන්තා චරිතවලට පණ පොවන්න. ඒ වගේ ම, මන්දමානසික තත්ත්වයෙන් පෙළෙන කෙනකුගේ චරිතයක් පිළිබඳත් මගේ හිතේ කැමැත්තක් තියෙනවා.

* ඔබගේ පෞද්ගලික තොරතුරු මොනවද?

මගේ ගම සඳලංකාව. මම අධ්‍යාපනය ලැබුවේ සඳලංකාව මධ්‍ය විද්‍යාලයෙන්. මේ වෙද්දි අපි පදිංචිවෙලා ඉන්නෙ වැලිවේරියෙ. මගේ පවුලේ ඉන්නෙ අම්මයි, තාත්තයි , ආච්චියි, මමයි.

* නිළියක් විදිහට තමන් කරන දේ පිළිබඳ ඔබ ස්වාධීනව තිරණ ගන්නා කෙනෙක්ද?

ඔව්. බොහෝ දුරට චරිතයක් ලැබුණහම මම ඒක කරනවද? නැද්ද? කියලා තීරණය කරනවා. ඒ වුණාට , අම්මලගෙනුත් අහලා මම උපදෙස් ලබා ගන්නවා.

ධම්මිකා සුරංජි පතිරණ

නව අදහස දක්වන්න