ආගමික ස්ථානවල ආරක්ෂාවට හැකි සෑම පියවරක්ම ගන්නවා | දිනමිණ

ආගමික ස්ථානවල ආරක්ෂාවට හැකි සෑම පියවරක්ම ගන්නවා

අගමැති රනිල් වික්‍රමසිංහ

ආගමික ස්ථාන ආරක්ෂා කිරීමට රජයක් හැටියට කළ හැකි සියලු දේ කරන බවත් ඒවායේ සංවර්ධනය සඳහා ප්‍රදේශවාසී ජනතාවගෙන් ලැබෙන නොමසුරු දායකත්වය ඉතා අගය කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ගාල්ල උඩුගම ශ්‍රී ශාසනාලංකාරාම පුරාණ විහාරස්ථානයේ බෝධිරාජ මහ පෙරහරේ මංගල හස්තියා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමත් සමඟ පැවැති උත්සව සභාව අමතමිනි.

රජයක් හැටියට වෙහෙර විහාරස්ථාන, ආගමික ස්ථාන ආරක්ෂා කිරීමට අපි කැප වෙනවා. උතුර, උතුරු-නැ‍ඟෙනහිර, උතුරු මැද ආදී පළාත්වල නටඹුන් වී ඇති ආගමික ස්ථාන රැසක් තිබෙනවා. මේවා රැක ගැනීමට අපි කටයුතු කළ යුතුයි. අතීතයේ තිබු ශ්‍රී විභූතිය වර්තමාන සහ අනාගත පරම්පරාවලට දැක ගැනීමට සැලැස්වීම අපගේ වගකීමක්. මේ සඳහා අපගේ උත්සාහයට සහාය ලබාදෙන ලෙස සියලු දෙනාගෙන් මා ඉල්ලා සිටිනවා.

කොළඹ වෙහෙර විහාරස්ථාන සංවර්ධනය සඳහා ආධාර උපකාර කොතෙකුත් ලැබෙනවා. නමුත් ගම්බද ප්‍රදේශවලට එහෙම නෑ. ඒ නිසා ග්‍රාමීය ප්‍රදේශවල විහාරස්ථාන සංවර්ධයට ආධාර උපකාර ලබාදිය යුතු වෙනවා.

රජය මගින් ප්‍රධාන නගර ආශ්‍රිතව විශාල සංවර්ධන වැඩ ආරම්භ කර තිබෙනවා. මේවාට සමගාමීව කුඩා නගර සංවර්ධය කිරීම් කරනවා. ඒ සඳහා ජනතා නියෝජිතයන්ගෙන් ලැබෙන යෝජනා අප සලකා බලනවා.

මෙම උත්සවය අමතා වත්මන් පාලක විහාරාධිපති උඩුගම සාරානන්ද හිමිපාණන් සහ ගාල්ල මහ දිසාපති එස්.ටී.කොඩිකාර මහතා ද කතා කළ අතර, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන සුනිල් සේනානායක, සුමනසිරි ලියනගේ, සංජීව් කරුණාතිලක, පෙරහරේ ප්‍රධාන බාරකාර නිලමේ අනුර චන්ද්‍රසිරි, ව්‍යාපාරික ඉන්දික සම්පත් මායාකඩුව යන මහත්වරුද සහභාගී වුහ.

හිනිදුම විශේෂ රවීන්ද්‍ර ලියනගේ

නව අදහස දක්වන්න