කෝටි 6ක් වැයකර හැදූ ඉංගිරිය පුස්තකාලයේ නඩත්තුව හරි හැටි නෑ | දිනමිණ

කෝටි 6ක් වැයකර හැදූ ඉංගිරිය පුස්තකාලයේ නඩත්තුව හරි හැටි නෑ

 * වැහි වතුර ඇතුළට * මදුරු ආකර

දැනට වසර 5කට පෙර රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් වැය කර ඉදි කරන ලද හොරණ ප‍්‍රාදේශීය සභාවේ බල ප්‍රදේශයට අයත් ඉංගිරිය මහජන පුස්තකාලය ඉදි කර මේ වන තුරු අලුත්වැඩියාවක් නොකිරීම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බව එම පුස්තකාලය පරිහරණය කරන පාඨකයෝ පවසති.

වැසි දිනවල පුස්තකාලයේ ශ්‍රවණාගාරයේ වහලයෙන් වතුර කාන්දු වන අතර එම වතුර පහළ මාලය දක්වා ගලා යයි. ගොඩනැඟිල්ල ඉදි කිරීමේදී බුදු මැඳුරක් ඉදි කිරීමට සැලසුම් කර තිබුණද එය ඉදි නොකරන ලද අතර එය එම තත්වයෙන්ම පවතී. බුදු මැඳුර ඉදි කිරීමට යෝජිත ස්ථානයේ වැසි වතුර එක් රැස වන අතර මදුරුවන් බෝවන ස්ථානයක් බවට පත්ව ඇත.

මෙම පුස්තකාලය මහල් තුනකින් සමන්විත වන අතර දෙවැනි හා තෙවැනි මහල් සඳහා ජලය ලබා ගැනීමට ජල නල සවිකර නොමැති අතර වෙනත් විකල්ප මාර්ගයකින් එම මහල් සඳහා ජලය ලබා ගැනීමට සිදු වී ඇත.

පුස්තකාලයේ වහලයත් බිත්තියත් අතර දැල් ආවරණයක් ‍නොමැති බැවින් පරෙවියන්ගේ ළැගුම්හල් බවට මෙහි වහලය පත්ව ඇත. ඒ හෙයින් නිතර බිත්ති අපිරිසුදු වන බව ඔවුහු පවසති.

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය මඟින් මෙම පුස්තකාල ගොඩනැඟිල්ලේ ආවරණයක් රහිත හිස් ඉඩ කඩක කෞතුකාගාරයක් ස්ථාපිත කර ඇත. මෙම ස්ථානයේ උඩ ආවරණයක් නොමැති බැවින් එම වටිනා භාණ්ඩ විනාශ වෙමින් පවතී.

එමෙන්ම පැරණි පුස්තකාල ගොඩනැඟිල්ල විනාශ වමින් පවතී. දැනට වසර 100 කට පමණ ඉහතදී ගම් සභා කාර්යාලයක් පවත්වාගෙන ගිය මෙම ගොඩනැඟිල්ල නව පුස්තකාලය ඉදි කිරීමත් සමඟ පරිහරණය නොකර පවතී. මෙම පුස්තකාල ගොඩනැගිල්ල පිරිසුදු කිරීමේ නටයුතු සඳහා ඇත්තේ කම්කරුවන් දෙදෙනකු පමණි.

 

 

සටහන සහ ඡායාරූප
කුමාරි ගමගේ ඉංගිරිය සමූහ

නව අදහස දක්වන්න