ලස්සන පිපිරුම් | දිනමිණ

ලස්සන පිපිරුම්

මංජුලා විජයරත්න

ගිනි කෙළිවලින් සිත්තම් කෙරුණු රෑ අහස කෙතරම් මනහරද?. ජාතික උත්සව, මංගල උත්සව ආදී ප්‍රිය සම්භාෂණ ආදිය පමණක් නොව ආදාහන කටයුතුවලදීත් ගිනි කෙළි භාවිතයට ගැනේ. එමෙන්ම සියවස් ගණනාවක් ඈත අතීතයේ සිට ගිනිකෙළි පැවැත්වෙමින් තිබේ. එසේ වුවත් ගිනි කෙළි කලාවක් ලෙස හඳුනා ගත් පිරිස අල්ප ය. ගිනි කෙළි නිෂ්පාදනයෙහි පුරිගාමියා චීනයයි. චීනුන් ගිනි කෙළි සොයා ගත්තේ හත්වන සියවසේදී පමණ ය. එකල පවා ඔවුන් ගිනි කෙළි පවත්වමින් සිය සංස්කෘතික උත්සව පැවැත් වූ බව ඉතිහාසයේ දැක්වේ. ගිනිකෙළි සංදර්ශන චීනයට පමණක් අද සීමා වී නැත. කලාවේත් විද්‍යාවේත් මේ අසිරිමත් සංකලනය ඒ නිසා අද ව්‍යාපාරයක් ලෙස පුළුල් වී තිබේ. එසේ වුවත් සෑම මල් වෙඩිල්ලක්ම අදටත් නිපදවෙන්නේ මිනිස් දෑත්වලින් පමණක්ම බව බොහෝදෙනකු දන්නේ නැත.

ජිඇන්ග්ෂි සොන්ග්සෙන් යනු චීනයේ ස්ථාපිත විශාලතම ගිනි කෙළි කර්මාන්ත ශාලාවකි. එහි හිමිකරු හොංග්යොන්ග් පවසන්නේ තමන් වසරකට මල්වෙඩි පෙට්ටි 30,000කට අධික සංඛ්‍යාවක් විදේශයන්ට අලෙවිකරන බවකි. ඒ සියලු මල්වෙඩි නිමවෙන්නේ පුද්ගල සමූහයකගේ නිර්මාණශීලිත්වය දෑත්වල ශක්තියට මුසුවෙමිනි.

“සියලුදෙනා සන්තෝෂයට පත්වෙන කලාවක් ලෙස අප එය හඳුනාගෙන තිබෙනවා. ඒ වුණත් මල්වෙඩි නිෂ්පාදනය වෙන්නේ හුඟක් සංකීර්ණ සහ දුෂ්කර ක්‍රියාවලියක් හරහා. ඒ සඳහා විශාල කාලයකුත් වැය වෙනවා” කියා ඔහු පවසයි.

සෑම මල් වෙඩිල්ලක්ම නිපදවෙන්නේ කුඩා පිපිරුමක් ඇති කරන අග්නි තාක්ෂණික (පයිරෝ ටෙක්නික්) මෙවලම් සහිතවය. ශබ්දය, ආලෝකය, දුම මෙන්ම ප්ලවන ද්‍රව්‍ය (සරුව පිත්තල ආදිය) මල් වෙඩිල්ලකට අලංකාරයක් සපයයි. මේ සියල්ල එකතු කෙරෙන්නේ 'තරු' වශයෙන් නම් කරනු ලැබූ පුපුරණ සුළු කුඩා බෝලවල තුළය. එම 'තරු' වෙඩි බෙහෙත් සමඟත් මුසු කෙරේ. මල් වෙඩිල්ලක තරු අසුරන්නේ විවිධ මෝස්‌තර මැවෙන අන්දමටයි. මල් වෙඩිල්ලට ඇතුළත් කෙරෙන එම මෝස්‌තරවල හැඩතල සමහර අවස්ථාවලදී නිර්මාණය වන්නේ ගැනුම්කරුගේ අවශ්‍යතාවය මතය.

නව අදහස දක්වන්න