දුම්පානය අඩු වීම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්වල සාර්ථකත්වයට සාක්ෂියක් | දිනමිණ

දුම්පානය අඩු වීම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්වල සාර්ථකත්වයට සාක්ෂියක්

මත්ද්‍රව්‍ය පාලනය, මර්දනය, නිවාරණය සම්බන්ධයෙන් ගෙනගිය වැඩසටහන් මඟින් මේ වන විට ජයග්‍රහණ රාශියක් අත් කරගෙන ඇති අතර ඒ ප්‍රතිඵල තොරතුරු සහ දත්ත පදනම් කරගෙන කතා කළොත් පසුගිය අවුරුදු කීපය තුළ දුම්පානය අඩු වීම ඒ බව පැහැදිලිව පෙන්වන සාක්ෂියක් සේම සෞඛ්‍ය ක්ෂේත්‍රය වගේම මේ රටේ ජනතාව ලැබූ විශිෂ්ට ජයග්‍රහණනයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා ඒ බව පැවසූවේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පැවැත්වුණු ‘ගම හදා ගමු‘ ග්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

අපි පසුගිය අවුරුදු10කට ආසන්න කාලයක් මත්ද්‍රව්‍ය පාලනය, මර්දනය, නිවාරණය සම්බන්ධයෙන් ගෙනගිය මෙවැනි වැඩසටහන් මගින් මේ වන විට ජයග්‍රහණ රාශියක් අත් කරගෙන තිබෙනවා. ඒ ප්‍රතිඵල තොරතුරු සහ දත්ත පදනම් කරගෙන කතා කළොත් පසුගිය අවුරුදු කීපය තුළ දුම්පානය අඩුවීම ඒ බව පැහැදිලිව පෙන්වන සාක්ෂියක්.සෞඛ්‍ය ක්ෂේත්‍රය වගේම එය මේ රටේ ජනතාව ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක්. සෞඛ්‍යසම්පන්න ජනතාවක් බිහිි කිරීමත් අධ්‍යාත්මික සංවර්ධනයෙන් යුත් ජනතාවක් බිහි කිරීමේ කාර්යයේදීත් මත්ද්‍රව්‍ය මොන තරම් අභියෝගයක්ද කියන එක ඔබ අප සෑම කෙනෙක්ම දන්නවා. මෙහි සිටින සියලූම රාජ්‍ය නිලධාරි මහත්ම මහත්මීන් කාර්ය මණ්ඩල පසුගිය අවුරුදු කීපය තුළ මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය මෙන්ම පාලනය පිළිබඳව අපි ක්‍රියාක්මක කළ ජාතික ප්‍රාදේශීය ග්‍රාමීය වැඩසටහන් සමඟ සම්බන්ධ වූවා.

අද රත්නපුරේ පවත්වන්නේ නව වැනි වැඩසටහනයි. අපි යාපනයේත් මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කළා. මත්ද්‍රව්‍ය පිළිබඳව අපේ රටට තිබෙන අභියෝගවලදිඒ සඳහා මුහුණදීමට අප සෑම කෙනෙක්ම සාමූහික වගකීමක් සහ සාමූහික ප්‍රයත්නයක් දැරිය යුතු බව අපි තේරුම් ගත යුතු වෙනවා. මත්ද්‍රව්‍ය පිළිබඳව ප්‍රශ්නය අද ඊයේ ඇති වුණු ප්‍රශ්නයක් නොවෙයි. මත්ද්‍රව්‍යයයේ ආදීනව පිළිබඳව බුදුරජාණන් වහන්සේ පන්සිල් පද පහ තුළ පැහැදිලිව දේශනා කරලා තිබෙනවා. බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේදීත් මත්ද්‍රව්‍ය සමාජයට මොන තරම් අභියෝගයක් වී තිබුණාද කියන කාරණය අප සෑම කෙනෙකුම දන්නා වූ දෙයක්.

ඒවගේම වර්තමාන තත්ත්වය පිළිබඳව කතා කරන විට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් මත්කුඩු, අරක්කු, ගංජා නැත්නම් මද්‍යසාර, නීතිවිරෝධී මත්ද්‍රව්‍යවලට ජනතාව ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රචාරණය යොදා ගන්නා ආකාරය පිළිබඳව අවබෝධයක් අප සියලූ දෙනාටම තිබිය යුතුයි.

ලංකාවේ දවසකට මත්ද්‍රව්‍ය නිසා මිය යන සංඛ්‍යාව ඔබ දන්නවා. සිගරට්වලින් කොච්චරද? අරක්කුවලින් කොච්චරද? මත්කුඩුවලින් කොච්චරද? මේගණන් මිණුම් ඔබ සෑම කෙනෙක්ම දන්නවා. මේවා පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් තිබෙනවා. රත්නපුර දිසා ලේකම්තුමිය පිළිගැනීමේ කතාව කරමින් රත්නපුර දිස්ත්‍රික්කයේ මාසිකව අලෙවි වන සිගරට් සහ අරක්කුවල ප්‍රමාණය කිව්වා. එය රුපියල් කෝටි තුන්සිය අසූවකට වැඩියි. කොළඹ වගේ දිස්ත්‍රික්කයක් ගත්තොත් මාසිකව අලෙවි වන සිගරට් අරක්කු රුපියල් කෝටි 700කට වැඩියි. මේ කතා කරන්නේ නීත්‍යානුකූලයි කියන මත්ද්‍රව්‍ය පිළිබඳව.

නීත්‍යානුකූල සහ නීත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍ය කියලා දෙකක් තිබෙනවා. නමුත් මේ දෙකම සමාජයට කරන විනාශය ඉතාම බරපතළ බව ඔබ දන්නවා. මේ සංඛ්‍යා ලේඛනවලින් පෙන්වන්නේ රජයේ බලපත්‍ර තිබෙන නීත්‍යානුකූලව විකුණන මත්ද්‍රව්‍ය පිළිබඳව පමණයි. නමුත් බලපත්‍ර නැති නීති විරෝධී කියලා හඳුන්වන මත්ද්‍රව්‍ය පිළිබඳ සංවාදයට සාකච්ඡාවට ලක්විය යුතුයි.

මීට අවුරුදු දෙකකට කලින් පාසලක තිබුණු මෙවැනි මත්ද්‍රව්‍ය වැඩසටහනකදි දරුවන්ට ප්‍රශ්නයක් අහන්න දුන්න අවස්ථාවක එක දරුවකු මගෙන් ඇහුවා ජනාධිපතිතුමා මෙච්චර මහන්සි වෙන්න ඕනෙද මෙච්චර මේවැඩසටහන් තියන්න ඕනෙද ලංකාවේ මේ අරක්කු සිගරට් තහනම් කළා නම් ඉවරනේ ඇයි බලපත්‍ර දෙන්නේ කියලා ඇහුවා. ඒ දරුවා අහපු ප්‍රශ්නයට උත්තරය බොහෝම දීර්ඝ උත්තරයක්. ඒ ප්‍රශ්නය වගේම උත්තරය ඉතා සංකීර්ණයි.

අපි දන්නවා මත්ද්‍රව්‍ය සමාජයෙන් ඉවත් කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ මෙන්ම අනිකුත් ආගමික ශාස්තෲන් වහන්සේ සමාජයට කරුණු පැහැදිලි කරලා තිබෙනවා. අනගාරික ධර්මපාලතුමා මත් උවදුර තුරන් කරන්න මොන තරම් කැප වුණාද? නීත්‍යානුකූලයි කියන මත්ද්‍රව්‍ය අහෝසි කළහොත් ඒ සඳහා විකල්ප ලෙස නීත්‍යානුකූල නොවන ලෙස එක් එක් මත්ද්‍රව්‍ය තමන් විසින්ම නිෂ්පාදනය කර ගන්න තත්ත්වයට ඇතැමුන් පෙලඹෙනවා. ඒ නිසා යහපත් අධ්‍යාත්මික සමාජයක් ගොඩනගන්නට මේ තිබෙන ප්‍රබල සමාජ අභියෝගය ජයගන්න නම් අපි සෑම කෙනෙක්ම එක්ව කටයුතු කළ යුතුයි.

ආයතන ප්‍රධානීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රත්නපුර දිස්ත්‍රික්කය විදියට ගත් විට දිසාලේකම් තුමිය, ප්‍රාදේශීය ලේකම්තුමාලා, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාලා, විදුහල්පතිතුමාලා ක්ෂේත්‍රයේ කටයුතු කරන ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරි, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි වගේම ගැමිදිරිය ආර්ථික සංවර්ධන නිලධාරීන් වැනි ක්ෂේත්‍රයේ සිටින නිලධාරීන් තමන්ගේ හෘද සාක්ෂියට අනුව මේ කාර්යයන් ඉටු කරන්න පුළුවන් නම් එය ඉතා වැදගත් වෙනවා. මෙවැනි ව්‍යාපෘති, වැඩසටහන්, චක්‍රලේඛ, උපදෙස්, නියෝග මගින් ප්‍රතිපත්තිමය වශයෙන් කොතෙක් ක්‍රියාත්මක කළත් වඩාත් ඵලදායී වන්නේ ඒ චක්‍රලේඛ, නියෝග මත නොවෙයි. අපි ඉදිරිපත් කරන ඒ වැඩසටහන්වල තිබෙන උපදෙස්වලටත් වඩා සෑම කෙනෙක්ම තමාගේ කාර්යය සම්බන්ධයෙන් අවබෝධයකින් හැඟීමකින් කටයුතු කිරීම තුළයි.

උදාහරණයක් විදියට ගත් විට මීට පෙරත් අපි දන්වලා තිබෙනවා චක්‍රලේඛ මගින් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවෙදි ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවලදි පරිසර සංරක්ෂණය, මත්ද්‍රව්‍ය නිවාරණය යන විෂයයන් පිළිබඳව ප්‍රමුඛත්වය දීලා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර ගැනීමේ වැදගත්කම. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම්තුමාගේ නායකත්වයෙන් ඒ කාර්යාලයේ සිටින කාර්ය මණ්ඩල මේ මත්ද්‍රව්‍යවලින් නිදහස් කර ගන්නවා. ඒ සඳහා මාසිකව සාකච්ඡා කරනවා. ඒ සඳහා එකතු වෙලා බොහෝම සතුටින් විනෝදයෙන් එවැනි කරුණු සාකච්ඡා කරලා වැඩපිළිවෙළක් හදා ගැනීම ඉතාමත්ම පහසුයි.

ක්‍ෂේත්‍රයේ සිටින සියලූම ක්‍ෂේත්‍ර නිලධාරී මහත්ම මහත්මීන්ට තමන්ගේ කොට්ඨාසය තුළ තමා කටයුතු කරන වසම තුළ තමාගේ ගමේ ජනතාවත් එක්ක මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න පුළුවන්. අද මෙහි පැමිණ සිටින ඒ ඒ කමිටුවල ආදරණීය ජනතාවටමේ සඳහා නායකත්වය ගන්න පුළුවන්. ඒ නායකත්වය තුළ ඒ ආදර්ශය දෙන්න පුළුවන්.

අපි මේ වැඩසටහන අද ආරම්භ කරන අවස්ථාවේ පාසල් දරුවන්ගේ ඉඳලා සෑම කෙනෙකුම ප්‍රතිඥාවක් දුන්නා. මේ ප්‍රතිඥාව දුන්න ඔබ සෑම කෙනෙක්ම සැබෑ ලෙසම අද සිට මත්ද්‍රව්‍ය භාවිතය නවත්වනවාද කියන එක ඔබගේම හෘද සාක්ෂියෙන් ඇසිය යුතු දෙයක්. ආදරය, කරුණාව, දයාව වැනි මානුෂීය ගුණාංග තිබෙන ගමට රටට ආදරය තිබෙන කෙනෙක් කියලා තමන්ට දෙන්න පුළුවන් සාක්ෂිය කුමක්ද? තමන් තමන්ට ආදරය කරන්නේ නැතිව කොහොමද අනෙක් අයට ආදරය කරන්නේ. කොහොමද අනෙක් අය ආරක්ෂා කරන්නේ. ඔහු සැම විටම දන්නවා එයින් ඇති වන ව්‍යසනය. තමාගේ ජීවිතය කොතෙක් කෙටි වෙනවාද කියන එක. මරණය කොතෙක් ඉක්මන් වෙනවාද කියන කාරණය. ලෙඩ රෝග කොතෙක් ඇති වෙනවද කියන කාරණය. පවුලේ ආර්ථිකය මොන තරම් කඩා වැටෙනවද කියන කාරණය. සමාජය තමන් කොතෙක් ප්‍රතික්ෂේප කරනවද කියන කාරණය. තමාගේ වගකීම් ඉටු කරන්න මත්ද්‍රව්‍ය නිසා කොතෙක් දුරට නොහැකි වෙනවාද කියන කාරණය.

අපේ රටේ මත්ද්‍රව්‍ය වැඩිපුරම පාවිච්චි කරන්නේ අඩු ආදායම්ලාභී පවුල්වල ජනතාව. ඒ අඩු ආදායම්ලාභී පවුල්වල ආදායම විනාශ වෙන්නේ මත්ද්‍රව්‍ය නිසා. ඒ නිසා තමයි දුප්පත්කම වර්ධනය වෙන්නේ. මේක අපේ රටේ දුගීභාවය පිළිබඳව කතා කරන විට ප්‍රධානතම ප්‍රශ්නයක්. මේ උවදුර තුරන් කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අංශය විසින් ගෙනියන මේ ජාතික වැඩසටහනට සියලු දෙනාගේම සහයෝගය ලැබිලා තිබෙනවා. රාජ්‍ය අංශයේ සියලු දෙපාර්තමේන්තු, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සුරාබදු, සෞඛ්‍ය අංශය මේ සියලු ක්‍ෂේත්‍රවල පුළුල් සහයෝගය ලැබිලා තිබෙනවා.

මම අද මේ කතා කරන්නේ මා සඳහා නොවන බව ඔබ පැහැදිලිව දන්නවා. අද මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ මගේ පුද්ගලික ප්‍රශ්නයක් සඳහා නොවන බව ඔබ දන්නවා. අද මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව නියෝජනය කරමින් අද ඔබ මෙහි පැමිණ සිටින්නේ ඔබේ ගම මත්ද්‍රව්‍යවලින් නිදහස් කර ගැනීම සඳහායි. රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව වඩාත් සෞඛ්‍යසම්පන්න ජනතාවක් බවට පත් කිරීම සඳහායි. මුළුමහත් ලක්වැසි ජනතාවම නිරෝගී සෞඛ්‍යසම්පන්න ජනතාවක් බවට පත් කරගැනීම ජාතික වශයෙන් මෙහි තිබෙන වැදගත්කම බව ඔබ දන්නවා. ඒ තුළ ඇති වන ආර්ථික වාසිය යහපත් සමාජයක් ගොඩනගන්න ලැබෙන දායකත්වය ඔබට දීර්ඝව පැහැදිලි කිරීම අවශ්‍ය වන්නේ නැහැ.

ඒ නිසා මතින් නිදහස් රටක් සංකල්පය මේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට එක්වන්නයි කියා නැවතත් මා ඔබෙන් ඉතාම ගෞරවයෙන් සහ කාරුණිකව ඉල්ලා සිටිනවා. පසුගිය අවුරුදුකීපය තුළ මත්ද්‍රව්‍යවලට විරුද්ධව කටයුතු කරන රටක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සංවිධානවලින් අපේ රටට සම්මාන රාශියක් ලැබිලා තිබෙනවා. මත්ද්‍රව්‍ය මර්දනය සහ නිවාරණය සඳහා කටයුතු කරන ලෝකයේ ප්‍රමුඛ රජයක් විදියට ජාත්‍යන්තර වශයෙන් ලෝකයේ විශාල පිළිගැනීමක් අපට තිබෙනවා.

ඒ නිසා මෙහි දී ඔබේ වගකීම සහ යුතුකම ඔබ වෙනුවෙන් මෙන්ම අන් අය සඳහා ක්‍රියාත්මක කරන්නට ඔබ අප සියලු දෙනාම එක්වී කැපවීමෙන් කටයුතු කරමුයි කියන ගෞරවනීය ඉල්ලීම කරනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ මාසයකට නීත්‍යානුකූලව අරගෙන බොන සිගරට් සහ අරක්කුවල වටිනාකම අද රුපියල් කෝටි තුන්සියකට ආසන්න නම් එය අපිට පුවළුන් නම් රුපියල් කෝටි 200 දක්වාවත් පහළට ගන්න එය ඔබේ දක්ෂතාවක් කියන එක ඔබම සිහිපත් කළ යුතු වෙනවා. අරක්කු සිගරට්වලට මේ දිස්ත්‍රික්කයේ මාසෙකට රුපියල් කෝටි 390 ක් වැයවෙනවා. මත්ද්‍රව්‍ය භාවිත කරන අය මේ මුදල කැටයකට එකතු කෙරුවොත් ඒසල්ලි එක තැනකට වැටුණොත් ඔබේ දිස්ත්‍රික්කය සංවර්ධනය කරන්න ඔබට රජයේ මුදල් අවශ්‍යද? ඔබේ දිස්ත්‍රික්කය සංවර්ධනය කරන්න විදේශ ආධාර අවශ්‍ය ද? එහෙම නම් ඒ මුදලින් ඔබේ දිස්ත්‍රික්කයේ ජනතාව ආර්ථික වශයෙන් ඉතාම සමෘද්මධිත් කරන්න පුළුවන්.

ගංවතුරද, නායයාම්ද, වෙනත් පාරිසරික ප්‍රශ්න ද, දුගීභාවය ද, නිවාස හිගය ද, රැකී රක්ෂාද මේ සියල්ලට මේ කෝටි 390 මාසයකට ප්‍රමාණවත් වන බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා. සෑම දිස්ත්‍රික්කයකම තත්ත්වය මෙයයි. මෙය අපිට සතුටු විය හැකි තත්ත්වයක් නොවෙයි. මේ කනගාටුදායක තත්ත්වයෙන් මිදිලා සතුටු දායක තත්ත්වයක් ජාතික වශයෙන් මුළු රට වශයෙන් ඇති කර ගන්න මත්ද්‍රව්‍යවලින් තොර සමාජයක් නිර්මාණය කරන්න මේ රටේ සමස්ත ආදරණීය ජනතාව නිරෝගී සම්පන්න සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කරන්න මේ ජාතික ව්‍යාපෘතියට ඔබ අප සියලු දෙනාම කැපවෙමු එක්වෙමු කියන ගෞරවනීය ඉල්ලීම කරමින් අද මේ අවස්ථාවට සහභාගි වන සියලුම රාජ්‍ය නිලධාරිමහත්ම මහත්මීන්, මවුපියන්, දරුවන්, විදුහල්පතිතුමාලා, ගුරුමහත්ම මහත්මීන් මෙහි පැමිණ සිටින ඔබ සියලූදෙනාම මේ සඳහා උදව් උපකාර කළ අනුග්‍රහය දැක්වූ මැති ඇමතිවරුන් සියලු දෙනාට ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්යය මණ්ඩලවලට ගෞරවනීය ස්තුතිය පුද කරනවා.

අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, ජෝන් සෙනෙවිරත්න, තලතා අතුකෝරල, මහින්ද අමරවීර, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද, රත්නපුර දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරු, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරිහුද ආරක්ෂක අංශ ප්‍රධානීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ

ඡායාරූප : කපිල ආරියවංශ
ජනාධිපති මාධ්‍ය අංශය 

නව අදහස දක්වන්න