යන මග සහ ක්‍රියාමාර්ගවල වැරැදි නිවැරැදි කරගෙන පෙරට යනවා | දිනමිණ

යන මග සහ ක්‍රියාමාර්ගවල වැරැදි නිවැරැදි කරගෙන පෙරට යනවා

ජනතාවගේ බලාපොරොත්තු තවමත් එහෙමමයි:

ජනතාවගේ බලාපොරොත්තු තවමත් එලෙසම බවද ඒවා වෙනස් කර අතීතයට යාමට ඔවුනට වුවමනාවක් නොමැති බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එනමුත් රජය යන මාර්ගය හා එහි වේගය ගැන මෙන්ම ඇතැම් ක්‍රියාමාර්ග ගැනත් ප්‍රශ්න ඇති බවද ඒවා නිවැරදි කර ඉදිරියට යාම රජයේ බලාපොරොත්තුව බවද අගමැති වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්‍ෂයේ සහ ආණ්ඩුවේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව එම පක්‍ෂයේ අමාත්‍යවරු පිරිසක් පිරිසක් සමඟ ඊයේ (23) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවක දී අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා කණ්ඩායමක් ලබන සතියේදී පත් කරන බවද මාසයක් තුළදී මේ වැඩකටයුතු සිදුකර ඉදිරියට යෑම බලාපොරොත්තුව බවද අගමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

එහිදී තවදුරටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

පසුගිය කාලය තුළ අපි ගෙන ගිය වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාවගේ කැමැත්තක් නැති බව පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල මගින් පැහැදිලි වෙනවා. ලෝකයේ බොහෝ රටවල මෙවැනි ඡන්ද පවත්වන්නේ ජනතා මතය දැන ගැනීමටයි. ඒ අනුව ජනතාව තම වැඩපිළිවෙළට සහයෝගය ලබාදෙනවා ද, නැතිනම් එයට විරුද්ධ වෙනවා ද කියා මැන බැලිය හැකියි.

මේ කටයුත්ත අමෙරිකාවේ නීතියෙන් සිදුවෙනවා. එරට ජනාධිපති පත්කර ගැනීමෙන් පසු වසර දෙකක් ගතවන විට මහජන මන්ත්‍රී මණ්ඩලය යළිත් තෝරා පත්කර ගන්නවා. වෙනත් රටවල පළාත් හෝ පළාත් පාලන මැතිවරණ පාලන කාලය මැද භාගයේ දී පවත්වනවා.

ඒ අනුව අපේ රටේ පවත්වන ලද පළාත් පාලන ඡන්දය අප දැන් පවත්වා අවසන් කර තිබෙනවා. එහි ප්‍රතිඵලය මේ වන විටත් අපි පිළිගෙන තිබෙන බව කිව යුතුයි.

ආණ්ඩුවක් ලෙස ජනතාවගේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම ඉටුකර දීමට නොහැකි වූ බව අපි පිළිගත යුතුයි. නමුත් ගතවූ කාල පරිච්ඡේදය දෙස බලන විට අපි වැඩකටයුතු නොකළා කියා කාටවත් කියන්න බැහැ. අපි වැඩ කටයුතු කර තිබෙනවා. ඇතැම් ඒවායේ වේගය පිළිබඳව සෑහීමකට පත් විය නොහැකියි. තවත් සමහර කටයුතු ගැන ප්‍රශ්න තිබෙනවා. ඒ නිසා මේ මැතිවරණ ප්‍රතිඵල දෙස අවධානය යොමු කර ඒ අනුව වැරදි හා අඩුපාඩු සකස් කර ඉදිරියට යෑමට අප තීරණය කර තිබෙනවා.

ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ආණ්ඩුවේ අමාත්‍ය විෂයන්වල වෙනසක් සිදුවන බව කිව යුතුයි. මේ වෙනස්කම් සිදු කෙරෙන අතරම ආණ්ඩුවේ ප්‍රතිපත්ති කෙරෙහි ද අපේ අවධානයට යොමු කළ යුතුයි.

ආණ්ඩුවේ වැඩකටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යන ගමන් එක්සත් ජාතික පක්‍ෂයේ අපි කැපවී සිටින්නේ අලුත් නායක පරපුරක් බිහිකිරීමටයි. ඒ නායක පරපුර ඇමැතිවරු අතරත් සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරත් සිටිනවා. පළාත් සභා මෙන්ම පක්‍ෂය තුළ ද සිටිනවා.

ප්‍රථමයෙන්ම ආණ්ඩුවේ ප්‍රතිපත්ති දෙස අපි බැලිය යුතුයි. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ඇමැතිවරු හා නියෝජ්‍ය ඇමැතිවරු අතරින් මේ පිරිස අද මේ ස්ථානයට කැඳවා තිබෙන්නේ අපේ ප්‍රතිපත්ති හා ආණ්ඩුව ගත් පියවර දෙස අවධානය යොමු කර අනාගතය සඳහා ඇති කළ සංශෝධන මොනවාද, අපි රැඩිකල් මාවතක ගමන් කළ යුතු ද කියා සාකච්ඡා කර තීරණය කිරීම සඳහායි.

ජනතාව අපිට වරමක් ලබාදී තිබෙනවා. සැමවිටම අපි ඒ ජනවරම තුළ ක්‍රියා කළ යුතුයි. කිසි ලෙසකින්වත් ඒ රාමුවෙන් පිට යන්න බැහැ. ඒ අනුව එම රාමුව තුළ අපට අවශ්‍ය සංශෝධන, අප යායුතු වේගය, අපේ වැරදි හා අඩුපාඩු, සංශෝධනය විය යුතු කරුණු මොනවාද, අලුතෙන් කළ යුත්තේ කුමක්ද කියා අප සාකච්ඡා කර තීරණය කළ යුතුයි.

සම්ප්‍රදායික වශයෙන් එම වැඩකටයුත්ත භාර දෙන්නේ ජ්‍යෙෂ්ඨ අයටයි. නමුත් මේ අවස්ථාවේ අපි අලුත් නායක පරපුරක් බිහිකිරීමට යන නිසා මේ ඇමැතිවරු අතර අනාගතයේ පක්ෂය ඉදිරියට ගෙන යන පිරිසකට ඔවුන්ගේ අදහස් ලබාදෙන ලෙස මා භාරදී තිබෙනවා.

මෙලෙස ලබාගන්නා අදහස් ජනාධිපතිතුමා සමඟත්, අනෙක් ඇමැතිවරු සමඟත් සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කෙටි කාලයක් දී තිබෙනවා. එම කාලය තුලදී මේ අදහස් හා යෝජනා ඇතුළත් වාර්තා අපි බලාපොරොත්තු වෙනවා.

මෙය එක්සත් ජාතික පක්ෂය යන අලුත් මාර්ගයේ කොටසක් පමණයි. අපේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහාත් කණ්ඩායමක් ලබන සතියේදී පත් කරනවා. මාසයක් තුළදී මේ වැඩකටයුතු සිදුකර ඉදිරියට යෑම අපේ බලාපොරොත්තුව බව කිව යුතුයි.

ජනතාවගේ බලාපොරොත්තු තවමත් එලෙසම තිබෙනවා. ඒ බලාපොරොත්තු වෙනස් වී කාටවත් අතීතයට යන්න වුවමනා නැහැ. ඒත් අපි යන මාර්ගය හා එහි වේගය ගැන මෙන්ම ඇතැම් ක්‍රියාමාර්ග ගැනත් ප්‍රශ්න තිබෙනවා. ඒවා නිවැරදි කර ඉදිරියට යාම අපේ බලාපොරොත්තුව බව කිව යුතුයි.

අද මෙම ස්ථානයට කැදවන ලද මේ කණ්ඩායම තවදුරටත් සාකච්ඡා කර මට වාර්තාවක් ලබාදීමට නියමිතයි. එය ලැබුණ පසු ජනාධිපති තුමා සමගත් අනෙක් අමාත්‍යවරු සමගත් සාකච්ඡා කිරිමට මා බලාපොරොත්තු වෙනවා. මෙය නවීකරණය සදහා අප ගන්න වැදගත් පියවරක් බව මා කියන්න කැමතියි.

නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා-

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අපේ ඇමැතිතුමන්ලා කිහිප දෙනෙකුගෙන් යුත් කණ්ඩායම අද රැස්වී ජන ජීවිතයට බලපාන ප්‍රශ්න හා වැදගත් කරුණු කාරණා ගණනාවක් පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කළා.

ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ක්‍රමවත්ව හා විධිමත්ව ක්‍රියාවට නැංවිය යුතු වැඩසටහන් විශාල ප්‍රමාණයක් පිළිබඳව අපි අදහස් හුවමාරු කර ගත්තා. ඒ අනුව විශේෂයෙන්ම නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශ පැත්තෙන් සලකා බැලූවොත් අපි මේ රජය භාරගන්නා විට රටේ තිබුණ නිවාස ප්‍රශ්නය පිළිබඳව අපේ අමාත්‍යංශය නිසි පරිදි තොරතුරු දැනගෙන සිටියේ නැති බව කිව යුතුයි.

නමුත් අපි මේ රටේ පවුල් ලක්‍ෂ හැටකට වැඩි ප්‍රමාණයකින් ලක්‍ෂ විසිපහකට නිවාස ප්‍රශ්නය තිබුණා. එවැනි රටක් අපි භාරගෙන අද වන විට අපේ අමාත්‍යංශය යටතේ වේගවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට රටේ උදා ගම්මාන ස්ථාපනය කර නිවාස ප්‍රශ්නයට විවිධ සංවර්ධන යෝජනා ක්‍රම හරහා තිරසර විසඳුම් ලබාදුන්නා. මෙය එක් උදාහරණයක් පමණයි.

ඒ වගේම ජන සමාජයේ ගොවි, ධීවර, කම්කරු, මධ්‍යම පාන්තික, රාජ්‍ය සේවක, කුඩා දරුවන්ගේ සිට වැඩිහිටි පුද්ගලයා දක්වා මුළු සමාජයම ආවරණය වන දැවැන්ත වැඩසටහනක් අලූතෙන් ක්‍රියාත්මක කිරීමට අපි සැලසුම් කරමින් සිටින බව කිව යුතුයි.

පෙරපාසල් දරුවන්ගේ සිට ගර්භනී මවගේ සෞඛ්‍ය සම්පන්නභාවය මෙන්ම තරුණ පරපුරේ සිට වැඩිහිටි පරපුර දක්වා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම සෞභාග්‍යයෙන් ශක්තිමත් කරන දැවැන්ත අලූත් වැඩසටහන් අපි මේ යටතේ ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා.

ඒ නිසා අද දිනයේ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ඇමැතිතුමන්ලා එක්ව සාකච්ඡා කර ඉතාමත්ම හරබර යෝජනා ගණනාවක් නිර්මාණය කිරීමේ ගමන ආරම්භ කළා.

මේ අනුව දින කිහිපයක් ඇතුළත ජනතාවගේ ඇගට පතට දැනෙන, ඇස් දෙකට පෙනෙන, කන්වලට මිහිරි ජනතා සුභසාධන සැලැස්මක් රට පුරාවම ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. පළාත් නවයක, දිස්ත්‍රික් විසිපහක, ග්‍රාම සේවා වසම් 14022 ක, කුඩා ගම්මාන 38000 ක ජීවත්වන ලක්‍ෂ 210 කට වැඩි වූ අපේ ජන පරපුර වෙත මේ මහා ජාතික යුතුකම ඉෂ්ට කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

ඒ නිසා දින තුන හතරක් වැනි කෙටි කාලයක් ඇතුළත ඒ සංවර්ධන යෝජනා නිර්මාණය කර, ඒවා ස්ථාපනය කර රජය තවදුරටත් ඒ ගැන සාකච්ඡා කර ජනාධිපති හා අගමැති තුමන්ලාගේ ද්විත්ව ශක්තිය තුළ රට ගොඩ නගන අළුත් ගමන ක්‍රියාත්මක කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.

අමාත්‍යවරුන් වන සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක,හරීන් ප්‍රනාන්දු, ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා මහත්වරුන්ද මේ අවස්ථාවට සහභාගි වුහ. 

නව අදහස දක්වන්න