ඉකුත් වසරට වඩා උද්ධමනය පහළට | දිනමිණ

ඉකුත් වසරට වඩා උද්ධමනය පහළට

ජයසිරි මුණසිංහ

ඉකුත් වසරේ ජනවාරි මාසයෙන් පසුව වාර්තා වූ අඩුම උද්ධමනය 2018 වසරේ ජනවාරි මාසයේදී වාර්තාවී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

වසර 2017 ජනවාරි මාසයේ වාර්තා වූ සියයට 6.5ක් වූ උද්ධමනය, ඉන්පසු මාසවලදී ඊට ඉහළ අගයක් ගත් බව පැහැදිලි කරන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා මේ වසරේ ජනවාරි මාසයේ උද්ධමනය අඩුවීමට ආහාර කාණ්ඩයේ වියදම්වල මිල අඩුවීම බලපා ඇතැයිද කියා සිටියි. ජාතික පාරිභෝගික මිල දර්ශකය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා 2018 ජනවාරි මාසයේ ලක්ෂ්‍යමය උද්ධමනය 5.4%ක් දක්වා අඩු වූ බව ප්‍රකාශ කළේය.

පසුගිය දෙසැම්බර් මාසයේ ලක්ෂ්‍යමය උද්ධමනය 7.3%ක් ලෙස වාර්තා විය. තවද පසුගිය 2017 ජනවාරි මාසයෙන් පසුව වාර්තාවූ අවම උද්ධමනය වාර්තා වූයේ 2018 ජනවාරි මාසයේදීය. මෙම මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ 4.0%ක ආහාර නොවන කාණ්ඩයේ 1.4%ක දායක්තවයක් පිළිවෙළින් ලබා දී ඇත. එහෙත් 2017 ජනවාරි මාසයේ ආහාර කාණ්ඩයේ දායකත්වය 2.9%ක් හා ආහාර නොවන කාණ්ඩයේ දායකත්වය 3.6%ක් විය.

කෙසේ නමුත් ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස්වීම සංසන්දනය කළවිට, 2017 දෙසැම්බර් මාසයේ 126.6ක් වූ දර්ශක අගය 2018 ජනවාරි මාසයේ 125.8ක් දක්වා පහළ යාමක් වාර්තා‍ විය. පසුගිය මාසය හා සංසන්දනය කළවිට 2018 ජනවාරි මාසයේ දර්ශකාංක 0.8ක අඩුවීමක් හෝ 0.6ක ප්‍රතිශතකාංක අඩුවීමක් වාර්තා විය. මෙම මාසික වෙනස්වීමට ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.78%කින් අඩුවීම හා ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.11%කින් වැඩිවීම බලපා ඇත.

ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම අඩුවීම සඳහා එළවළු, අමු මිරිස්, පොල්, රතු‍ලූනු, සහල්, දෙහි, ලොකුලූනු, මයිසූර් පරිප්පු, අර්තාපල්, සුදුලූනු සහ බිත්තර යන ආහාර ද්‍රව්‍යවල මිල අඩුවීම බලපා ඇත. එසේ වුවත් අළුත් මාළු, කෙසෙල්, අඹ, ‍පැපොල්, කුකුල් මස්, මිරිස් කුඩු සහ කරවල යන ආහාර ද්‍රව්‍යවල වියදම්වල වටිනාකම වැඩිවීමක් වාර්තා වී ඇත.

පසුගිය මාසය හා සංසන්දනය කළවිට, 2018 ජනවාරි මාසයේ ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම වැඩිවීම සඳහා ‘ආපනශාලා හා හෝටල්’, ‘ප්‍රවාහන’, ‘විවිධ භාණ්ඩ හා සේවා’ , ‘අධ්‍යාපන’, ‘සෞඛ්‍ය’ සහ ‘රෙදිපිළි හා පාවහන්’ යන කාණ්ඩවල වියදම්වල වටිනාකම වැඩිවීම බලපා ඇත. තවද ‘ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු’ සහ ‘මද්‍යසාර පාන වර්ග, දුම්කොළ හා මත්ද්‍රව්‍ය’ යන කාණ්ඩවල වියදම්වල වටිනාකමෙහි ඉතා සුළු වැඩිවීමක් වාර්තා වේ. මෙම මාසය තුළ ‘නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන, ‘සන්නිවේදන’ සහ ‘විනෝදාත්මක හා සංස්කෘතික’ යන කාණ්ඩවල වියදම්වල වටිනාකම නොවෙනස්ව පැවතුණි.

නව අදහස දක්වන්න