කඩිමුඩියේ පනත් ගෙන ඒමෙන් නියෝජිතයන් පත් කර ගන්න බැරිව ළත වෙනවා | දිනමිණ

කඩිමුඩියේ පනත් ගෙන ඒමෙන් නියෝජිතයන් පත් කර ගන්න බැරිව ළත වෙනවා

අනුර ප්‍රේමලාල්

පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ ඡන්දයෙන් පසු නියෝජිතයන් පත් කර ගන්න නොහැකිව ලතවෙමින් සිටින්නේ වගකීමකින් තොරව එක් ඒක් අයට අවශ්‍ය ලෙස කඩිමුඩියේ පනත් ගෙනාපු නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (21) කොළඹ 08, බොරැල්ලේ පිහිටි ඇන්.ඇම්.පෙරේරා අනුස්මරණ මධ්‍යස්ථානයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් සතිපතා පවත්වන මාධ්‍ය හමුවට එක්වෙමින්ය එහිදි වැඩිදුරටත් කතාකළ මන්ත්‍රීවරයා මෙසේද කීය.මේ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය වසර දෙකහාමාරක් පමණ පමා කරලා ඉකුත් (10) මැතිවරණය පවත්වලා තවමත් ප්‍රතිඵල නිකුත් කර ගන්න නොහැකිව සිටිනවා. (06) නිකුත් කරනවා කිව්වා ඒක දැන් (20) වෙනිදා දක්වා කල්ගොස් තියෙනවා. ආණ්ඩුවේ නොහැකියාව එයින්ම පෙනෙනවා. එදා මේක පිරිසුදුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා වත්මන් ජනාධිපති එදා ලේකම් ලෙස මෙය ඉදිරිපත් කොට අනතුරුව මේ ක්‍රමය අපේ පක්ෂයේ අයට දිනන්න මේ සීමා නීර්ණ කටයුතු කළා කියලා එක්සත් ජාතික පක්ෂයට අවාසිවෙන්න හැදුවාය කියා චෝදනා ඉදිරිපත් කරමින් රාජ්‍ය නිලධාරින් තිදෙනකුගෙන් යුක්ත කමිටුවක් පත් කෙරුවා. එහිදි ෆයිසර් මුස්තාපා ඇමතිවරයා කිව්වා මෙම කාර්ය තමා ස්වාධීනව සිදුකරනවා කියලා. මැතිවරණ කොමසාරිස් කිව්වා මම පිටිය හදාගෙන ඉන්නවා තවම පන්දුව දුන්නේ නැහැ බෝල් කරන් කියලා. මේ වගේ නොයෙකුත් කතාන්දර කිව්වා.

දැන් පළාත්පාලන ආයතන ටික පිහිටුවා ගන්න බැහැ. දැන් කියනවා සංශෝධන ටික ගේන්න ඕනෑලු. කාන්තාවන් 25% නියෝජනය පත් කර ගන්න බැරිලු ඊට සංශෝධන අවශ්‍යලු. මොන විහිළුවක්ද මේ. මින් මතුවෙන්නේ ආණ්ඩුවේ නොහැකියාවයි.. ආණ්ඩුවේ අවශ්‍යතා ඉටුකරන්න ගිහිල්ලා රටම අක්‍රිය කරලා තියෙනවා. තවත් මේක අක්‍රිය කරලා යන්නයි හදන්නේ. මීට සම්පූර්ණයෙන් වග කියන්න ඕනේ මැතිවරණ කොමසාරිස්වරයා, ෆයිසර් මුස්තාපා ඇතුළු ආණ්ඩුවයි. මෙහෙම කොහොමද රටක් දුවන්නේ.

ඇපය අවලංගුවු අය සිය ගණනක් සිටිනවා. හැබැයි මන්ත්‍රීවරු ඉන්නවා. ලෝකයේ කොහේවත් ඇපය අවලංගුවු අයගේ මන්ත්‍රීවරු පත්වෙන්නේ නැහැ. මේක ආණ්ඩුවේ නායකයින්ගේ අවශ්‍යතා ඉටුකරන්න සංශෝධනය කෙරුවා. හිටපු මන්ත්‍රීවරු හාරසීයකට පමණ තරඟ කරන්න නොහැකි ලෙස ක්ෂේත්‍ර නිලධාරීන්ට තරඟ කිරීමේ අවස්ථාව නැති කළා. සාමාන්‍යයෙන් නීතියක් තියෙනවා රජයේ නිලධාරියකුට නිවාඩුවක් දමා ඉල්ලන්න පුළුවන්. දැන් එසේ බැහැ අවුරුද්දකට කලින් නිවාඩු ඉල්ලන්න ඕනේ. නැත්නම් කොට්ඨාසයෙන් අවුරුද්දකට කලින් යන්න ඕනේ. මේ විදියට අසාධාරණ ලෙස සකස් කරලා පක්ෂග්‍රාහිව පනත් හදලා අද ඒක අවුලක් වෙලා. පළාත් සභා මැතිවරණය ගැන කල්පනා කරන්න වෙලා අධිකරණය තීන්දු කළා මැතිවරණය කලට වේලාවට තියන්න කියලා. ආණ්ඩුව හා ජනතා විමුක්ති පෙරමුණත් සමග එක්වෙලා මේ මැතිවරණ ක්‍රමය ගෙනාව.

මහරගම නගර සභා බල ප්‍රදේශයේ ජනතාව ඡන්දය දුන්නේ කාටද කියලා රටම දන්නවා. අපි නොවේ ජනතාව මුලා කරලා තියෙන්නේ ස්වාධීන කණ්ඩයමේ අයයි. ඒ අය තමයි කිව්වේ මහින්ද මහත්තයා වෙනුවෙනුයි අපි ඡන්දයට එන්නේ කියලා. ජනාධිපතිතුමා හමුවන්න අපි ගියේ නැහැ සුසිල් ප්‍රේම්ජයන්ත් ඇමතිතුමා තමයි අපිට ආරාධනා කළේ. නව ව්‍යවස්ථාව පරද්දන්න, රාජ්‍ය දේපොළ විකුණන එක නවත්වන්න, එට්කා ගිවිසුම නවත්වන්න ජන අරගල නොකර නීතියෙන් කටයුතු කරන්න අපි බලනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා- පළාත් පාලන මැතිවරණය අවසන් වෙලා අදට දින එකොළහක් ගත වෙලා තියෙනවා. මේ අය කිව්වේ ප්‍රජාතන්ත්‍රවාදය ඉතා දීප්තිමත්ව කරගෙන යන ආකාරයේ මහජන නියෝජතයන් පත් කරන ආකාරයේ මැතිවරණ ක්‍රමයක් සකස් කරනවා කිව්වා. ඒ සඳහා ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් පත්කොට කටයුතු සිදුකළා. 1987 හිටපු ජනාධිපතිවරුයකුවු රණසංහ ප්‍රේමදාස ජනාධිපති ගෙනා පළාත් පාලන පනතේ පරණ නියෝජනයට තිබු 25% නිර්ණායකය ඉවත් කරලා කාන්තා නියෝජනය 25% ක් කළා. අද වෙන විට ආණ්ඩුවට සංශෝධනයක් ගේන්න සිදුවෙලා තියෙනවා ඒක සපුරා ගත නොහැකි නිසා එය නොසළකා අරිනවා කියනවා ඉන් තරුණ නියෝජනයට පැවැති ඉඩකඩ නැතිවුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා- පසු ගිය දවස්වල පළාත් පාලන මැතිවරණය පවත්වලා පළාත් පාලන ආයතන තුන්සිය හතළියෙන් දෙසිය ගණනක් බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනාගෙන තියෙනවා. එයිනුත් හැත්තෑහතරක බලය පිහිටුවන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒවගේම එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් පළාත් පාලන ආයතන රැසක බලය පිහිටුවන්න නොහැකිව සිටිනවා. 

නව අදහස දක්වන්න