වීත් නැහැ එළවළුත් නැහැ බූටාවත්තට වතුර දෙන්න | දිනමිණ

වීත් නැහැ එළවළුත් නැහැ බූටාවත්තට වතුර දෙන්න

මහනුවර දිස්ත්‍රික්කයේ හේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බූටාවත්ත ග්‍රාමයේ බහුතරයක් ගොවිතැනින් ජීවත්වෙති.ගොවිතැන් කටයුතු සඳහා ප්‍රමාණවත් තරම් ජලය නොලැබීම නිසා ඔහුවූ දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති.මොවුන් යල මහ කන්න දෙකම වී වගා කළේ අහස් දියෙන් පිරිණු වැව් අමුණුවල ජලයෙනි.අද වන විට ගොවියෝ වැසි රහිත වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වී වගාව අත්හැර මෙම කුඹුරු ඉඩම්වල එළවළු වගාව කරති.එහෙත් දීර්ඝ කාලයක් වැසි නොලැඹීම නිසා දැන් ඔවුන්ට එළවළු වගා කටයුතු ද අත්හැර දැමීමට සිදුව තිබේ.

මෙයට මාස කිහිපයකට පෙර ඇද හැලුණු වැසි සමඟ තමන් වගාව ආරම්භ කළත් එතැන් සිට මේ දක්වා ප්‍රමාණවත් වැසි නොලැබුණු නිසා වගා විනාශ වෙමින් පවතින බවට ගොවියෝ මැසිවිලි නගති.බූටාවත්ත උතුර හා දකුණු ග්‍රාම සේවා වසම්වල පදිංචි තුන්සියයකට අධික පිරිසක් පාරම්පරිකව ඔවුන්ට උරුමවූ කෘෂිකර්මාන්තයෙන් ජීවිකාව ගෙනගියහ. අද වන විට ඔවුන්ට ගොවිතැන අත්හැර කුලී වැඩ කරන්නට සිදුව තිබෙන බව ගොවියෝ පවසති.

''අපි කන කර උකස් කරලා ණය අරන් ගොවිතැන් කරන්නේ.බලාපොරොත්තු වූ වැස්ස වැටුණේ නැහැ.එළවළු කොටු ඔක්කොම වේලිලා යනවා.ගොවිතැනට හුරුවෙලා නිසා වෙනත් වැඩක් කරන්නත් බැහැ.මේ කුඹුරුවලට වතුර හරවලා තිබ්බ අමුණ කඩාගෙන ගිහින් දැන් අවුරුදු හතරක් විතර වෙනවා.ඒක හදන්න කාටවත් වුවමනාවක් නැහැ.නිලධාරීන් වැඩ කරන්නේ ඒ අයට ඕන විදිහට.කරන්න ඕන මොකක්ද කියලා ඒ අය කල්පනා කරන්නේ නැහැ.'' ඒ ඩබ්ලිව්.එම්.තිලකරත්න බණ්ඩා ගොවි මහතාගේ හඬයි.

කේ.එම්.කුඩාබණ්ඩා ගොවි මහතා තම අදහස් මෙසේ ප්‍රකාශ කළේය.

''වගාවට තියා දැන් බොන්න වතුරත් නැති වේගන යන්නේ.පොහොර මිටියක් රුපියල් රුපියල් 3000.00 ක් වෙනවා.බීජවලට තව ලොකු ගාණක් වැය කරනවා.ඊට පස්සේ වගාව පාළු වුණාම අපි මොකද කරන්නේ.වස බීලා මැරෙන්න තමයි වෙන්නේ.මම බටු,පතෝල,කරවිල,තක්කාලි ඔක්කොම දාලා තිබ්බේ.දැන් ඔක්කොම වේලීගෙන යන්නේ.මොරගොල්ල කන්ද මුදුනේ ඉඳලා එන බූටාවත්ත ඔය තඹගල වෙල්යාය දක්වා ගොවි බිම් අක්කර 2000 ක් පමණ අස්වද්දන්න වතුර දුන්නා.දැන් ඔය හිඳිලා ගිහින්.''

ගම්මානය මැදින් ගලා යන කුඩා දිය පහර එකල මහ ජල කඳක් රැගෙන ගොස් ඇත. එහි ජලය කෘෂිකර්මාන්ත කටයුතු සඳහා එකල උපයෝගී කර ගනු ලැබුවද මේ වන විට එහි ජලය පානිය ජල අවශ්‍යතා සපුරා ගැනීමටවත් ප්‍රමාණයත් නොවන බව ගම්වැසියෝ පවසති.

ගම්මානයේ සිට කිලෝමීටර් පහක පමණ දුරින් මොරගොල්ල වැව පිහිටා ඇති අතර වැව ප්‍රතිසංස්කරණය කොට නිසි පරිදි ඇළ වේලි සකස් කර දෙන්නේ නම් තම වගා කවයුතු සඳහා ප්‍රමාණවත් ජලය ඉන් ලබා ගත හැකි බව ගොවියෝ පෙන්වා දෙති.මේ පිළිබදව අදාළ බලධාරීන් අවස්ථා ගණනාවකදී දැනුවත් කර ඇති නමුත් ඔවුන්ගේ අවධානය මෙතෙක් ඒ සඳහා යොමුවී නොමැති වීම කණගාටුවට කරුණකි.

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න