පත්තර මහගෙදර මහ රුක | දිනමිණ

පත්තර මහගෙදර මහ රුක

 තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසිරිමත් තෙවන ලංකාගමනය සිහියට නැගෙත්ම නිරතුරුව සිහිපත් වන්නේ ඓතිහාසික කල්‍යාණි රාජ මහා විහාරයයි. එම සම්බුදු පාද ස්පර්ශයෙන් පූජනීයත්වයට පත් කැලණි මහා විහාරයේ නව විහාර කර්මාන්තය ඉටු කරවන ලද්දේ දිවංගත හෙලේනා විජයවර්ධන ළමාතැනී විසිනි.

සෝලියස් මැන්දිස් සිතුවම් ශිල්පියා විසින් එහි අභිනව චිත්‍ර කර්මාන්තය කරවන ලද්දේ හෙලේනා විජයවර්ධන ළමාතැනියගේ මූලිකත්වය දරමිනි. ඒ අනුව සමස්ත ලෝකවාසීන්ගේ නෙත් සිත් පහන් කරවන විහාර මන්දිරයත් අග්‍රගණ්‍ය කලාගාරයක් බඳු සිතුවම් සහිත රමණීය සම්බුදු මැදුරක් ඉදිවූයේත් හෙලේනා විජයවර්ධන ළමාතැනියගේ අපරිමිත දායකත්වයෙනි.

හෙලේනා විජයවර්ධන ළමාතැනියගේ සහ ඩී.පී.විජයවර්ධන දම්පතීන්ගේ දයාබර පුත්‍ර රත්නය වූ ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන් දකුණු ආසියාවේ විශිෂ්ටතම පුවත්පත් ආයතනය ප්‍රතිෂ්ඨාපනය කිරීමත්, සම්බුදු සසුනේ චිරස්ථිතියත්, රට දැයෙහි උන්නතිය උදෙසාත් සිදුකර ඇති මෙහෙවර අනුස්මරණීයය.

ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ චරිතය පිළිබඳ එච්.ඒ.ජේ.හුළුගල්ල මහතා සහ පී.නිශ්ශංක මහතා විසින් රචිත ග්‍රන්ථයෙහි පළමු වන පිටුවෙහි ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන් ගැන මෙසේ සටහන් වේ.

“ජනතාව තුළ දේශමාමක හැඟීම් ජනිත කරවීමෙන් රට ස්වතන්ත්‍ර පාලනයක් කරා යොමු කරවමින් සිටි සර්.ජේම්ස් පීරිස්, සර් ඩී.බී.ජයතිලක, සර් පොන්නම්බලම් අරුණාචලම්, ඊ.ජේ.සමරවික්‍රම, ඊ.ඩබ්ලිව්.පෙරේරා, ඩබ්ලිව්.ඒ‍. ද සිල්වා, ප්‍රැන්සිස් ද සොයිසා, ඇෆ්.ආර්.සේනානායක, ඩී.ඇස්.සේනානායක ආදී ස්වජන හිතෛෂී කණ්ඩායමකට විජයවර්ධන මහතාද ඇතුළත් විය.

අනෙක් බොහෝ දෙනා සභා රැස්වීම් ආදියට යමින් එමින් වේදිකාවල කථා පැවැත්වීමාදියෙන් ප්‍රසිද්ධියේ තම සේවය කළ අතර විජයවර්ධන මහතා සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන් පළ වූ තම පුවත්පත් මගින් එතෙක් අන් කිසිවකුගෙන් සිදු නොවූ අන්දමේ උදාර සේවයක් රට දැය දෙකට කළේය.

1914 දී ඔහු වැඩි පාඨක සංඛ්‍යාවක් නොසිටි අමාරුවෙන් පවත්වාගෙන ආ දිනමිණ පත්‍රය එහි අයිතිකාරයාගෙන් මිලට ගෙන අවුරුදු කීපයකදී එය රටේ නොයෙක් දිශාවල දස දහස් සංඛ්‍යාත ජනතාවක් දිනපතා කිය වූ පුවත්පතක් බවට පත් කළේ ය.

1918 දී ඔහු සිලනීස් නම් ඉංග්‍රීසි පත්‍රය මිලට ගෙන එය ඩේලිනිව්ස් නමින් පළ කරවන්නට විය. අනූ අවුරුදු කාලයක් මෙරට යුරෝපීයයන් සතුව පැවැති ඔබ්සවර් පත්‍රයද 1923 දී මිලට ගත්තේ ය. පසුව මුළු ආසියාවේම ප්‍රවෘත්ති පත්‍ර අතර ඉතා විශාල පිටපත් සංඛ්‍යාවක් විකිණෙන සිළුමිණ පත්‍රයද ඔහු විසින් ආරම්භ කරන ලදී. මෙතෙක් ඔහුගේ පුවත්පත් නොකිය වූ මේ රටෙහි සිටි ජන කොටස නම් දෙමළ කියවන ජනයා ය. ඔවුන් සඳහාද ඔහු ද්‍රවිඩ භාෂාවෙන් පළවන දිනපතා පුවත්පතක් වූ තිනකරන් පත්‍රය ආරම්භ කළේ ය.

මේ පුවත්පත්වල කර්තෘ මණ්ඩලවලත්, වෙනත් අංශවලත් සේවය කරන්නවුන් හා යන්ත්‍රෝපකරණ ආදියත් එක්තැන් කොට එකම ගොඩනැගිල්ලක් තුළට ගෙන ඒම සඳහා ඔහු විසින් කොළඹ කොටුවෙහි විශාල වූත් දර්ශනීයවූත්, රමණීයවූත් ලේක්හවුස් මන්දිරය ඉදිකරවන ලදී” යනුවෙන් එහි සඳහන්ව ඇත.

ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ උදාර අනුස්මරණීය මෙහෙවර එම කෙටි වදන්පෙළෙන් පවා මැනවින් පැහැදිලි වේ.

කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන් උසස් අධ්‍යාපනය ලැබීම සඳහා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව නීතිය හදාරා අධිනීතිඥවරයෙකු ලෙස 1912 දී නැවත මෙරටට පැමිණියේ ය. කොළඹ අධිකරණයේ කටයුතු කිරීමට පටන්ගත් එතුමා වැඩිකලක් ගතවීමට මත්තෙන් අලුත්කඩේ නීතිඥවරුන් අතර ප්‍රියශීලී චරිතයක් විය.

විජයවර්ධන ශ්‍රීමතාණන් නීතිඥ කටයුතු අතහැර පුවත්පත් අයිතිකරුවෙකු වූ නමුත් ඔහු නීතිඥ වෘත්තිය හා සමීප සබඳතාව නිරතුරුවම තබා ගත්තේ ය.

පුවත්පත් බෙදා හැරීම සඳහා මේ රටෙහි පළමුවරට වෑන් රථයක් යෙදවූයේ ඩී.ආර්.විජයවර්ධන මහතාය. එම වෑන් රියේ පැතිවල කහපාට වර්ණය යොදා ඒ මත ලොකු කළු වර්ණයෙන් දිනමිණ, ඩේලිනිව්ස් යන නම් ලියා තිබිණි.

දිනමිණ‍ට සිළුමිණත් එක්වීම මෙරට සිංහල පුවත්පත් කලාවේ ඓතිහාසික සිද්ධියක් වන තරමට වැදගත් විය. සිළුමිණ පුවත්පතට පෙර මෙරට අංගසම්පූර්ණ ඉරිදා පුවත්පතක් නොතිබිණි.

ඔබ්සවර් පත්‍රය ඇරඹීමෙන් මෙරට ප්‍රථම ඉරිදා ඉංග්‍රීසි පත්‍රයක් ඇති කළ විජයවර්ධන ශ්‍රීමතාණන් ප්‍රථම ඉරිදා සිංහල පුවත්පත ලෙස සිළුමිණ ආරම්භ කළේ එමගින් සිංහල පාඨකයන්ට කළ හැකි සේවය ගැන වූ අවබෝධය හේතුවෙනි.

මෙරට හැදෙන වැඩෙන දරු පරපුරෙහි අභිවෘද්ධිය අගය කළ ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණෝ ඔවුන්ගේ නැණ ගුණ වඩවන අදිටනින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිහිටුවීමේදී ප්‍රබල සහායක් මෙන්ම මහත් අනුබලයක්ද සැපයූහ. එම උදාර මෙහෙවරට කෘතගුණ සැලකීම් වස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඩී.ආර්.විජයවර්ධන ශාලාව නම් කර ඇත.

එම විශ්වවිද්‍යාලයේ පැවිදි සිසුන්ගේ නේවාසික පහසුකම් සඳහා සංඝාරාමයක් ඉදිකරවීමට අරමුදලක් පිහිටුවා ඊට අදාළ ප්‍රතිපාදන ද වෙන් කළේය.

ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන් තමන් සම්පාදනය කරගත් ධනයෙන් කොටසක් ආගම දහම වෙනුවෙන්ද වැය කිරීමට පුරුදුව සිටියේ ය. ඒ අතර කොළඹ ගංගාරාමය, බම්බලපිටියේ වජිරාරාමය ආදී විහාරස්ථාන රැසක ප්‍රධාන කැපකරු දායකයෙක් විය. එතුමා බම්බලපිටිය වජිරාරාමය වෙත පර්චස් 37ක භූමි භාගයක් 1941 මාර්තු 01 වනදා පූජා කර ඇත.

මිහින්තලා පුදබිමේදී පැවැත්වෙන මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව මෙවර පොසොන් සමයේදී පනස් හය වන වරටත් පවත්වා ගෙනයෑම ඓතිහාසික කරුණක් වනු ඇත.

මිස්සක පව්ව ප්‍රථමයෙන් ම ආලෝකවත් කිරීමේ කාර්ය ඉටු කරන ලද්දේ ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ය. එතුමන්ගේ අභිමතාර්ථය මස්තකප්‍රාප්ත කරමින් 1963 දී ලේක්හවුස් සභාපති පදවියට පත් රංජිත් විජයවර්ධන මැතිතුමන් විසින් මිහින්තලා පුදබිම විදුලිජනක යන්ත්‍රානුසාරයෙන් ආලෝකවත් කිරීම ආරම්භ කෙරිණි.

මිහින්තලා පුදබිමත් ලේක්හවුස් ආයතනයත් අතර අගනා සබඳතාවක් ගොඩනැගීමටත් එමගින් ආගමික සාමාජික විවිධ කටයුතු ඉටු කිරීමටත් ගෙවී ගිය අඩසිය වසකට අධික කාලයක් පුරා සමත් වී ඇත.

ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන් ඉතා දුරදක්නා නුවණින් ආරම්භ කළ ලේක්හවුස් ආයතනය දැයට සෙවණ සලසන මහ වනස්පතියක් බඳුය. ශතවර්ෂයකටත් අධික කාලයක් පුරා ලේක්හවුස් ආයතනය තුළිත් ඉන් බාහිරවත් සේවය කළ පිරිස ලක්ෂ ගණනක් වෙති.

ආයතනය තුළ පමණක් නොව රට පුරා විසිරී පැතිරී පවතින ලේක්හවුස් අලෙවි නියෝජිතවරුන් දහස් සංඛ්‍යාත පිරිස මෙන්ම ඔවුන්ගේ මාර්ගයෙන් ගම නගරය පුරා ගෙන් ගෙට පා පැදියෙන් දුරකතර ගෙවමින් ලේක්හවුස් පුවත්පත් බෙදා හරිමින් මෙරට ජනතාවගේ නැණ පහන් දල්වන්නට සුවිශාල මෙහෙවරක් ඉටු කරනට එමගින් ජීවිත සරු කර ගන්නා පවුල් දරුවන්, දරුවන්ගේ දරු මුනුබුරන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් බවද කිවයුතු නොවේ.

යම් තැනැත්තෙකුට යුග ගණනාවකටවත් සිදු කළ නොහැකි උදාර අප්‍රමාණ මෙහෙවරක් යුග ගණනාවක් පුරා පවතින ලෙස ඉටු කර ඇති ලේක් හවුස් ආදි කර්තෘ ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ ඒ සදානුස්මරණීය මෙහෙවර නිසාම අද පවා ලේක්හවුස් ආයතනයේ කළ ගුණ සලකන සියලු සේවක සේවිකාවන් දෛනික රාජකාරී කටයුතු සඳහා ආයතනය තුළට ඇතුළු වනවාත් සමග ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ පිළිරුව වෙත දෑත් එකතුකොට නළලත මත තබා හිස නමා ගෞරවෝපහාර දක්වනු දක්නට ලැබීම ලේක්හවුස් ආයතනයටම සුවිශේෂී වූ කටයුත්තක් වී ඇත.

එතුමන්ගේ 132 වන ජන්ම සමරුව නිමිත්තෙන් ලේක්හවුස් සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලයේ හා ලේක්හවුස් පාලන අධිකාරියේ පූර්ණ අනුග්‍රහයෙන් හා මෙහෙයවීමෙන් පින්කම් මාලාවක් ලේක්හවුස් මන්දිරයේ දී මෙවර අත්‍යාලංකාරයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

බුදුසරණ කර්තෘ මණ්ඩල උපදේශක
ලේක්හවුස් බෞද්ධ සංගමයේ සභාපති 
බෞද්ධ පත්‍රකලා විශාරද සීසර් සුදසිංහ

නව අදහස දක්වන්න