යහපාලන අර්බුදය | දිනමිණ

යහපාලන අර්බුදය

 මේ රටේ කුමන හෝ මැතිවරණ ප්‍රතිඵලයක් පසුගිය පළාත් පාලන මැතිවරණය තරම් කතාබහට ලක්වූ බවක් දැනගන්නට නැත. රටේ මහා අර්බුදයක් පැන නැගී ඇතැයි කියන තරමට එය දුරදිග ගියේය. ඒ ගැන පාර්ලිමේන්තුවේ විවාදයක් ද පවත්වනු ලැබීය. එසේ වුවද ප්‍රධාන හා බලගතු මැති ඇමැතිවරුන් එයට සහභාගී වූ බවක් පෙනෙන්නට නොවීය. මත ගැටුම්, වාද විවාද කිහිපයක් ඇති වුවද එම විවාදය පැවැතියේ ඇල් මැරුණු තත්ත්වයකය. නියමිත කාලයටත් පෙර විවාදය අවසන් විය. ඒ විවාදයෙන් ද පෙනී ගියේ කියන තරම් බරපතළ අර්බුදයක් රටේ නැති බවකි.

කෙසේ වෙතත් මේ වාද විවාද හා ජනමාධ්‍යවල විවිධ වාර්තා අතර මැතිවරණයේ හා පසුගිය කාලයේ වැදගත් සිදුවීම් හා වර්ධනත් අවතක්සේරුවකට ලක්වන බවක් ද පෙනෙන්නට තිබිණි. මැතිවරණය ‍හා එහි ප්‍රතිඵලය ගැන කෙරෙන තර්ක විතර්ක සමඟ එම ව්‍යාකූලත්වය ඇතිවූ අතර ඇතැම් ප්‍රශ්නවල ‍මතුපිට මිස ඇතුළත ගැන අවධානයට යොමු නොවූ බව පෙනෙන්නට තිබිණි.

මැතිවරණ ප්‍රතිඵලය ගැන විපක්ෂය ඉදිරිපත් කළ තර්කයක් වූයේ මෙය ජනමත විචාරණයක් වූ බව හා එයින් රජයට පරාජයක් අත්වී ඇති බවයි. ආණ්ඩුව විසුරුවාහැර මහ මැතිවරණයකට යා යුතු බව ද යෝජනා විය. එසේ විපක්ෂය තර්ක කරනවිට ආණ්ඩු පක්ෂයෙන් කීවේ මැතිවරණය ජනමත විචාරණයක් නම් ජයග්‍රහණය සඳහා සියයට පනහක් ඉක්මවා ඡන්ද ලබාගත යුතු බවයි. පොහොට්ටුවට හිමිවී ඇත්තේ සියයට හතළිස් හතරක් බව මෙන්ම ආණ්ඩුවේ පක්ෂ දෙකට සියයට පනහ ඉක්මවූ ඡන්ද ප්‍රමාණයක් ලැබී ඇති බව ද ආණ්ඩු පක්ෂය පෙන්වා දුන්නේය.

අැමැති වජිර‍ෙග් නියම පිළිතුර

විපක්ෂයෙන් ඉදිරිපත්වූ තවත් තර්කයක් නම් මෙය අලුත් ජන වරමක් බවයි. අලුත් ජන වරමින් පැරණි ජන වරම අවසන් වන බවත් ඒ අනුව ආණ්ඩුව හා ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවත් ප්‍රකාශ විය. කොළඹ පැවැති සමුළුවකදී එයට පිළිතුරු දුන් වජිර අබේවර්ධන ඇමැතිවරයා කීවේ එසේ නම් 2015 ජනවාරි 8 ජනවරමත් සමඟ පාර්ලිමේන්තුවත්, පළාත් සභාත් පළාත් පාලන ආයතනත් විසුරුවාහැර අලුතින් පත්කර ගත යුතුව තිබූ බවයි. ජනවාරි 8 ජනාධිපතිවරයා ලැබූ ජනවරම මගින් පළාත් සභාවල හා පළාත්පාලන ආයතනවල ජනවරම අහෝසි විය යුතු බවයි. එය එසේ වූයේ නැත. එම ආයතනවල නිල කාලය අවසන් වනතෙක් ඒවා ක්‍රියාත්මක විය.

ජනවාරි 8දා ජනවරමත් සමඟ අගමැති වෙනස් කළ ආකාරයට අලුත් අගමැතිවරයකු පත්කළ යුතු බව ද ප්‍රකාශ විය. එසේ වුවද ජනවාරි 8 ජනාධිපතිවරණයට පෙර මෙලෙස අගමැති තනතුර වෙනස් කරන බවට මැතිවරණ පොරොන්දුවක් දී තිබිණි. එයට ජනවරමක් ලැබී තිබිණි. එම අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ සහය නැතිනම් ඒ බව පෙන්විය යුතුව තිබිණි. එසේ වුවද වැදගත් පනත් රැසක් ‍එම කාලයේ සම්මත කරගනු ලැබූවේ විශාල වැඩි ඡන්දයකිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වන සංශෝධනයට පක්ෂව ඡන්ද දෙසිය ගණනක් ලැබෙද්දී විපක්ෂව ලැබුණේ එක ඡන්දයකි. එබැවින් එම තර්කය ද පුස්සකි.

අනෙක් අතට අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතර බලය නැතිනම් ඒ බව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමෙන් හා එය සම්මත කිරීමෙන් පෙන්විය හැකිය. එවිට අගමැතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවෙයි. පාර්ලිමේන්තු සම්ප්‍රදාය එයයි. එවැන්නකට කිසිවකු උත්සාහයක් හෝ නොදරන්නේ එය සාර්ථක නොවන බව දන්නා නිසා විය හැකිය. කෙසේ වුවද තවමත් ඒ සඳහා අවස්ථාව විවෘතය.

ජනාධිපතිවරයාගේ පක්ෂයට පළාත් පාලන ඡන්දයේදී ලැබුණේ සියයට දොළහක් නිසා ජනාධිපතිවරයා ඉවත්විය යුතු යැයි කීම හා අගමැතිවරයාගේ පක්ෂයට ලැබුණේ සියයට 32ක් නිසා අගමැති අස්විය යුතු යැයි කී තර්කවලට මනෝ ගනේෂන් ඇමැතිවරයා යස පිළිතුරක් දුන්නේය. ඒ මහතා කීවේ එය එසේනම් ජනාධිපතිවරණය, මහ මැතිවරණය, පළාත් සභා මැතිවරණය හා පළාත් පාලන මැතිවරණය කියා හතරක් අවශ්‍ය නොවන බවයි. එක මැතිවරණයක් තියා ඒ ප්‍රතිඵලය අනුව සියල්ල පත්කරගත හැකි බව ගනේෂන් මහතා ප්‍රකාශ කළේ මේ කියන කතා හා වාද විවාද ගැන තමන්ට ලැජ්ජා බවත් කේන්ති යන බවත් සඳහන් කරමිනි.

මැතිවරණ නිරීක්ෂක සංවිධාන පැත්තෙන් මෙම මැතිවරණය ගැන තවත් විවේචනයක් ඉදිරිපත් වීය. එනම් ඇතැම් දේශපාලන පක්ෂ මෙම මැතිවරණයේ හරය විකෘති කිරීමෙන් එහි අරමුණට හානි වූ බවයි. මැතිවරණය පවත්වන ලද්දේ පළාත් පාලන ආයතනවලට සුදුසු නියෝජිතයන් පත්කර ගැනීමටය. එහෙත් ඇතැම් පක්ෂ එය වෙනත් අරමුණකට යොමු කළේය. අවසානයේ පත්වී සිටින‍්නේ කවුරුත් නොහිතූ වර්ගයේ නියෝජිත පිරිසකි. ඇතැම්විට ඡන්ද දායකයන් විශාල පිරිසක් ඡන්දය දී ඇත්තේ අපේක්ෂකයා හඳුනන්නේවත් නැතිවය. ප්‍රතිඵලය නම් දූෂිතයන් හා මැරයන් විශාල පිරිසක් පළාත් පාලන අායතනවලට පත්වීමය.

මෙම මැතිවරණ ක්‍රමය අලුතින්ම සකස් කරන ලද‍්දේ ජනතා ඉල්ලීම් සැලකිල්ලට ගනිමිනි. එයින් ඡන්ද කොට්ඨාස ක්‍රමයක් ඇතිකළේ තම කොට්ඨාසයට වගකියන නියෝජිතයන් තෝරා ගන්නටය. අවසානයේ එම අරමුණ පසෙක තබා කටයුතු කිරීම නිසා කොට්ඨාසයේ ජනතාවට අවශ්‍ය නියෝජිතයා ලැබී නැත. අලුත් මැතිවරණ ක්‍රමයේ මූලික අරමුණ විකෘති වූයේ එහෙමය.

ආණ්ඩු පෙරළන සිහින

පොහොට්ටුවේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන ලද්දේ මහින්ද රාජපක්ෂ මහතාට අගමැති තනතුර ලබාදෙන මැතිවරණයක් බව කියමිනි. මැතිවරණය ජයගතහොත් මහින්ද අගමැතිවී තම පක්ෂයේ ආණ්ඩුවක් හදන බවද ඔවුහු කීහ. ඔවුන්ට ඡන්දය දුන් ඡන්ද දායකයන් එම කතාව විශ්වාස කළ බව පෙනෙන්නට තිබෙන්නේ ජයග්‍රහණයෙන් පසුව පොහොට්ටුවේ ආධාරකරුවන් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලට ද යොමුවීම නිසාය. ඔවුන් හිතුවේ දැන් ආණ්ඩුව තමන් අතේ බවයි. එය හොඳින්ම කැපී පෙනෙන සිදුවීමක් නම් ඡන්දයට පසුදා පොහොට්ටුවේ ආධාරකරුවන් කිහිපදෙනකු විසින් හැටන් ඩිපෝවේ පාලකයන් පන්නා බලය අල්ලා ගැනීමේ සිදුවීමයි. ඒ ඔවුන්ගේ ක්‍රමයයි. ඔවුන්ට සිහිය සැපත්වූයේ පොලිස් අත්අඩංගුවට පත්වූ විටදීය. මෙයින් පෙනෙන්නේ මොවුන්ගේ මෙම මැතිවරණ ව්‍යාපාරය කොතරම් රැවටිලිකාර හා වංචාකාර එකක් වීද යන්නය. මැතිවරණ ප්‍රතිඵලයේ සංඛ්‍යාවලින් මේවා පෙනෙන්නේ නැති බව සියලුදෙනා තේරුම් ගතයුතු කාරණයකි.

බෙදී සටන් වැදීම

බොහෝදෙනා මතුකරන කාරණයක් නම් ආණ්ඩු බලය තිබියදී පළාත් පාලන ඡන්දය පරාජයවීමයි. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා එක්සත් ජාතික පක්ෂයට අදාළය. සාමාන්‍යයෙන් බලයේ සිටින පක්ෂය පළාත් පාලන මැතිවරණය දිනන්නේය යන්න මෙතෙක් තිබූ තත්ත්වයයි. මෙය ආණ්ඩුවේ ජනප්‍රියත්ව හීනවීමක් ලෙස අර්ථ දැක්වෙයි. එහි ඇත්තක් ඇති බව ද පෙනෙන්නට තිබේ. එසේ වුවද වෙනත් කරුණු ද මෙයට බලපෑ බව ද අමතක නොකළ යුතුය. මෙම පක්ෂ මැතිවරණයට ගියේ තනි ආණ්ඩුවක් ලෙස තනි මතයක සිට නොවේ. කණ්ඩායම් දෙකක් ලෙස ගොස් ආණ්ඩුවේම පක්ෂයක් කටයුතු කළේ විපක්ෂයක් වශයෙනි. එය ඡන්ද ප්‍රතිඵලවලට කළ බලපෑම සුළුපටු නැත. ප්‍රතිඵලය නම් ආණ්ඩුවේ පක්ෂ දෙකම පසුබෑමට ලක්වීමය.

අනෙක් අතට මෙය මීට පෙර පැවැති පළාත් පාලන ඡන්ද සමඟ සැසඳීම ද කළ යුත්තේ පරිස්සමිනි. එකල බලයේ සිටි ආණ්ඩු පළාත් පාලන ආයතන දිනූ බව ඇත්තකි. එසේ වුවද එලෙස ජයග්‍රහණය කළේ රාජ්‍ය සම්පත්, රාජ්‍ය බලය හා ඇතැම්විට මැර බලයද යොදාගනිමිනි. මැතිවරණය කළේ ඡන්ද නීති තුට්ටුවකට මායිම් නොකරය. මැතිවරණ නීති රැකීමට කවුරුන් උත්සාහ කළ ද එය සහතික කිරීමට ස්වාධින පොලිස් සේවයක්, ස්වාධීන මැතිවරණ කොමිසමක්, ස්වාධීන අධිකරණයක් හා ස්වාධීන රාජ්‍ය සේවයක් ද තිබුණේ නැත. එදා පැවැති ආණ්ඩු පළාත් පාලන ආයතන ජය ගත්තේ තම බලය උපරිම ලෙස යොදා ගනිමිනි. දැන් සියල්ල වෙනස්කොට තිබෙන්නේද ඒ නිසාමය.

ඒ අනුව බලනවිට ආණ්ඩුව පළාත් පාලන ඡන්දයේදී පසුබෑමකට ලක්වුවද ඔවුන් රටට යමක් දිනාදී ඇත. එනම් නිදහස් සාධාරණ ඡන්ද පැවැත්වෙන තත්ත්වයක් අඩුතරමේ පළාත් පාලන ආයතන මට්ටමේදී සහතික කර දීමයි. එය රට ලැබූ ජයග්‍රහණයකි. 2015 ජනවාරි 8 ජන බලය ලැබූ ජයග්‍රහණයකි. එය අමතක නොකළ යුතු කාරණයකි.

බලයේ සිටින ආණ්ඩු අනෙක් ඡන්ද ජයගත යුතුය යන මතයද භයානකය. එවිට ආණ්ඩු පෙළඹෙන්නේ කුමන ක්‍රමයෙන් හෝ බලය යොදා ඡන්ද දිනන්නටය. එසේ පෙළඹීමක් ඇතිවන තත්ත්වයක් නිර්මාණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට හානිකරයි. පොහොට්ටු පාක්ෂිකයන්ට මේ ගැන වුවමනාවක් හෝ දැනුමක් නොතිබිය හැකිය. එසේ වුවද 2015 ජනවාරි පෙළගැසුණු ජන බලය සමඟ සිටි සැමදෙනා මෙම කාරණය බරපතළ ලෙස තේරුම් ගත යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම තුළ මැතිවරණ පවත්වන්නේ කොහොමහරි දිනන්නට නොවන බව මෙන්ම ජය මෙන්ම පරාජය ද විඳගන්නට සූදානම් විය යුතු බවද අපි තේරුම්ගත යුත්තෙමු. මැතිවරණ ප්‍රතිඵලයට ප්‍රතිචාර දැක්විය යුත්තේ එම තේරුම් ගැනීම ඇතිවය.

එක්සත් ජාතික පාක්ෂිකයාගෙන් පක්ෂ නායකත්වයට බරපතළ විරෝධයක් පළවී ඇති බව පෙනෙන්නට තිබේ. එයට ප්‍රධානම හේතුව මෙම වසර තුනේදී එම පාක්ෂිකයාට සැලකීමට නායකත්වය ක්‍රියා නොකිරීමයි. ඔවුන්ට රැකියා ලැබී නැත. කොන්ත්‍රාත් ලැබී නැත. රැකියාවල උසස්වීම් ලැබී නැත. වෙනත් වරප්‍රසාද ලැබී නැත. ඒ ඔවුන් කියන දුක්ගැනවිල්ලයි.

මෙය එක් අතෙකින් මෙරට දේශපාලන සංස්කෘතිය පිළිබඳ කාරණයකි. එක් එක් පක්ෂය බලයට එන්නේ තමන් බලයට පත්කළ, එයට උදව් කළ උදවියට සලකන්නය. රාජපක්ෂ පාලනය එය හොඳටම කළේය. හිතවතුන්ගෙන් රාජ්‍ය ආයතන පුරවා දැමුවේ මහජන මුදල් ගැන වගේ වගක් නැතිවය. කොන්ත්‍රාත්, වරප්‍රසාද, බාර් ලයිසන්, පෙට්‍රල් ෂෙඩ් ආදී මෙකී නොකී බොහෝ දේ බෙදාහැරියේය. ඇමැති මණ්ඩලයේ පළාත් සභාවල, පළාත් පාලන ආයතනවල හිටි අයට හොඳට හොරකම් කරන්නට ඉඩදී තිබුණේය. ජනාධිපතිතුමා හෙළිකළ පරිදි ඔවුන්ට දුන් උපදේශය නම් අහුවෙන්නේ නැතිව කරපල්ලා යන්නයි. මහින්ද රාජපක්ෂ මහතා වට‍ා ගොඩනැගී ඇති ජනබලය හැදී තිබෙන්නේ එහෙමය.

පසුගිය කාලයේ යූ.ඇන්.පී. කාරයන්ට සමෘද්ධිය දුන්නේ නැත. මේ ආණ්ඩුව ආවත් දුන්නේ නැත. ඒත් ආණ්ඩුව සමෘද්ධි දීමනා වැඩි කළේය. ඒ සල්ලි ගියේත් මහින්දගේ මිනිස්සුන්ටය. මේ ගමේ එ. ජා. පාක්ෂිකයා කියන කතාවය.

ආපසු හැරවියයුතු අසාධාරණය

එ. ජා. පාක්ෂිකයාගේ මෙම ඉල්ලීම එක අතකින් ප්‍රජාතන්ත්‍ර විරෝධීය. පාක්ෂිකයන්ට සැලකීමට ආණ්ඩු හදන ක්‍රමය අවසන් කළ යුතුය. එය යහපාලනයක අරමුණ විය යුතුය. එසේ වුවද එජා පාක්ෂිකයාගේ ඉල්ලීමේ සාධාරණත්වයක් ද ඇත. මෙම පිරිස දිගු කලක් තිස්සේ මෙම අසාධාරණයට ලක්වූවෝ වෙති. ඔවුන්ට දැන්වත් සාධාරණය ඉටුකළ යුතුය. එය ‍ලෝකයේ පිළිගත් ප්‍රතිපත්තියකි. එයට කියන්නේ අසාධාරණය ආපසු හැරවීම (Reverse Discrimination) කියාය. යම් කාලයක් තුළ එබඳු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතුය. යහපාලනය මූලධර්මවලට පැමිණීම ඉන්පසුව කළ හැකිය.

කෙසේ වෙතත් මේ මොහොතේ පවතින අනෙක් ප්‍රශ්නය නම් ආර්ථීකය ගොඩ ගැනීමට මුල් තැන දිය යුතු වීමයි. ඒ සඳහා දැඩි මූල්‍ය කළමනාකරණයක් ක්‍රියාත්මක කළ යුතුව ඇත. මේ වසර කිහිපයේ ආණ්ඩුව කළේ ඒකය. එය ආර්ථිකය ගොඩගැනීමට අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ගයකි. ආණ්ඩුව හිතන්නට ඇත්තේ පළමුව රටේ ආර්ථිකය ගොඩ දමා දෙවනුව පාක්ෂිකයා ගැන හිතනවා කියා විය හැකිය. එසේ වුවද දැන් පෙනෙන්න තිබෙන්නේ පාක්ෂිකයාගේ ප්‍රශ්නයට පිළිතුරු සැපයීම ද කල් පසු නොකළ හැකි බවයි. එජාප මැති ඇමැතිවරුන් තනියම ආණ්ඩුවක් ඉල්ලන්නේ ද ඒකය. මෙය දැන් රටේ ජාතික අවශ්‍යතාවය හා දේශපාලන පැවැත්ම අතර ගැටුමක් බවට පත්ව ඇත.

ඉදිරි කාලයේ රජයට මුහුණදීමට සිදුවන්නේ මේ ප්‍රතිවිරෝධය ජය ගැනීමේ අභියෝගයටයි.

සී. ජේ. අමරතුංග

නව අදහස දක්වන්න