‘ජනපති හා අගමැති එක්ව යහපාලනය ගෙන යා යුතුයි’ | දිනමිණ

‘ජනපති හා අගමැති එක්ව යහපාලනය ගෙන යා යුතුයි’

කමනි අල්විස්

මහින්දට, ජී.එල්.ට, බැසිල්ට ආණ්ඩු සෑදීමට කිසිසේත් ඉඩ නොතබන බවත්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ගහට පොත්ත මෙන් එකට සම්බන්ධ කරගෙන දිවි පරදුවට තබා 2015 දී මහජන ඡන්දයෙන් පත්කර ගත් යහපාලන ආණ්ඩුව ඉදිරියටම ගමන් කරවීමට පියවර ගන්නා බව ජාතික විද්වත් සංසදයේ උප සභාපති මාලඹේ සීලරතන හිමියෝ පැවසූහ.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි මහින්දගේ හොර නඩය ඇතුළුව හොරකම්, වංචා, දූෂණය, භීෂණය අනුමත කිරීමට පොහොට්ටුවට ලබා දී තිබෙන ඡන්ද හුවාදක්වමින් ආණ්ඩු වෙනස් කිරීමට, අගමැතිවරයා වෙනස් කිරීමට දරන උත්සාහයට මොන යම් ආකාරයකින්වත් ඉඩ දෙන්නේ නැති බව ජාතික විද්වත් සංසදයේ ජාතික සංවිධායක අඹන්වල ඤාණාලෝක හිමියෝ පැවසූහ.

යහපාලන ආණ්ඩුව දුන් පොරොන්දු ඉටුකරමින් හොරුන්, වංචාකාරයින්, දාමරිකයින් පළවාහැරීමට පියවර නොගැනීම ඡන්ද ප්‍රතිඵලයෙන් පෙන්වා දී තිබෙන නිසා එම පොරොන්දු ඉටු කරමින් ජනාධිපති සහ අගමැති ප්‍රධාන යහපාලන රජය අඛණ්ඩව ඉදිරියටම ගෙන යන බව ජාතික විද්වත් සංසදයේ අනුශාසක බෝපිටියේ ධම්මිස්සර හිමියෝ පැවසූහ.

සම්මුතිවාදී ආණ්ඩුව ගෙන ඒමට දායක නොවුන සරණාගතයින් පිරිසක් සම්මුතිවාදී ආණ්ඩුවට ඇතුළත්වීමේ විපාක දැන් පෙනෙන්නට තිබෙන බවත්, මාධ්‍ය සංදර්ශන පවත්වමින් ආණ්ඩු පෙරළීමට අගමැති වෙනස් කිරීමට කිසිසේත් ඉඩ නොතබන බව ජාතික විද්වත් සංසදයේ සභාපති මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.

ගම ගොඩනැංවීමට අවස්ථාව ලබා දුන් පුංචි ඡන්දයේ ප්‍රතිඵල වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් එම ඡන්ද ප්‍රතිඵලය විකෘති ලෙස සමාජගත කරමින් ඒ තුළින් ආණ්ඩුව සහ අගමැති වෙනස් කිරීමේ වැරදි අර්ථකථන ලබාදෙමින් සමාජයට ලබාදෙන වැරදි පූර්වාදර්ශ අනුමත නොකරන බව ජාතික විද්වත් සංසදයේ සාමාජික මහාචාර්ය කෙනඩි ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ජාතික විද්වත් සංසදයේ පැවිදි ගිහි පිරිස ඊයේ (20) කොළඹ ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ කළේය.

අඹන්වෙල ඤාණාලෝක හිමි - විපක්ෂය ප්‍රාදේශීය සභා මැතිවරණය ජනමත විචාරණයකට හරවාගෙන කතා කරනවා. එයින් ඔවුන්ගේ දැනුම වටහාගත හැකියි. ජනමත විචාරණයක් නම් පොහොට්ටුව එයින් පරාදයි. ඊට හේතුව පො‍හොට්ටුවට විරුද්ධව සීයට පනස්හයක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලැබීමයි. මාධ්‍ය සංදර්ශන පවත්වමින් අවංක ගුණගරුක ජාත්‍යන්තරය ජයගත් රනිල් අගමැතිතුමා ‍බය කළ නොහැකියි. එතුමා හොඳ බෞද්ධයෙක්. ජාතිවාදයට, වර්ගවාදයට, ආගම්වාදයට එතුමා පමණක් නොව එක්සත් ජාතික පක්ෂයම කැමති නැහැ.

බෝපිටියේ ධම්මිස්සර හිමි - භීෂණය, හොරකම රට වපුරා තිබූ සමයක බැසිල්, ගෝඨාභය පවුලට එරෙහිව ජනතාව යහපාලන ආණ්ඩුව පත්කළා. ගෝඨාභය ඤාණසාර එකතු කරගෙන බේරුවල ගිනි තිබ්බා. ජාතිවාදය ඇවිස්සුවා. මේ හැම දෙයකටම එරෙහිව ජනතාව මෙම ආණ්ඩුව පත්කර ගත්තා. වඩමාරච්චි අවසන් වෙද්දී ගෝඨාභය රටින් පැන්නා. බැසිල් කියන්නේ ගාමිණී දිසානායක මහතා ළඟ රුපියල් දහදාහේ වැටුපකට වැඩ කළා. රාජ්‍ය බලයෙන් නාමල් විභාගෙ ලිව්වා.

මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා - සරණාගතයින් වෙනුවට සැබෑ සම්මුතිවාදීන් කවුදැයි හඳුනාගෙන ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඉදිරියට ගමන් කළ යුතුයි.

මාරපන හේවානන්ද හිමි, යටමලගල සුමනසාර හිමි, හබරන රතනධම්ම හිමි, හපුගොඩ සුමේධ හිමි, ලැගුම්දෙණියේ පියරතන හිමි, බෝපිටියේ ධම්මිස්සර හිමි ඇතුළුව ජයලත් මුරුත්තෙට්ටුවේගෙදර ඩී. එම්. ඩී. දිසානායක මහත්වරු ජාතික විද්වත් සංසදය නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගි වූහ.

ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ

නව අදහස දක්වන්න