විසල් දඹුල්ල පානීය ජල ව්‍යාපෘතිය එන මස අවසන් කිරීමට පියවර | දිනමිණ

විසල් දඹුල්ල පානීය ජල ව්‍යාපෘතිය එන මස අවසන් කිරීමට පියවර

විසල් දඹුල්ල පානීය ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ලබන මාසය ඇතුළත අවසන් කිරීමට පියවර ගැනේ. මේ පිළිබඳ සාකච්ඡාවක් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ දී පවත්වන ලදී.

මහ දඹුල්ල ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම මත නගර සැලසුම් හා ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතාගේ උපදෙස් පරිදි, අමාත්‍යංශයේ ලේකම්, හපුආරච්චි මහතාගේ මූලිකත්වයෙන් මේ පිළිබඳ සාකච්ඡාව පැවත්විණි. තව ද නගර සැලසුම් හා ජල සම්පාදන ඇමැති ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතාගේ උපදෙස් පරිදි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ඉදිකිරීම් කටයුතු සඳහා කටයුතු කරන වාටෙක් සමාගම සහ නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් ඇතුළත් මෙහෙයුම් යාන්ත්‍රණයක් ඇති කර කටයුතු කඩිනම් කිරීමට පියවර ගෙන ඇත.

දිනකට ඝන මීටර් 65000ක ධාරිතාවකින් යුත් තුමුළුව, දිනකට ඝන මීටර් 32000කින් යුත් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ජල පවිත්‍රාගාරය, සේවා ජලාශ 07ක් හා ජල කුලුනු 02ක් පොම්පාගාර 02ක් කි.මී 72ක සම්ප්‍රේෂණ නළ මාර්ග හරහා ජලය පොම්ප කර කි.මී 220ක බෙදා හැරීමේ පද්ධතියකින් සමන්විතව විසල් දඹුල්ල අදියර 1 ඉන්දියානු එක්සිම් බැංකුව හා ශ්‍රී ලංකා මහජන බැංකුවේ රුපියල් මිලියන 10,000ක ආධාර යටතේ ව්‍යාපෘතිය සමාරම්භ කරන ලදී.

ව්‍යාපෘතිය මේ වන විට එහි අවසාන අදියරේ පවතින අතර, එහි පළමු අදියර තුමුළුව හා ඒ හා සම්බන්ධ ප්‍රධාන සම්ප්‍රේෂණ නළ මාර්ගය හා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ජල පවිත්‍රාගාරයේ කටයුතු අවසන් කර නගර සැලසුම් හා ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතාගේ සුරතින් 2017 අප්‍රේල් මස 09 වැනි දින විවෘත කර ජනතා අයිතියට පත් කරන ලදී.

ඒ අනුව, දඹුල්ල, සීගිරිය හා ඉනාමළුව ප්‍රදේශ ආවරණය කරමින් එම ප්‍රදේශයන්ට අදාළ බෙදාහැරීමේ නළ මාර්ග පද්ධති 2017 අගෝස්තු මස 30 දින අවසන් කර, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ක්‍රියාත්මක හා නඩත්තු අංශය මගින් නව ජල සම්බන්ධතා 500ක් පමණ මේ වන විට ලබා දී ඇත.

තව ද, පැරැණි ජල සම්පාදන ක්‍රමයේ ලබා දී තිබූ ජල සම්බන්ධතා 5000ක් සඳහා වූ ජල හිඟයට පිළියමක් වශයෙන් ව්‍යාපෘතියේ නව ජල පවිත්‍රාගාරය මගින් පිරිපහදු කරන ලද ජලය ලබා දී දඹුල්ල නාගරික ප්‍රදේශයේ හා ඒ අවට ප්‍රදේශයන්හි ජල පහසුකම් වැඩි දියුණු කිරීමට හා සේවා ආවරණය ඉහළ දැමීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට මේ වන විට හැකියාව ලැබී ඇත.

එසේම, මේ වන විට තලකිරියාගම, හබරණ තිත්තවැල්ලගොල්ල ප්‍රදේශ සඳහා වූ නව සේවා ජලාශ මගින් අදාළ ප්‍රදේශයන්හි ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීම නොබෝ දිනකින් සිදු කිරීමට නියමිතව ඇත. තව ද, ව්‍යාපෘතියේ කණ්ඩලම, කිතුල්හිටියාව සහ ගලේවල ප්‍රදේශවල ඉදි කළ සේවා ජලාශවල කටයුතු ද මේ වන විට අවසන්ය. ඉන් කණ්ඩලම හා ගලේවල සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ නළ මාර්ගවල කටයුතු 2018 පෙබරවාරි මස අවසානයේ, කිතුල්හිටියාව සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ නළ මාර්ගවල කටයුතු 2018 මාර්තු මස අවසන් වන විටත් නිම කිරීමට අපේක්ෂිත වන අතර, ඉන් අනතුරුව එම ප්‍රදේශයන්හි ජනතාවට කිසිදු අඩුවකින් තොරව පානීය ජලය ලබා ගැනීමේ අවස්ථාව උදා වනු ඇත. 

නව අදහස දක්වන්න