නඩත්තුවක් නැතිව මදුනාගල විදුලි වැට බිම | දිනමිණ

නඩත්තුවක් නැතිව මදුනාගල විදුලි වැට බිම

වන අලින්ගෙන් ගම් රැක ගැනීම ගැටලුවක්

සුරියවැව මදුනාගල හා අවට ගම් වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිකෙරුණු විදුලි වැට කිසිදු නඩත්තු කටයුත්තක් සිදු නොවිම නිසාවෙන් දැනට වසර පහක පමණ කාලයක සිට බිමට කඩාගෙන වැටී ඇතැයි ගම් වැසියෝ පවසති.

විදුලි වැට මේ වන විට සම්පුර්ණයෙන්ම කැලෑවට ගොස් ඇති අතර විදුලි වැටෙහි ලී කණු ද දහසක් පමණ බිමට වැටී විනාශ වී තිබේ.මෙම විදුලි වැට ඉදි කිරීම සඳහා රුපියල් එක්කොටි නව ලක්ෂයක පමණ මුදලක් වියදම් කර ඇතත් එයද අදවන විට ප්‍රථිඵල රහිත වී ඇති බව ගම්වාසීහු පවසති.

අද වන විට විදුලි වැට නොමැති වීමෙන් මදුනාගල,සීනිමෝදරයාය,හස්තිපුර,අටේ කනුව,ආඩිගම,මහආර,තලල්ල,කොග්ගල්ල,හබරත්තවෙල,කරඹගලයාය,උණුදිය පොකුණ හා මහපැලැස්ස ඇතුලු ගම් රැසක් වන අලි කරදර වලට ගොදුරු වි තිබේ.

තව දුරටත් මේ විදියට විශාල මුදලක් වියදම් කරමින් නමට පමණක් අලි වැටවල් ඉදිකිරීම කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවත්,අලි වැටට සමගාමීව පතොක් වැනි ශාඛ අලි වැට දිගේ සිටුවුව හොත් පමණක් වන අලි ගම් වැදීම නතර කළ හැකි බවත් ගම්වාසීහු පවසති.

සුරියවැව විශේෂ
නුවන් ජයසේකර

නව අදහස දක්වන්න