ක්ලිෆර්ඩ් කුසලාන රගර් | දිනමිණ

ක්ලිෆර්ඩ් කුසලාන රගර්

ෆවුස් මොහොමඩ්
නාවික-පොලිසිය අතර අර්ධ අවසන් පූර්ව තරගයෙන්. ඡායාරූපය - සමන්ත වීරසිරි

මහනුවර-සී.ආර්. නාවික-හැව්ලොක්ස් අද අවසන් පූර්ව තරගයට එක් වෙයි

දේශීය රගර් පිටියේ දශක ගණනාවක් පුරා ආධිපත්‍යය පතුරුවාලමින් සිටින මහනුවර ක්‍රීඩා සමාජය සිය 23 වැනි ක්ලිෆර්ඩ් කුසලානය අත්පත් කරගැනීමේ අරමුණින් අද (21) පස්වරුවේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමග අවසන් පූර්ව තරගයට එක්වෙයි.

මහනුවර ක්‍රීඩා සමාජයට වසර 14ක් පුරා ක්‍රීඩා කරමින් සිටින මෙරට රගර් තරග බිමේ බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස හඳුන්වනු ලබන ජාතික 15 සාමාජික සහ සත් සාමාජික රගර් කණ්ඩායම්වල හිටපු නායක ෆාසිල් මරිජාගේ අවසන් තරගාවලිය මෙය වන බැවින් තවත් කුසලානයකින් ඔහුගේ සමුගැනීම වර්ණවත් කිරිමට මහනුවර පිලේ ක්‍රීඩකයෝ බලා සිටිති. එබැවින් අද තරගය ජයග්‍රහණයෙන් නිමා කර ලබන 25 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේ පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම මහනුවර කණ්ඩායමේ අභිලාෂය වී ඇත.

පසුගියදා නිමාවට පත්වූ අන්තර් සමාජ ලීග් රගර් ශූරතාවත් අපරාජිතවම දිනාගැනීමට සමත්වූ ගයාන් වීරරත්නගේ නායකත්වයෙන් යුතු මහනුවර ක්‍රීඩා සමාජය අවසන් පූර්ව තරගයට එක්වූයේ අර්ධ අවසන් පූර්ව තරගයේදී ලකුණු 53-14කින් ගුවන් හමුදා පිල පරාජය කරමිනි.

ආබාධ නිසා ගුවන් හමුදා පිල සමග පැවැති තරගයට ක්‍රීඩා නොකළ ජේසන් දිසානායක, සයුරු ඇන්තනී සහ බුවනෙක උඩංගමුව අද තරගයේදී යළි කණ්ඩායමට එක්වීමට නියමිතය. ගුවන් හමුදා පිල සමග පැවැති තරගයේදී මිනිත්තු 10ක් පමණක් ක්‍රීඩා කළ ෆාසිල් මරිජා ද අද තරගයේදී වැඩි කාලයක් පිටියේ රැඳී සිටිමින් කණ්ඩායමට දායකත්වයක ලබාදීමට බලාපොරොත්තු වන බව ඊයේ ‘දිනමිණ’ කළ විමසුමකදී කියා සිටියේය.

මේ අතර ලීග් තරගාවලියේ දැඩි පසුබෑමකට ලක්වූවත් ක්ලිෆර්ඩ් කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයෙන් සී.එච්.පිල පරදවා අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබූ කවිඳු පෙරේරාගේ නායකත්වයෙන් යුතු සී.ආර්. කණ්ඩායම අද තරගයට එක්වන්නේ ලීග් තරගාවලියෙන් අහිමිවූ කීර්තිය නැවත අත්කරගැනීමේ බලාපොරොත්තුවෙනි. සෂාන් මොහොමඩ්, ඕමල්ක ගුණරත්න, තරින්ද රත්වත්ත, හේෂාන් මධුරංග සහ නායක කවිඳු පෙරේරා සී.ආර්.පිලේ ප්‍රබලතම තුරුම්පු බවට පත්වී සිටිති.

මෙවර ලීග් තරගාවලියේ අනුශූරතාව දිනූ නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අතර අවසන් පූර්ව තරගයත් අද පස්වරුවේ කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වෙයි.

මෙවර තරගවාරය පුරා විශිෂ්ට ක්‍රීඩා රටාවක නිරතවූ නාවික හමුදා පිල ලීග් තරගාවලියේ ඉහළට ඔසවා තැබූ ෆුල් බෑක් ක්‍රීඩක තිළිණ වීරසිංහ තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම්ලාභියා මෙන්ම වැඩිම ලකුණුලාභියා ලෙසත් සම්මාන දිනාගැනීමට සමත්වූ අතර පසුගියදා පැවැති ක්ලිෆර්ඩ් කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයෙන් පොලිස් පිල ලකුණු 36-28කින් පරාජය කිරීමටත් විශිෂ්ට දායකත්වයක් ලබා දුන්නේය. දුලාංජන විජේසිංහ, මොහොමඩ් අබ්සාල්, මූෂින් ෆලීල්, නැවියන්ගේ කඳවුර ශක්තිමත් කිරීමට පෙළ ගැසී සිටිති.

එසේ වුවත් නැවියන්ගේ දස්කම් හමුවේ මෙවර ලීග් තරගාවලියේ අනුශූරතාව අහිමි කරගත් හැව්ලොක්ස් පිල අද තරගයට එක්වන්නේ ප්‍රතිවාදීන් අබිබවා යමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමටය. රීසා මුබාරක්, සුදම් සූරියආරච්චි, නිෂෝන් පෙරේරා, චාමර දාබරේ, හිරන්ත පෙරේරා, ෂැරෝ ප්‍රනාන්දු, ප්‍රසාද් මධුසංඛ හැව්ලොක්ස් පිලේ ජයග්‍රහණය වෙනුවෙන් උර දීමට සැදී පැහැදී බලා සිටිති.

 

නව අදහස දක්වන්න