හලාවත මේරියන්ස් තරගාවලිය ජය ගනී | දිනමිණ

හලාවත මේරියන්ස් තරගාවලිය ජය ගනී

නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ තීරණාත්මක තරගයෙන් එස්.එස්.සී. පිල ලකුණු 264කින් පරාජය කළ හලාවත මේරියන්ස් කණ්ඩායම ප්‍රිමියර් ලීග් ‘ඒ‘ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට සමත්විය. හලාවත මේරියන්ස් පිල ‘සුපිරි අට’ වටයේදී පිට පිට ලබාගත් සිවුවැනි ජය මෙය වන අතර අපරාජිතවම තරගාවලිය නිමා කිරීම ද කැපී පෙනුණි. එස්.එස්.සී කණ්ඩායමද ‘සුපිරි අට’ වටයේ අපරාජිතයන් ලෙස මේ තරගයට එක්විය.

හලාවත පිල ලබාදුන් ලකුණු 540ක ඉලක්කය හඹා ගිය එස්.එස්.සී.පිලට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 275ක් පමණි. හලාවත මේරියන්ස් පිලේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ ශෙහාන් ජයසූරිය පිත්තෙන් දස්කම් දක්වමින් පළමු ඉනිමේදී ශතකයක් සහ දෙවැනි ඉනිමේදී අර්ධ ශතකයක් රැස් කිරීමට සමත්වූ අතර පන්දුවෙන් දස්කම් පාමින් එස්.එස්.සී. ඉනිම් 2දීම කඩුලු 4 බැගින් බිඳ දැමීමට සමත්විය.

මෙවර තරගාවලියේ වැඩිම ලකුණුලාභියා ලෙස හලාවත මේරියන්ස් පිලේ සචිත්‍ර සේරසිංහ තරග 10කදී ශතක 3ක් සහ අර්ධ ශතක 6ක් සමග ලකුණු 901ක් ලබාගත් අතර එම කණඩායමේ නායක මලින්ද පුෂ්පකුමාර කඩුලු 70ක් දවාලමින් තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත්විය.

හලාවත පළමු ඉනිම - 372 (ඕවර 103.5) ෂෙහාන් ජයසූරිය 146, අශේන් සිල්වා 105 (අක්තාබ් කාදර් 79/4, සචිත්‍ර සේනානායක 103/4) සහ දෙවැනි ඉනිම - 399 (ඕවර 105.3) ෂෙහාන් ජයසූරිය 88, රිසිත් උපමාල් නොදැවී 88, රුක්ෂාන් ෂෙහාන් 78 (අකාෂ් සේනාරත්න 72/4, සචිත්‍ර සේනානායක 134/4)

එස්.එස්.සී පළමු ඉනිම - 232 (ඕවර 66.2) සම්මු අශාන් 72, චාමර කපුගෙදර 63 (ෂෙහාන් ජයසූරිය 48/4, තක්ෂිල ද සිල්වා 27/3) සහ දෙවැනි ඉනිම - 275 (ඕවර 72.2) සම්මු අශාන් 83 (ෂෙහාන් ජයසූරිය 65/4, පුලින තරංග 11/3, මලින්ද පුෂ්පකුමාර 112/3)

මේ අතර අවසන් සතියට පැවැති අනෙකුත් තරගවලින් ජයග්‍රහණ අත්කර ගැනීමට එන්.සී.සී., බි.ආර්.සී. හා වරාය අධිකාරි කණ්ඩායම්වලට හැකි විය.

එන්.සී.සී පිල කෝල්ට්ස් පිලට එරෙහිව ඉනිමක හා ලකුණු 143ක ජයක්ද, බී.ආර්.සී පිල රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 8ක ජයක්ද අත්කර ගත් අතර වරාය අධිකාරිය කඩුලු 6ක ජයක් වාර්තා කළේ සැරසන්ස් ක්‍රීඩා සමාජය පරදවමිනි.

කෝල්ට්ස් පිල සමග තරගයේදී එන්.සී.සී. පිල පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 618ක් රැස්කළේ මෙවර තරගාවලියේ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසිනි. එහිදී නිමාවු සතියේ වාර්තා වූ ඉහළම ඉනිමට හිමිකම් කී ළහිරු උදාර එන්.සී.සී. ඉනිමට ලකුණු 157ක් එක් කිරීමට සමත් විය. පන්දු 229කින් ගොඩනැගුණු ඔහුගේ ඉනිම හතරේ පහර 18කින් හා හයේ පහර 3කින් වර්ණවත් විය. එම කණ්ඩායමේ භානුක රාජපක්ෂ (134), ඇන්ජලෝ පෙරේරා (129) හා මහේල උඩවත්ත (106) ශතක රැස් කළහ.

මේ අතර කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ සහන් ආරච්චිගේ හා වරාය අධිකාරියේ නික් කොම්ප්ටන්ද අවසන් සතියේදී ශතක රැස්කිරීමට සමත් වූහ.

නිමාවූ සතියේ දක්ෂතම පන්දු යවන්නා බවට පත්වූ සුරාජ් රන්දීව් රාගම ක්‍රීඩා සමාජයේ කඩුලු 5ක් බිඳ දැම්මේ ලකුණු 8ක් පමණක් ලබාදෙමිනි. එම ක්‍රීඩා සමාජයේ හිමේෂ් රාමානයක, චරිත් ජයම්පති (වාරය), රනිත ලියනාරච්චි (සැරසන්ස්), ලසිත් ඇඹුල්දෙණිය (එන්.සී.සී.) හා සචින්ත පීරීස් (එන්.සී.සී.) ද ඉනිමකදී කඩුලු 5ක් බැගින් දවා ගැනීමට සමත් වූහ.

එන්.සී.සී. ඉනිමකින් දිනයි

කෝල්ට්ස් පළමු ඉනිම - 127 (ඕවර 35.1) (ලසිත් ඇඹුල්දෙණිය 33/5, ළහිරු කුමාර 26/4) සහ දෙවැනි ඉනිම - 348 (ඕවර 111.4) සහන් ආරච්චිගේ 116, ප්‍රියමාල් පෙරේරා 70 (සචින්ත පීරිස් 65/5)

එන්.සී.සී. පළමු ඉනිම - 618/9 (ඕවර 121.4) ළහිරු උදාර 157, භානුක රාජපක්ෂ 134, ඇන්ජලෝ පෙරේරා නොදැවී 129, මහේල උඩවත්ත 106, චාමික කරුණාරත්න 54 (ප්‍රභාත් ජයසූරිය 224/4, නිසල තාරක 100/3)

බී.ආර්.සී. කඩුලු 8කින් ජයගනී

රාගම පළමු ඉනිම - 129 (ඕවර 47.5) (හිමේෂ් රාමනායක 29/5) සහ දෙවැනි ඉනිම - 138 (ඕවර 41.3) - (සුරාජ් රන්දීව් 8/5)

බී.ආර්.සී පළමු ඉනිම - 149 (ඕවර 57.4) (ඉෂාන් ජයරත්න 54/4) සහ දෙවැනි ඉනිම - 119/2 (ඕවර 19.5) තිලකරත්න සම්පත් නොදැවී 50

වරාය කඩුලු 6කින් දිනුම්

සැරසන්ස් පළමු ඉනිම - 311 (ඕවර 111) අශේන් බණ්ඩාර නොදැවී 87, මින්හාජ් ජලීල් 56 (චරිත් ජයම්පති 43/3, චානක කොමසුරු 96/3) සහ දෙවැනි ඉනිම - 118 (ඕවර 39.2) (චරිත් ජයම්පති 33/5, චානක කොමසුරු 34/4)

වරාය පළමු ඉනිම - 220 (ඕවර 58.2) නික් කොම්ප්ටන් 103 (රනිත ලියනාරච්චි 57/5, මොහොමඩ් ඩිල්ෂාඩ් 47/3) සහ දෙවැනි ඉනිම - 213/4 (ඕවර 55.3) නික් කොම්ප්ටන් 95 

 

නව අදහස දක්වන්න