ආයුර්වේද වෛද්‍යවරුන්ටත් චැනල් සේවයට වරම් | දිනමිණ

ආයුර්වේද වෛද්‍යවරුන්ටත් චැනල් සේවයට වරම්

බටහිර වෛද්‍යවරුන්ට මෙන්ම ආයුර්වේද වෛද්‍යවරුන්ට ද පෞද්ගලික සේවාවේ නිරත වීමට අවස්ථාව ලබාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කරයි.

ආයුර්වේද වෛද්‍යවරුන් බහුතරයක් පෞද්ගලික සේවාවේ නිරත නොවන අතර, ඔවුන් පෞද්ගලික සායනයන් ස්ථාපිත කර ගැනීමෙන් බහුතරයක් රෝගීන්ට ආයුර්වේද ප්‍රතිකාර ලබා ගත හැකි බවත් දියවැඩියාව, පිළිකා, කොලෙස්ටරෝල් වැනි බෝ නොවන රෝග මර්දනය කිරීමට ආයුර්වේද ප්‍රතිකාර වඩාත් වැදගත් වන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ආයුර්වේද වෛද්‍යවරුන් 650කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අරලියගහ මන්දිරයේ දී ඇමැතිවරයා මේ බව පසුගිය දා ප්‍රකාශ කළේය.

බටහිර ඖෂධයන්ට සිදු කරන පරීක්ෂණවලට වඩා වැඩි පරීක්ෂණ සංඛ්‍යාවක් ආයුර්වේද ඖෂධයන් සඳහා සිදු කළ යුතු බවත් මෙරට දේශීය ඖෂධයන් සම්බන්ධයෙන් පරීක්ෂණ කළ හැක්කේ මෙරට අයටම පමණක් බවත් ඇමැතිවරයා මතක් කළේය.

පාරම්පරික වෛද්‍ය ක්‍රම විද්‍යාත්මකව ඉගෙන ගැනීමෙන් ආයුර්වේද වෛද්‍යවරුන් බිහි වන අතර, වසර දහස් ගණනක් පැරැණි පාරම්පරික වෛද්‍ය ක්‍රමය වටිනාකමෙන් ඉහළ යැයි ද ඇමැතිවරයා පැවැසීය.

ජාත්‍යන්තරය පිළිගන්නා වෛද්‍ය ක්‍රමයක් ලෙස මෙරට ආයුර්වේද වෛද්‍ය විද්‍යාව වැඩි දියුණු කළ හැකි බවත් ඒ සඳහා සාම්ප්‍රදායික මතයන්ගෙන් බැහැරව නවීන විද්‍යාවට අනුකූලව සිතිය යුතු බවත් ඇමැතිවරයා පැවැසුවේය.

එසේ කිරීමෙන් චීන වෛද්‍ය විද්‍යාව ලෙස මෙරට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට ද වටිනා ස්ථානයක් හිමි කර දිය හැකි යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

සන්ධ්‍යා කරුණාරත්න 

නව අදහස දක්වන්න