ගුවන් හමුදා යහසාධක අරමුදල පිහිටෙව්වේ සේවක සුබසාධනයටයි | දිනමිණ

ගුවන් හමුදා යහසාධක අරමුදල පිහිටෙව්වේ සේවක සුබසාධනයටයි

ගුවන් හමුදා යහ සාධක අරමුදල ගුවන් හමුදාවේ සක්‍රිය සේවයේ නියුතු සේවා පුද්ගලයන්ගේ ස්ව කැමැත්තෙන් ලබා ගන්නා දායක මුදල ප්‍රාග්ධනය කරගත් සේවයේ නියුතු සහ විශ්‍රාමික සාමාජිකයන්ගේ සුබසාධනය සඳහා පිහිටුවන ලද්දක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා වල සහ මුද්‍රිත මාධ්‍ය මගින් සාකච්ඡාවට බඳුන් වූ ගුවන් හමුදා යහසාධක අරමුදල පිළිබඳව සාවද්‍ය තොරතුරු අනාවරණය වන හෙයින් ඒ පිළිබඳව සත්‍ය තොරතුරු ගුවන් හමුදාව හෙළි කරනු ලැබීය.

මෙම අරමුදල මගින් ගුවන් හමුදා සේවා පුද්ගලයින්ට ආපදා ණය, ආපදා නොවන ණය, පහසු ගෙවීමේ ක්‍රමය මත භාණ්ඩ ලබාදීම, අඩු පොළී සහිත ණය මුදල් ලබාදීම වැනි විවිධ සුබසාධන පහසුකම් ලබාදෙනු ලබයි.

විශ්‍රාම ලබා සේවයෙන් ඉවත්ව යන සාමාජිකයන්ට උපරිම ප්‍රතිලාභ ලබාදීමේ අදහසින් 2014 ඔක්තෝබර් මාසයේ මෙම අරමුදල ආශ්‍රිත විශ්‍රාම ප්‍රතිලාභ යෝජනා ක්‍රමයක් හඳුන්වාදෙනු ලැබිණි. එම වසර තුළ සේවා පුද්ගලයින් 14 දෙනෙකු විශ්‍රාම ගිය අතර ඔවුන්ට එවිට පැවති අරමුදල වන රුපියල් මිලියන 146 ක මුදලින් රුපියල් මිලියන 9.5 ක් වටිනා ගෙවීම කරන ලදි.

තවද 2015 – 2017 කාල පරිච්ඡේදය ඇතුලත වාර්ෂිකව දායකත්ව මුදල් ලෙස සාමාන්‍යයෙන් වසරකට රුපියල් මිලියන 625ක් පමණ අරමුදලට එකතු විය. වසරකට දළ වශයෙන් සාමාජිකයින් 730ක් පමණ විශ්‍රාම ගොස් ඇති අතර ප්‍රතිලාභ වශයෙන් වසරකට රුපියල් මිලියන 525ක් පමණ ගෙවීම් කර ඇත.

2017 වසරේදී ගුවන් හමුදා අභ්‍යන්තර විගණන පරීක්ෂණවල නිරීක්ෂණයන් අධ්‍යනය කිරීමෙන් පසු වත්මන් ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත මෙම විශ්‍රාම යෝජනා ක්‍රමයේ ඉදිරි පැවැත්ම පිළිබඳ අධ්‍යනයක් කිරීමට තීරණය කරන ලදි. එහිදී ඉඳුරාම නිරාවරණය වූ පරිදි 2018 වසර තුළ සිට ඉදිරියට විශ්‍රාම යාමට නියමිත සාමාජිකයින් ප්‍රමාණය වැඩිවීමත් සමග මෙම අරමුදල අර්බුදකාරි තත්ත්වයකට පත්වනු ඇත.

2018 සිට 2030 දක්වා කාලය තුළ දළ වශයෙන් වසරකට සාමාජිකයින් 1300කට අධික ප්‍රමාණයක් විශ්‍රාම යාමට නියමිත අතර ඔවුන් සඳහා මෙම ප්‍රතිලාභ ගෙවීම නොකඩවා සිදු කළහොත් 2030 වර්ෂයේදී අරමුදල රුපියල් බිලියන 4.8ක ඍණ ශේෂයකට ලඟාවන බැවින් සක්‍රිය සේවයේ නියුතු සේවා පුද්ගලයින් හට ඉහත සඳහන් ප්‍රතිලාභයන් සහ විශ්‍රාම ප්‍රතිලාභ ලබාදීමට නොහැකි වන ඉතා අසීරු තත්ත්වයකට ගුවන් හමුදා කළමනාකාරීත්වය මුහුණපානු ඇත.

මේ කරුණු සලකා බලා, ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් පරිදි ගුවන් හමුදා අධ්‍යක්ෂ මණඩලය විසින් අරමුදල ඉදිරියටත් පවත්වාගෙන යාමට හැකිවන පරිදි සංශෝධිත ක්‍රමවේදයක් ස්ථාපනය කිරීමට තීරණය කරනු ලැබුණි. මෙම නව සංශෝධිත ක්‍රමය මගින් ඉහත සඳහන් සියලු වරප්‍රසාදයන් සේවා පුද්ගලයන් හට ලබා දෙමින්, විශ්‍රාම ගනු ලබන සෑම ගුවන් හමුදා සාමාජික/සාමාජිකාවකටම තමන් විසින් තම සේවා කාලය තුළ ආයෝජනය කරනු ලබන මුදල මෙන් 200% ප්‍රමාණයක ප්‍රතිලාභයක්ද ලබාදෙනු ලබන බවද පවසයි. 

නව අදහස දක්වන්න