ශ්‍රී ලංකාව හෙට දෙවැනි විස්සයි20 තරගයට | දිනමිණ

ශ්‍රී ලංකාව හෙට දෙවැනි විස්සයි20 තරගයට

බංග්ලාදේශයේ වැඩිම විස්සයි20 මුළු ලකුණු ප්‍රමාණය ආයාසයකින් තොරව අබිබවා යමින් පළමු තරගය ජය ගත් ශ්‍රී ලංකාව ඔවුන්ගේ සාර්ථක 2018 බංග්ලාදේශ සංචාරය තවත් ජයග්‍රහණයකින් අවසන් කිරීමේ අරමුණින් යුතුව හෙට (18) දෙවැනි හා අවසාන ජාත්‍යන්තර විස්සයි20 තරගයට පිවිසෙයි.

පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය ඔවුන්ගේ ඉහළම විස්සයි20 මුළු ලකුණු සංඛ්‍යාව වන කඩුලු 5කට ලකුණු 193ක් වාර්තා කළ අතර ශ්‍රී ලංකාව කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 194ක් රැස්කර ගනිමින් තරගය ජයග්‍රහණය කළේ තරගයේ තවත් පන්දු 20ක් ඉතිරිය තිබියදීය. මෙය ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ ශ්‍රී ලංකාව වාර්තා කළ වැඩිම මුළු ලකුණු හඹා යාම වෙයි.

“ඕනෑම විකට්ටුවක ලකුණු 194ක් හඹා යාම පහසු දෙයක් නෙවෙයි“ ජයග්‍රහණයෙන් පසුව නායක දිනේෂ් චන්දිමාල් කියා සිටියේය.

“විකට්ටුව මෙතරම් හොඳ වේවි කියා අපි හිතුවේ නැහැ. එය පරදින්න හොඳ ‘ටොස්‘ එකකි.

පිතිකරුවන්ට සියළු ගෞරව හිමි විය යුතුයි. ඔවුන් විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩාවක් කළා. ඕනෑම විකට්ටුවක ලකුණු 194ක් හඹා යාම කිසි විටෙකත් පහසු කාර්යයක් නෙවෙයි. තරගය ආරම්භයට පෙර අපේ සැලසුම වූයේ දකුණ - වම පිතිකරු සබඳතාවක් පවත්වා ගෙන යාමයි. ඒ අතරවාරයේ ‘පවර් හිටර්‘ කෙනෙක් කඩුල්ලේ තබා ගැනීමට අපි උත්සාහ කළා. අපේ ඒ වෑයම සාර්ථක වීම ගැන සතුටුයි. කුසල්, ගුණතිලක, තිසර හා දසුන් අතිවිශිෂ්ටයි. බංග්ලාදේශය ඔවුන්ගේ රටේදී දක්ෂයන් බව අපි සැවෙම දන්නවා. ඒ නිසා අපි ඔවුන්ව අවතක්සේරු කළේ නැහැ“ යැයි චන්දිමාල් කීවේය.

මීර්පූර් තණතීරුව පිතිකරුවන්ට ඉතාමත් යෝග්‍ය එකක් වූ බව දනුෂ්ක ගුණතිලක තරගයෙන් පසුව කියා සිටියේය.

“එය පිතිකරණයට හොඳ විකට්ටුවකි. අපි ඒ ගැන දෙවැනි ඉනිමට පෙර සාකච්ඡා කළා. අපි අපේ මූලික දේවල් කළොත් අපට මේ ඉලක්කය හඹා යන්න පුළුවන් බව අපි වටහා ගත්තා.“

“එකසිය අනූවට වැඩි මුළු ලකුණු සංඛ්‍යාවක් හඹා යා යුතු බව අප දැන සිටි නිසා අපි ඔවුන්ව ආක්‍රමණය කිරීමට උත්සාහ කළා. ඒ නිසා ආරම්භයේදීම ඔවුන්ට පීඩනයක් එල්ල කිරීම අපේ උත්සාහය වුනා.“

මෑතකදී බංග්ලාදේශයේදී තුන්කොන් හා ටෙස්ට් තරගාවලියන් ජයග්‍රහණය කළද තම කණ්ඩායම සත්කාරක පිල සැහැල්ලුවට නොගත් බවද ගුණතිලක පවසා සිටියේය.

“බංග්ලාදේශ කණ්ඩායම සැමවිටම හොඳින් ක්‍රීඩා කරනවා. පසුගිය අවුරුදු දෙකේදී ඔවුන් ඉතාමත් දක්ෂ ලෙසින් ක්‍රීඩා කර තියෙනවා. ඒ නිසා අපි තරගය සැහැල්ලුවට ගත්තේ නැහැ. ඔවුන් සතුව දක්ෂ ක්‍රීඩකයන් සිටින නිසා බංග්ලාදේශය පරාජය කරන්න නම් ඉතා හොඳින් ක්‍රීඩා කළ යුතු බව අපි දැන සිටියා. විශේෂයෙන් පසුගිය වසරේ බී.පී.එල්. තරගාවලියේදී ඔවුන්ගේ සමහර ක්‍රීඩකයන් ඉතා හොඳින් ක්‍රීඩා කළා.“

මේ තරගයේදී බංග්ලාදේශ කණ්ඩායමට නායකත්වය දුන් මහ්මුදුල්ලා කියා සිටියේ තම කණ්ඩායමට ලකුණු 10 - 15ක් පමණ අඩු වූ බවය.

“අපට ලකුණු 10 - 15ක් පමණ අඩු වුනා කියා මා හිතනවා. අපට ලකුණු 200 ට වැඩියෙන් ගන්න තිබුණා. ශ්‍රී ලංකා පිතිකරුවන්ට ගෞරවය හිමි විය යුතුයි. අපි වුවමනා තරමට පීඩනයක් එල්ල කළේ නැහැ.“ 

 

නව අදහස දක්වන්න