හොරු නිදැල්ලේ මටත් දුකයි | දිනමිණ

හොරු නිදැල්ලේ මටත් දුකයි

සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන, කන්ද උඩරට උරුමයන් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක

පුංචි ඡන්දයේ ප්‍රතිඵලයෙන් ආණ්ඩුවට දෙන පණිවුඩය, මෙවැනි මැතිවරණ ප්‍රතිඵලයක් ලැබීමට ආණ්ඩුව අතින් සිදුවූ වරද, ඡන්ද ප්‍රතිඵලයෙන් නිරූපණය වන ජනතා මානසිකත්වය, ඡන්දයෙන් පසුව සම්මුතිවාදී ආණ්ඩුවේ ඉදිරිය වැනි කාලීන දේශපාලන කරුණු රැසක් පිළිබඳ අවධානය යොමු කරමින් සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන, කන්ද උඩරට උරුමයන් පිළිබඳ නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මැති හමුවට එක්වේ.

* බණ්ඩාරනායකට ජීවිතේ නැති වුණෙත් යහපාලනය නිසා
* තේ රබර් පොහොරත් ඡන්දෙට බලපෑවා
* ආණ්ඩුවේ රතු එළිය පොහොට්ටුවට කොළ එළියක් නෙමෙයි
* යහපාලනයේ පුංචි වැරැද්දත් ජනතාව දැක්කා

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල පිළිබඳ විග්‍රහයෙන්ම අපි සාකච්ඡාව ආරම්භ කළොත්...

මේ පළාත් පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබුණු මුළු ඡන්ද ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස ගත්තොත් සියයට 44.65 යි. මේ ඡන්ද ප්‍රමාණය ලබාගෙන තියෙන්නේ ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමය, වාසුදේවගේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, දිනේෂ්ගේ මහජන එක්සත් පෙරමුණ, විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ වගේ පක්ෂ රැසක් එකතු වෙලයි. නමුත් එක්සත් ජාතික පක්ෂය සියයට 32.63 ක් අරන් තියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව සියයට 13.38 ක ඡන්ද ප්‍රමාණයක් අරන් තියනවා. ජනතා විමුක්ති පෙරමුණට සියයට 6.27 ලැබිලා තියනවා. ටී. එන්. ඒ. එකට 3.07 ක් ලැබිලා තියනවා. මේ ඔක්කෝම එකතු කරහම සියයට 56 ක් පමණ මහින්දට විරුද්ධව ඡන්දය දීලා තියනවා. බන්දුල ගුණවර්ධන කිව්වේ මේ ඡන්දය ජනමත විචාරණයක් ලෙස සලකන්න කියලයි. ඒ අතිනුත් එයාලට සියයට 50 ක් ලැබිලා නෑ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබුණු ඡන්ද ප්‍රමාණය අපි හෑල්ලුවට ලක්කරන්නේ නෑ. ජනතාව ආණ්ඩුවට රතු එළියක් දීලා ති‍යනවා. පසුගිය අවුරුදු දෙකහමාර තුළ පොරොන්දු ඉටු නොකිරීම පිළිබඳ ජනතාවට කලකිරීමක් තියනවා. මේ ප්‍රතිඵලයෙන් විපක්ෂය උත්තේජනයක් ලබලා තියනවා. පොහොර සහනාධාරය දීමට නොහැකි වීම, තේ වල මිල, රබර් මිල මේ වගේ දේවලුත් අපේ ඡන්දවලට බලපෑමක් ඇතිවෙන්න ඇති. මං හිතන්නේ ප්‍රධාන වශයෙන්ම බලපෑවේ අපි රෑ 12.00 ට ගුවන් තොටුපළ වහලා හොරු අල්ලනවා කියලා කියපු පොරොන්දුව ඉටු නොවීමයි.

ජනතාව ලබා දුන් මේ රතු එළියෙන් පසු ආණ්ඩුව තේරුම් ගත යුත්තේ කුමක් කියාද ඔබ හිතන්නේ?

අපේ ආණ්ඩුව බලයට පත් වූ සැණෙන් වේගයෙන් හොරු අල්ලා ඔවුන්ට දඬුවම් ලබාදෙයි කියලා ජනතාව හිතුවා. ජනවාරි 08 වැනිදා ලක්ෂ හැටදෙකහමාරක් කිව්වේ රාජපක්ෂවරුන් හොරු, ඔවුන් අන්තිම දූෂිතයි කියලයි. ඔවුන්ව ඇතුළට දාන්න කියන පණිවුඩය තමයි මේ රටේ ජනතාව එදා දුන්නේ. ඇත්ත තිත්තයි. ඇත්තම කතා කරනවා නම් අපි බලයට පත් වූ පසු අපි අතිනුත් වැරදි සිදුවුණා. මහින්ද රාජපක්ෂ කල්ලිය මඩ ගොහොරුවක්. ඒ අයට මඩ ගහලා වැඩක් නෑ. අලුතින් මඩ ගැහුවට පේන්නෙත් නෑ ඒ අය මඩ ගොහොරු නිසා. අපි ආවේ යහපාලනය ඇති කරන්නනේ. ඉතිං අපි අතින් පුංචි වරදක් වුණත් ඒක හොඳටම කැපිලා පේනවා. යහපාලනයෙන් ජනතාව ලොකු වෙනසක් බලාපොරොත්තු වුණා. ඒක තමයි අපිට ලැබුණු පණිවිඩය.

හොරුන්ට, දූෂිතයන්ට දඬුවම් දීම වෙනුවට ඔබේ පක්ෂය හොරුන් සමඟ ‘ඩීල්’ දැම්මා කියන ප්‍රබල චෝදනාවක් නැ‍ඟෙනවා නේද?

අවුරුදු තුනක් තිස්සේ හොරු ඇතුළට නොගිහින් එළියේ ඉන්නවා නම් එතන ‘ඩීල්’ එකක් තියෙන්න එපෑයැ. අපි හැම වෙලාවේම බලන්නේ ප්‍රතිඵලය නේ. මහාචාර්ය සරත් විජේසූරිය මහතා කියනවා ‍වගේ හොරු වසර තුනක් එළියේ ඉන්නවා නම් ප්‍රතිඵලය බින්දුවයිනේ. එතකොට මේකට ආණ්ඩුවට පමණක් දොස් කියන්න බෑ.

රජයට පමණක් දොස් කියන්න බැරි නම් මේවට වගකිවයුත්තේ කවුද?

ඒක හොඳ ප්‍රශ්නයක්.මේ කෑදර තණ්හාවෙන් පිරුණු ලෝකයේ බහුතරයක් බැංකු දූෂිතයිනේ. පැනමා පේපර්ස් බැලුවත් කළු සල්ලි සුදු කරනවා. උදාහරණයක් විදියට උදයංග වීරතුංග ගනිමු. එයා ගිහින් ආයුද හරි කුඩු හරි විකුණලා කෝටි ගණනක් ඩුබායි බැංකුවලට දැම්මහම ඒ බැංකුවලට එයා දෙවියෙක්. අපි සුද්දෙක්ව සංචාරක හෝටලයකට ගෙනිච්චහම ඒ සුද්දා සල්ලි හෙව්වේ කූඩු විකුණලද, ගංජා විකුණලද කියලා බලන්නේ නෑ. හෝටලයට හොඳට ‘ටිප්’ එක දෙනවා නම් හෝටලයට ඒ සුද්දා හොඳ ගනුදෙනුකාර භවතෙක්. පසුගිය දවස්වල අල්ලස් කොමිසමේ හිටපු සභාපති දිල්රුක්ෂි මැතිනියයි නීතිඥ වැලිඅමුණ මහත්තයයි ඩුබායි බැංකුවලට ගියා නාමල්ගේ සල්ලි හොයන්න. ඒත් ඒ බැංකුවල අය අපිට කිසිම සහායක් දෙන්නේ නෑ. මොකද ලෝක ඉතිහාසයේ සිදුවුණේ මෙහෙමයි.

මුවම්ර් ගඩාපි මැරුණහම ඉඩි අමීන් මැරුණහම, සදාම් හුසේන් මැරුණහම ඒ මුදල් සේරම ඒ බැංකු සතු වුණා. මේක ලංකාවේ ජනතාව තේරුම් ගන්න ඕනෑ. සූක්ෂමව කරපු මේ හොරකම් අල්ලන එක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. මේ යහපාලන සංකල්පය ජනාධිපතිතුමයි, අගමැතිතුමයි ප්‍රථමවරට තමයි පටන් ගත්තේ. මේක ඉස්සරවෙලා කරන්න ගිය පුද්ගලයා තමයි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහත්තයා. බණ්ඩාරනායක මහත්තයා වොල්ටර් තල්ගොඩපිටිය කියන වාර්තාවෙන් පස්දෙනෙක් අයින් කළා. ඒත් ඒ නිසා බණ්ඩාරනායක මහත්තයාට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණා. ඇත්ත කතාව ඒකයි. බණ්ඩාරනායක මහත්තයාට වෙඩි කන්න වුණේ හොරු අල්ලන්න ගිහිල්ලයි. හොරකමට ඉඩ දුන්නේ නැති නිසා. මේක බෙල්ල ගහලා යන වැඩක්.

ඩුබායි බැංකුවල තියන සල්ලි කෙසේ වෙතත් නීත්‍යානුකූල නොවන විදියට මේ රටේ වත්කම් මිලදී ගන්න අයට එරෙහිවත් කටයුතු කරන්න බැරි වුණානේ.

මට ඡන්ද නොලැබුණත් මං ඇත්ත කියන්න ඕනෑ. ඒ වගේ හොරකම් අල්ලපු නැති එක ගැන පෞද්ගලිකව මටත් කනගාටුවක් තියනවා. කලකිරීමක් තියනවා. අපි ජනතාවට මේවා කිව්වා. ජනතාව බැසිල්ගේ මල්වානේ ගෙදර ඉඩම දැක්කා. ඒකෙ අයිතිකාරයා බැසිල් රාජපක්ෂ මහත්තයා කියලා ජනතාව දන්නවා. ඒත් ජනතාව එයාට ජයවේවා කියා කෑගහගෙන එනවා. මට නම් තේරෙන්නේ නෑ මේවා ජනතාවට කොහොම අවබෝධ කරලා දෙන්නද කියලා. ජනතාව බුද්ධිමත්ව මේ ඡන්දේදී හැසිරිලා නෑ.

ඔයත් මාධ්‍යවේදියෙක් නේ. මං ඔයාගෙන් අහන්නේ රාජපක්ෂ යුගයේ මාධ්‍යවේදීන් මැරුවේ නැතිද? තාජුඩීන් මැරුවේ අපිද? ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් කළේ අපිද? ලසන්ත මැරුවේ අපිද? රතුපස්වල බොන්න පිරිසුදු ජලය ඉල්ලපු ජනතාවට වෙඩි තිබ්බේ අපිද? රොෂාන් චානක මැරුවේ අපිද? මේ සියලුම දේවල් රාජපක්ෂ පාලනය කරලත් ජනතාව එයාලට කැමතියිනේ. මට නම් මේක විකාරයක්. අපි කිසිම උද්ඝෝෂණයකට වෙඩි තිබ්බේ නෑ. පාරවල් වහගෙන පාරවල්වල නිදාගෙන තමයි උද්ඝෝෂණ කළේ. එහෙම කරලත් ජනතාව ඒ දූෂිතයන්ම පත්කරගන්නවා නම් අපි මේවා කාට කියන්නද?

මේ හැමෝටම නෙවෙයි, මහින්දට ඡන්දය දුන් සියයට 44 ට තමයි මං මේ කියන්නේ. හොඳම උදාහරණයක් තමයි අපේ ජනාධිපතිවරයයි, අගමැතිවරයයි කාඩර්ලා හදලා නෑ. ප්‍රභාකරන් කාඩර්වරු හැදුවා. මහින්ද රාජපක්ෂ මහත්තයා කාඩර්ලා හැදුවා. හොඳට බලන්න මහින්දගේ වාහනයේ එයා සමඟ පිටුපස්සෙන් යන ඩ්‍රැයිවර් කොලුවා. මම ඩ්‍රැයිවර්ලා පහත් කරනවාත් නෙවෙයි. එයාගේ නම නෙවිල්. නෙවිල් ඩ්‍රැයිවර් කෙනෙක්. එයාට දෙනවා මේජර් කෙනෙක්ගේ තනතුරක්. එයාට දෙනවා පෙට්‍රල් ෂෙඩ් හතරක්. එයාට දෙනවා බස් පර්මිට් විසි ගණනක්. ඉඩකඩම් දෙනවා. මේ නිකං හිටපු කොල්ලෙකුට. එතකොට මේ කොළුවා මහින්දගේ මීටින්වලට බස් අරන් ඇවිත් සෙනඟ අදිනවා. එහෙම කාඩර්ස්ලා හැදුවේ ප්‍රභාකරන්. මේ යහපාලනයේ ඒ වගේ දේවල් නෑ. ඒ නිසා සල්ලි නෑ. මීටින්වලට සල්ලි නෑ. බත් පැකට් දෙන්න සල්ලි නෑ. බුරියානි දෙන්න, අරක්කු දෙන්න විදියක් නෑ.

මහින්ද මහත්තයාගේ කාලේ එතනෝල් ගෙන්වන ජොනීට පර්මිට් ‍එකෙන් පිට කෝටි ගාණක් හොයාගන්න පුළුවන්. පස් කපන වැලි කපන, ගස් කපන ඕනෑම කෙනෙකුට උදව් කරනවා. කොටින්ම කිව්වොත් ස්ත්‍රීන් ගණනාවක් දූෂණය කළ සාරුවා සුනිල්ට මොකුත්ම වුණේ නෑ. භාරත ලක්ෂ්මන් ඇතුළු හතරදෙනෙක් පාරේ මරපු දුමින්ද සිල්වා අපූරුවට මවුන්ට් එලිසබෙත් රෝහලට වෙලා හිටියා. පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනත් එයාට නිවාඩු දුන්නා. කුමා ස්ටිකර් කියන්නෙ ගමක දුප්පත් කොල්ලෙක්. එයා තමයි මහින්දට කටවුට් ගැහුවේ. මේ සේරම අයථා මුදල්. කුමා ස්ටිකර් හරහා පවුල් සිය ගණනක් ජීවත් වෙනවනේ. මේක දූෂිත ජාලයක්. මේ දූෂිත ජාලයට ගහන්න අපි‍ට ප්‍රතිපාදන නැහැ. එයාල හයර් කරන්නෙ දක්ෂතම නීතිඥයන්. කොටින්ම කිව්වොත් හිටපු අගවිනිසුරු කියපු ‘මම ‍හිරගෙදර යවන්න හිටපු මිනිහා රජගෙදරට යැව්වා’ කියන කතාව බලන්න. අගවිනිසුරුවරයා ජනතාවගෙන් සමාව ඉල්ලනවා තමන් දීපු තීන්දුව වැරදියි කියලා.

එදිනෙදා ජන ජීවිතයට අදාළ ගැටලුවලට ප්‍රමාණවත් විසඳුම් නොලැබුණ නිසා ජනතාව මෙවැනි තීරණයක් ගත්තා කියා ඔබට හිතෙන්නේ නැතිද?

මම ජනතාවගෙන් කාරුණිකව ඉල්ලන්නේ තව ටිකක් බුද්ධිමත් වෙන්න. ෆේස් බුක්, ට්විටර්, වට්ස්ඇප් මේවා බලන්න. අපේ වාර්ෂික ආදායම ණය ගෙවන්නවත් ප්‍රමාණවත් නෑ. ගියවර අපි බාරගත්තේ සෘණ ආර්ථිකයක් ණය ගෙවලා ගෙවලා ආර්ථිකය ධන කළා විතරයි අපිව පැරැද්දුවා. අපේ ගම්වල වුණත් ණය ගෙවනවට වඩා ඒ දවසේ ජොලියේ කාලා බීලා ඉන්න ජනතාව කැමතියි. අපේ මිනිස්සුන්ට පරණ ණය ගෙවන්න අවශ්‍ය නෑ. මම අනුරාධපුරේ ගියාට පස්සේ මොනවද ඔයාලගෙන් අපිට ලැබුණේ කියලා වයසක මාමා කෙනෙක් ඇහුවා. මං කිව්වා ඇයි මාමේ එහෙම කියන්නේ යුරෝපා මාළු තහනම ඉවත්කර ගත්තා. ජී. ඇස්. පී. ප්ලස් ලබාගත්තා. ගෑස් අඩු කළා. තෙල් මිල අඩු කළා. ලයිට් බිල්, විදුලි බිල් අඩු කළා. පෝෂණ මල්ල දුන්නා. රුපියල් දහදාහක වැටුප් වැඩි කළා කියලා.

යුරෝපා මාළු තහනම ඉවත් කිරීමෙන් අපිට ඩොලර් ‍කෝටි ගාණක වාසියක් ලැබුණා. ඒත් අර මාමට ඒ වාසිය ලැබුණේ නෑනේ. එයා කියන්නේ මට හාල් බෑග් එකක්, සමෘද්ධිය දෙන්න කියලයි.

යහපාලන ආණ්ඩුවේ ඉදිරි ගමන් මඟ සැකසෙන්නේ කොහොමද?

කැබිනට් ඇමැතිවරුන්ගේ රැස්වීමට විශේෂ ආරාධිතයෙක් ලෙස මාත් ගෙන්නුවා. මං මගේ මතය කිව්වා. මේ වගේ ජනපති කෙනෙක් අගමැති කෙනෙක් අපිට ලැබෙන්නේ නෑ. මේ අය යුරෝපයට හරි යනවා. යකාගේ හැටියටනේ විමානේ. කොහොම උණත් මොන බාධක ආවත්, වැරදි හදාගෙන යහපාලන ආණ්ඩුව ඉදිරියට යනවා.

ගාමිණී බණ්ඩාරනායක

නව අදහස දක්වන්න