අනුරපුර ශ්‍රී පාද ලාංඡන චෛත්‍යය දියුණු කරන්නැයි ඉල්ලීමක් | දිනමිණ

අනුරපුර ශ්‍රී පාද ලාංඡන චෛත්‍යය දියුණු කරන්නැයි ඉල්ලීමක්

අනුරාධපුර පුදබිමේ ඵෛතිහාසික ථූපාරම දාගැබ ආසන්නයේ කැණීම් වලින් මතුකර ගත් පාද ලාංඡන චෛත්‍යෙය් අනුපමය අමිල බෞද්ධාගමික වැදගත්කමට සරිලන අයුරින් සංරක්ෂණය කොට ආරක්ෂා කර ගැනීමට පිවයර ගත යුතුව ඇතැයි ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු බෞද්ධ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. මේ දාගැබ දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි අවධානය යොමු වන ස්ථානයක් බවට පත් වී තිබේ.

ගෞතම බුදුරජාණන් වහන්සේ මණිඅක්ඛික නා රජුගේ ආරාධනාවක් පරිදි තෙවැනි වරටත් මෙරටට පැමිණ කැලණියේ දී නා රජු ඇතුළු පිරිසට දහම් දෙසු බව ද මැණික් පුටුවක් රජු විසින් බුදුරජාණන් වහන්සේට පූජා කළ බවද ඉතිහාසයේ සදහන් වේ. ඉන් පසු සමන්ත කූඨයට ගොස් එහි සිරස මත තමන් වහන්සේගේ පාද ලාංඡනය පිහිට වු බව ද පසුව එම ගමනේ දීම අනුරාධපුරයට වැඩම කොට දැනට ශ්‍රී පාද ලාංඡන චෛත්‍ය ඉදිකොට ඇති ස්ථානයේ ශ්‍රී පාද ලාංඡනය සටහන් කොට ඉනික්බිතිව එතැනින් අහසට නැඟ ආපසු දඹදිව බලා වැඩම කළ බව දීපවංශය මහා වංශය හා බෝධී වංශය යන ඵෛතිහාසික ග්‍රන්ථ වල සටහන් වී ඇත. මේ බව කියැවෙන නිල නාම පුවරුවක් ද මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් චෛත්‍ය අසල ප්‍රදර්ශනය කොට ඇත. කෙසේ වෙතත් අතිපුජනීය බුදු සිරි පතුල සටහන් වී ඇති බවට විශ්වාස කරනු ලබන මෙවැනි ස්ථානයකට ලබා දිය යුතු වැදගත්කම සහ ආගමික ගාම්භීරභාවය එයට නොලැබී ඇති බව මහා සංඝරත්නය පවසති.

බුදු හිමි විසින් තබා ගිය සිරිපතුල් සටහන සුරක්ෂිත කිරිම සඳහා සද්ධාතිස්ස රජුගේ පුත් ලජ්ජතිස්ස රජු (ක්‍රි.පූ 119 - 109) විසින් එය ආවරණය වන සේ මේ ශ්‍රී පාද ලාංඡන වෛත්‍ය ඉදිකළ බව මහා වංශය සඳහන් කරයි. චෛත්‍යට පිවිසෙන දොරටුව හරස් කර තබා ඇති ගැලවනයිස් මල් ආසනය චෛත්‍ය ආරක්ෂාවට ප්‍රමාණවත් නොවන බව සැදැහැවතුන් පෙන්වා දෙති. වැලි මලුවක් සකසා නැති අතර ශක්තිමත් ආවරණ වැටක් ඉදි කිරීම මේ දක්වා සිදු වි නැත. බුදු සිරිපතුල රැක ගන්නා මේ අතිපුජනීය පූජ්‍යස්ථානය අතීතයේ තිබු ආකාරයට සංරක්ෂණය කොට එහි පැමිණෙන බැතිමතුන්ගේ බුද්ධාලම්භන ප්‍රීතිය නංවාලන ආකායට තහවුරු කර යුතුව ඇතැයි බෞද්ධ සංවිධාන විසින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් හා මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් ඉල්ලීම් කොට තිබේ. 

නිමල් විජේසිංහ අනුරාධපුර
අතිරේක දිස්ත්‍රික් සමුහ

නව අදහස දක්වන්න