දියඇලි ආශ්‍රිතව විනෝද වෙන්නේ බලාගෙනයි | දිනමිණ

දියඇලි ආශ්‍රිතව විනෝද වෙන්නේ බලාගෙනයි

‍ස්වභාව ධර්මයෙන් මිහිමව ලද අපූර්වතම දායාදයන් වූ සුන්දර දියඇලි ආශ්‍රිතව දියනෑම හා විනෝද වීමේදී පරෙස්සම ඉතා වැදගත්ය. නොසැලකිලිමත්කම, බිමත්කම, වීරක්‍රියාවන් කිරීමට යාම ආදියත්, දියසුළු ,ආවාට, ජලගැලීම් ආදියත් හේතුවෙන් දැනට ශ්‍රීපාද අඩවියේ පමණක් දියඇලි ආශ්‍රිතව මියගොස් ඇති සංඛ්‍යාව එකසිය විසිපහකට අධික බව රත්නපුර දිස්ත්‍රික් දියඇලි යොවුන් මිතුරු සංවිධානයේ සභාපති අසිත ඉන්දික වීරවර්ධන මහතා හෙළි කරයි. බෝපත් ඇල්ල, වර්ණගල, දොඩංඇල්ල, අළුපොළ, දෙහෙන ඇල්ල, දෝතළු ඇල්ල, ගැරඩි ඇල්ල, මදනගිරි ඇල්ල, ගොක්සිං ඇල්ල, බේරුවත්ත ඇල්ල ශ්‍රීපාද අඩවියේ තිබෙන අනතුරුදායක දියඇලි ලෙස හඳුනාගන තිබේ. දෙහෙන ඇල්ල, අළුපොළ ඇල්ල හා මාපලාන ඇල්ලේ ගල් පෙරළීමේ අවදානමක්ද පවතී. මෙසේ පෙරළී ආ සමහර ගල් දියඇලි පාමුල රැඳී තිබෙනු දැකිය හැකිය. දියඇලි නැරඹීමට එන පිරිස් දියනෑමේදී මේ පිළිබඳව සැලකිලිමත්වීම වැදගත්ය. රත්නපුර දිස්ත්‍රික්කයේ කුඩා පරිමාණයේ ජලවිදුලි බලාගාර ඉදිකිරීම නිසා දියඇලි එකොළහක් සිඳීයාමේ අවදානමකටද මුහුණ පා ඇත. මේ වනවිට දියඇලි ආශ්‍රිතව ඉදි වී ඇති කුඩා ජලවිදුලි බලාගාර සංඛ්‍යාව 30කි. එමෙන්ම සමහර දියඇලි සංචාරකයන් නිසාත් විනාශ වීමට ලක්වේ. ජලපෝෂක ප්‍රදේශ තුළ සිදුකරන විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්ද දියඇලි විනාශ වීමේ අවදානමක් පවතී.

කුරුවිට සමූහ-රූපිකා කේ.බණ්ඩාර 

 

නව අදහස දක්වන්න