‍බබාපුල්ලේ අනතුර! | දිනමිණ

‍බබාපුල්ලේ අනතුර!

අපේ රටේ ගොඩනැගිලි හිටිහැටියේ කඩා වැටෙන්නේ ඇයි? ඉදිකිරීම් තාක්ෂණය දුර්වල නිසා ද? ප්‍රමිතියෙන් තොර අමුද්‍රව්‍ය භාවිත කරන නිසා ද? ඉංජිනේරුවන්ගේ වරදක් නිසා ද? නැතහොත් කොන්ත්‍රාත්කරුවන්ගේ වරදක් නිසා ගොඩනැගිලි කඩා වැටෙන්නේ ද? මේ කිසිවකට නිශ්චිත පිළිතුරක් නැත. එහෙත් පෙරෙයිදාත් කොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටුණේ ය. එහි ඇති බරපතළ ම ඛේදවාචකය වන්නේ ගොඩනැගිල්ලේ අයිතිකරුවා ද ඊට යටවී මිය යෑම ය. ඔහු ද ඇතුළත් ව හත්දෙනෙක් මිය ගොස් සිටිති. තවත් දෙදෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති. එම දෙදෙනාගේ තත්ත්වය ද බරපතළ බව කියති.

මේ ගොඩනැගිල්ල තුළ තේ කොළ හා කුළුබඩු අපනයනය කරන ආයතනයක් පවත්වාගෙන ගොස් තිබේ. ආයතනය සාර්ථකව පවත්වාගෙන ගිය ද ගොඩනැගිල්ලේ ප්‍රමිතිය ගැන සොයා බලා නැති බව පෙනෙයි. එය වසර එකසිය තිස් ගණනක් පරණ අබලන් ගොඩනැගිල්ලක් බව කියති. ඊට යාබද ගොඩනැගිල්ලේ ඇති අනතුරුදායක තත්ත්වය මත එය කඩා ඉවත් කරමින් තිබුණු අවස්ථාවක ‍ඛේදවාචකය සිදුවී ඇත. කඩා ඉවත්කරන ගොඩනැගිල්ලේ කොටසක් ඉවත් කරනවිට ඉහත ගොඩනැගිල්ලද කඩා වැටුණු බව කියති. ඇතැම්විට ගොඩනැගිලිවල සම්බන්ධතා නිසා මෙය සිදුවන්නට පුළුවන. දෙදරීමක් හෝ කම්පනයක් හෝ නිසා ද මෙය සිදුවන්නට පුළුවන.

කොළඹ නගරය තුළ පමණක් පරණ ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් තිබේ. මේ ගොඩනැගිලි තුළ විවිධ ආයතන පවත්වාගෙන යයි. ආයතන හා ආයතනවලින් ලැබෙන ලාභය ගැන මිස ගොඩනැගිලි ගැන කිසිවකු සොයන්නේ නැත. ඉන්දියාව තමන්ගේ පුරාණ නගර කිහිපයක අබලන් ගොඩනැගිලි කඩා ඉවත් කළේ මීට වසර දෙකකට පමණ පෙර ය. මේ අනුව චෙන්නායි නුවර ද ගොඩනැගිලි ගණනාවක් කඩා ඉවත් කළේ ය. මේ සම්බන්ධයෙන් මහජන විරෝධතා පැවතිය ද රජය ඒවා ගණන් ගත්තේ නැත. ගොඩනැගිලිවලට වඩා මිනිසුන්ගේ ජීවිත වටිනා බව ඉන්දියාවේ රජය වටහාගෙන තිබිණි. අපට ද එය හොඳ ආදර්ශයකි.

කොළඹට ආසන්න ප්‍රදේශ ගණනාවක ගොඩනැගිලි කඩා වැටී වටිනා මිනිස් ජීවිත ගණනාවක් අපට අහිමි විය. මේ සියල්ල ම පාහේ පරණ ගොඩනැගිලි ‍ෙනාව; අලුත් ගොඩනැගිලි ය. ඒවා ප්‍රමිතියකින් යුතුව ඉදිකර තිබුණේ නැත. ඇතැම් ගොඩනැගිල්ලක අත්තිවාරම දමා ඇත්තේ මහල් දෙකක ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ය. එහෙත් එම ගොඩනැගිල්ල මහල් පහකට ඉදිකරමින් තිබිණි. ප්‍රතිඵලය වූයේ කඩා වැටීම ය. තවත් ගොඩනැගිල්ලක අත්තිවාරම දමා තිබුණේ මහල් තුනකට ය. එහි මහල් හතක ගොඩනැගිල්ලක් ඉදිවෙමින් තිබිණි. එහි ප්‍රතිඵලය වූයේ ද කඩා වැටීම ය. ‍ෙම්වා සිදුවන්නේ නොසැලකිල්ල නිසා ය.

නගරයක අලුත් ගොඩනැගිල්ලක් ඉදිකරන්නේ නම්, ඒ සඳහා නගර සභාවේ අනුමැතිය ගත යුතු ය. තාක්ෂණ නිලධාරිහු ඉදිකිරීම් පරීක්ෂා කොට ඊට අනුමැතිය ලබා දෙති. එහෙත් මේ රාජකාරිය හරි හැටි ඉටුවන බවක් පෙනෙන්නට නැත. සමහරු අනුමැතියට පිටින් ගොස් තමන්ගේ සිතැඟි පරිදි ගොඩනැගිලි ඉදිකරති. තව සමහරු තාක්ෂණ නිලධාරින් නොමඟ යවා හොරට අනුමැතිය ලබා ගනිති. තවත් සමහරු අනවසරයෙන් ගොඩනැගිලි ඉදිකරති. මේ සියල්ලම අනතුරුදායකය. තව අතෙකින් එබඳු ගොඩනැගිලි සඳහා වගකීම දරන ආයතනයක් ද නැත. කොළඹ නගරයේ පවා මෙබඳු ගොඩනැගිලි ඇති බව කියති. මේ සියල්ලෙන්ම පීඩාවට පත්වන්නෝ අහිංසක සේවකයෝ ය.

ගොඩනැගිලි තුළ විවිධ ආයතන පවත්වාගෙන යති. මේ ආයතනවල සේවයට එන අය ගොඩනැගිල්ල ගැන දන්නේ නැත. ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ ජීවන වෘත්තියක නියැළී කීයක් හෝ හම්බ කර ගැනීම ය. විධිමත් ආයතනයක් පවත්වාගෙන යන්නේ නම්; එම ආයතනය සතු ගොඩනැගිල්ල රක්ෂණය කර තිබිය යුතු ය. එහෙත් අද බොහෝ තැන්වල මේ කිසිවක් සිදුවන්නේ නැත. ඇතැම් දේවල් මුදලට යටවෙයි. තව දේවල් දේශපාලන බලයට යටවෙයි. එහෙත් ඒවායෙහි ප්‍රතිඵලය ඉතා භයානක බව අද සිදුවන දේවල්වලින් පෙනී යයි. පුදුමයකට මෙන් මේවා පාඩමකට ගන්නා කෙනකු ද දකින්නට නැත. මේ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු රාජ්‍ය ආයතන පවා නිහඬ බව පෙනි යයි.

ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මීට වසර දෙකකට පමණ පෙර දී කියා සිටියේ ඕනෑම අලුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී භූකම්පනවලට ඔරොත්තු දෙන ලෙස ඒවායෙහි ඉදිකිරීම් සිදුවිය යුතු බව ය. එහෙත් කිසිවකු එය සැලැකිල්ලට ගත් බවක් පෙනෙන්නට නැත. 2009 දී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයකට අනුව අලුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී ආබාධිත පුද්ගලයන්ට පහසුකම් සැපයිය යුතු ය. එනම්; ආබාධිත පුද්ගලයන්ගේ අවශ්‍යතා පිරිමසා ගත හැකි ලෙස පහසුකම් ඇති කළ යුතු ය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පනතක් පවා සම්මතවී ඇත. එහෙත් අලුත් ගොඩනැගිලිවල එබඳු පහසුකමක් දකින්නට නැත. රටේ නීතිය පවා ඇතැමුන් නොසලකා හරින බව මෙයින් පෙනී යයි.

ජපානය විවිධ ස්වභාවික විපත්වලට හසුවන රාජ්‍යයකි. ඒ අනුව ජපානයේ සියලු ගොඩනැගිලි ඉදිවන්නේ ඒ ඒ කලාපවල භෞතික හා ‍පාරිසරික තත්ත්වයන්ට ගැළපෙන අන්දමින් ය. ඇතැම් ප්‍රදේශවල ගොඩනැගිලි ඉදිකිරීම සඳහා යෝග්‍ය අමුද්‍රව්‍ය පවා රජය විසින් නිර්දේශ කරනු ලැබේ. ජපානයේ පුරවැසියාද රටේ නීතිය ඉහළින් ම පිළිගනී. මේ නිසා ස්වභාවික විපත් ඇතිවුව විශාල මිනිස් ඝාතන ජපානයේ සිදුවන්නේ නැත. එම රටවල ස්වභාවික විපත් ඇතිවුව දේපොළ හානිය ද අවම වෙයි. අපේ රටේ අලුත් ගොඩනැගිලි මෙන් ම පරණ ගොඩනැගිලි ද කඩා වැටෙන්නේ ඒවා පිළිබඳ නිසි අවධානයකින් කටයුතු නොකරන නිසා යැයි කියන්නට පුළුවන.

බබාපුල්ලේ මාවතේ දී සිදුවූ ඛේදවාචකය අපට හොඳ පාඩමක් උගන්වයි. එනම්; අප වසන හා ක්‍රියාකරන ගොඩනැගිලි ගැන නිරන්තර අවධානයකින් සිටිය යුතු බව ය. එම අවධානය ඇති කර ගන්නා තුරු තවත් ගොඩනැගිලි කඩා වැටෙන්නටත්; බරපතළ ඛේදවාචක සිදුවන්නටත් පුළුවන.

 

නව අදහස දක්වන්න