මොළයට ලාභයක් | දිනමිණ

මොළයට ලාභයක්

 “වළක වැටීම මොළයට ලාභයකි” යන කියමනක් ඇත. ඒ කියන්නේ බොහෝ දේ එයින් තේරුම් ගන්නා නිසාය. වෙනත් විදියකට කීවොත් ‘සිහිය සැපත් වන’ නිසාය. එය බොහෝවිට සිදුවන්නේ දේශපාලන වශයෙන් වළක වැටුණුවිටය.

බොහෝවිට වළක වැටෙන්නේ නොදැනුවත්වය. ඉදිරියට යන්නේ වළක් ඇති බව නොදැනය. ආරක්ෂිත මඟක ගමන් කරනවා කියා හිතාගෙනය. ඉන්පසු වළෙන් ගොඩයන මං සෙවිය යුතුය. එමෙන්ම වළෙහි වැටීමෙන් සිදුවූ හානිවලට පිළියම් කරගත යුතුය. ඇතැම්විට මොළයට ලාභයක් වුණාම ශරීරයට බොහෝ හානි සිදුවී තිබිය හැකිය. දේශපාලන වශයෙන් වළක වැටුණුවිට ද කතන්දරය ඒකය.

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයද ප්‍රධාන පක්ෂවලට වළක වැටීමක් වී තිබේ. එය විශේෂයෙන්ම ශ්‍රීලනිපයටත් එජාපයටත් අදාළය. ශ්‍රීලනිපය සිතා සිටියේ රාජපක්ෂ විරෝධයත් ආණ්ඩු විරෝධයත් දෙකම අලෙවිකොට හොඳ ඡන්ද ප්‍රතිශතයක් ගන්නටය. දූෂණ වි‍‍රෝධයෙන් අනෙක් දෙතුන් පැත්තකම කපා රජවන්නටය. එය සිදුවූ බවක් පෙනෙන්නට නැත. අනෙක් අතට ශ්‍රීලනිප නායකත්වය සඳහා කළ සටනින්ද ජනාධිපතිතුමා පරාදය. ඇත්ත කතාව ඒකය. දැන් පක්ෂයේ දෙපාර්ශවය සමගි කිරීම ද පහසු නැත. තම දේශපාලන ඉදිරි ගමන ගැන ශ්‍රීලනිපයට අලුතින් සිතන්නට සිදුවී තිබේ. මැතිවරණ ප්‍රතිඵලයෙන් පසුව ශ්‍රීලනිප ප්‍රබල ඇමතිවරුන් කීවේ ආණ්ඩුවේ දැනෙන වෙනසක් සිදුවන බවයි. ඉදිරි දිනවලදී ජනාධිපතිතුමා එම වෙනස රටට හෙළිකරනු ඇති බව ඔවුහු කීහ.

එක්සත් ජාතික පක්ෂය හිතා හිටියේ පහසු ජයග්‍රහණයක් ඇත කියාය. ශ්‍රීලනිපයේ ඡන්ද ගොඩ බෙදෙනවිට එජාපය නිකම්ම උඩට එන බවය. ශ්‍රීලනිපය ඡන්ද හරියට දෙකට බෙදුනේ නම් කතන්දරය ඒකය. එසේ වුවද එය බෙදී තිබුණේ මහින්දට අති බහුතරය වන ලෙසය. එයින් එජාපයට සිදුවූයේ දෙවැනි තැනට වැටෙන්නටය. එජාප ඡන්ද දායකයන් විශාල ප්‍රමාණයක් ඡන්ද පොළට පැමිණ නැති බව පෙනෙන්නට තිබිණ. එක්කෝ ඒ කලකිරීම නිසාය. නැතිනම් මේ ඡන්දයෙන් පක්ෂය උඩින් දිනන බව සිතා අලස සුව විඳීම නිසාය.

උඩ පනින්න බෑ

අනෙක් පක්ෂ ගමේ ඡන්දය කරද්දී පොහොට්ටුවේ මැතිවරණය කළේ මහින්ද රාජපක්ෂ අගමැති කරන්නටය. ඔවුන් පාක්ෂිකයන්ට කීවේ මෙම ඡන්දය දිනුවොත් ආණ්ඩුව ගන්න බවයි. මහින්දට අගමැතිකම ලැබෙන බවයි. එලෙස තම පාක්ෂිකයන් සියලුදෙනා ඡන්ද පොළට ගෙන්වාගන්නට ඔවුහු සමත්වූහ. ඡන්දයෙන් පසු මේ පාක්ෂිකයන් ඇතැම් තැනක ප්‍රචණ්ඩ ක්‍රියා පටන්ගත්තේ දැන් ආණ්ඩුව අපේ අතේ කියා සිතාගෙනය.

ඡන්ද ප්‍රතිඵලයෙන් පසුව කළ විශ්ලේෂණ මඟින් පැහැදිලි වූයේ පොහොට්ටුවට ද එතරම් උඩ පනින්නට තරම් ජයග්‍රහණයක් නැති බවයි. 2015 ජනාධිපතිවරණයේදී සියයට 47ක් වූ මහින්ද රාජපක්ෂගේ ඡන්ද ප්‍රතිශතය මෙවර සියයට 44ක් දක්වා පහත බැස තිබුණ බව මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත. මහින්ද විරෝධී ඡන්ද ප්‍රතිශතය සියයට 55.3කි. එය බෙදී ගොසිනි. ආණ්ඩුවේ සිටින පක්ෂ දෙකට සියයට 47ක් හිමිවී ඇත. එයද මහින්දගේ ගොඩට වඩා විශාලය. ජවිපෙට, දෙමළ ජාතික සන්ධානයට හා වෙනත් පක්ෂවලට ඉතිරි ඡන්ද බෙදී ගොසිනි.

රජයේ ක්‍රියා විවේචනය කරන විශ්ලේෂකයකු වන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා‍ ද කීවේ මහින්දගේ ඡන්ද වැඩිවීමක් නොව අඩුවීමක් පෙන්නුම් කරන බවයි. එමෙන්ම 2015 ජනවාරි වෙනසට පොදු අපේක්ෂකයාට ඡන්දය දුන් හැට දෙලක්ෂය එලෙසම පවතින බවත් ප්‍රශ්නය ඇත්තේ ඒවා බෙදී තිබීම බවත් නිර්මාල් රංජිත් මහතා පෙන්වා දුන්නේය.

කොට්ඨාස ක්‍රමයේ බලපෑම

නිර්මාල් රංජිත් මහතා කීවේ පොහොට්ටුවේ ඡන්ද වෙනම මනෝභාවයක් පෙන්නුම් කරන බවයි. එයනම් සිංහල බෞද්ධ ජාතිවාදී මතවාදයයි. එම ව්‍යාපාරයේ නායකයා මහින්ද රාජපක්ෂයි. එයට අභියෝග කරන්නට කිසිවකුට හැකියාවක් නැත. සිදුව තිබෙන්නේ ඔවුන් කැපීපෙනෙන ලෙස ක්‍රියාශීලී වීමයි.

මෙවර ඡන්ද ක්‍රමයද වෙනස් වූ බව අපට අමතක කළ නොහැකිය. මෙය ඡන්ද කොට්ඨාස ක්‍රමය ප්‍රධාන කොටගෙන සකස් කළ ක්‍රමයකි. එවිට කොට්ඨාස දිනන පක්ෂයට පැහැදිලි ජයග්‍රහණයක් හිමිවෙයි. එය ජයග්‍රහණයක් ලෙස පැහැදිලිව පෙනෙන්නට තිබේ. අනුගත ක්‍රමයට පත්වන්නේ සියයට හතළිහකි. සුළු පක්ෂවලට ඉඩ ලැබෙන්නේ එම සියයට හතළිහ තුළිනි. ඡන්ද ප්‍රතිඵලයේ හැබෑ තත්ත්වය විග්‍රහ කළ යුත්තේ පක්ෂවල ඡන්ද අනුගත සැලකිල්ලට ගනිමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් නොවන්නේනම් ආණ්ඩු වෙනස්වන මැතිවරණයක් ලෙස මීළඟට පළමුවෙන් එළඹෙන්නේ ජනාධිපතිවරණයයි. එහි ප්‍රධාන පාර්ශව දෙක වන්නේ මහින්ද රාජපක්ෂ කණ්ඩායම හා එජාපය බව මෙම මැතිවරණ ප්‍රතිඵලය පෙන්වන කතාවයි. එහිදී ‍පොහොට්ටුව සිටින්නේ සියයට 44කය. එජාපය සිටින්නේ සියයට 33කය. එසේ වුවද පොහොට්ටුවට අලුතින් සිංහල බෞද්ධ ඡන්ද එකතුකර ගැනීම පහසු නැත. සුළු ජාතික ඡන්ද කොහොමත් අමාරුය. සිංහල බෞද්ධ ඡන්ද රැස්කරන ගමන් සුළු ජාතික ඡන්ද සෙවීම කොහොමත් කරන්න බැරිය.

එජාපයට සුළු ජාතික ඡන්ද දිනාගත හැකිය. ඒ අතර දැනට තිබෙන සියයට 33 වැඩිකරගත යුතුය. මංගල සමරවීර මහතා පෙන්වාදෙන මහින්ද රාජපක්ෂ විරෝධී ඡන්දවල සියයට 55ක ප්‍රතිශතය ලබාගැනීමට එජාපය සමත්විය යුතුය. එහිදී විවිධ මනෝභාවයක් ලෙස බෙදී සිටින මෙම ඡන්දදායක කණ්ඩායම එක මිටකට එකතුකර ගැනීම අභියෝගයකි.

ශ්‍රීලනිපය ගත් සියයට 14ක් මෙහිදී ගෙඩිය පිටින් ගත හැකි යැයි මහින්ද පිල හිතනවානම් එය මුළාවකි. මහින්ද ළඟට යන උදවිය මේ මැතිවරණයේදී ගොස් හමාරය. ඉතිරිවී සිටින බහුතරය 2015 ජනවාරි අට පැමිණ පිරිසය. ඔවුන් මහින්දගේ දේශපාලනයෙන් කැඩී ගිය පිරිසකි. ඔවුන් ප්‍රතික්ෂේප කළ කිසිවක් වෙනස්වී නැත. දූෂිතයන් ඇල්ලුවේ නැතිවාට දූෂණ නොවූ බව කියන්න බැරිය. පවුල්වාදය තවම අවසන් නැත. ඒකාධිපතිවාදය හා ජාතිවාදය ද එසේමය. නව දැක්මක් ද පෙනෙන්නට නැත. තමන්ගේ වැරදි ගැන ස්වයං විවේචනයක් ද මහින්ද පිලෙහි නැත. එවිට කැඩුණු පිරිස් ආපසු යන්නට හේතුවක් නැත.

එජාප ඡන්ද පදනම ගැන කතා කළ එම පක්ෂයේ නායකයකු වරෙක කීවේ තම පක්ෂයෙන් ගාමිණී - ලලිත් කණ්ඩායම ඡන්ද ලක්ෂ පහළොවක් විස්සක් කඩාගෙන ගිය බවත් එය නැවත නොපැමිණි බවත්ය. ඊට පෙර තිබූ ඡන්ද පදනම සකස්කර ගන්නට පක්ෂයට තවම හැකිවී නැති බවය. මහින්දගෙන් 2015දී කැඩීගිය පිරිස ඊට වඩා අඩුවිය හැකිය. එසේ වුවද එම පිරිසද යළි මහින්ද වෙත යාමට හේතුවක් පෙනෙන්නට නැත.

ආණ්ඩු විරෝධී ඡන්දයක් පළවූ බවක් මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනෙන්නට නැත. බහුතරය ආණ්ඩුවේ පක්ෂ දෙකට ඡන්දය දී ඇත. අනෙක් අතට ආණ්ඩු විරෝධයක් තිබුණානම් ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද මීට වඩා කැපී පෙනෙන වැඩිවීමක් පෙන්නුම් කළ යුතුව ඇත. ආණ්ඩුව ගැන කලකිරීමක් තිබූ බොහෝදෙනා ඡන්ද පොළට නොගිය බව නම් සිතිය හැකිය.

කෙසේ වෙතත් ආණ්ඩුවට පළාත් පාලන මැතිවරණයේදී අත්ව තිබෙන පසුබැස්ම සුළුකොට තැකිය නොහැකිය. මෙය රජයේ ඉදිරි වැඩකටයුතු කෙරෙහි බලපාන අතර ඊළඟට පැමිණෙන පළාත් සභා මැතිවරණ කෙරෙහිද අයහපත් ලෙස බලපාන බවට සැකයක් නැත.

ආණ්ඩුව ඉන්නේ අමාරු අඩියකය. ඉදිරි කාලයේ විශාල ණය ප්‍රමාණයක් ගෙවීමට ඇත. අපගේ අපනයන පැවැතියේ පහත් තත්ත්වයකය. ඒ සියල්ල ආපසු හරවා වර්ධනයක් අත්පත්කරගත හැකිවූයේ පසුගිය වසරේදීය. තවමත් මහජනයාගේ සුබසාධනය වෙනුවෙන් විශාල ලෙස මුදල් යෙදවීමට ආණ්ඩුවට හැකියාවක් නැත. එසේ වුවද මහජනයාගේ ආර්ථික ප්‍රශ්නවලට කඩිනම් විසඳුම්දීම අවශ්‍යය.

අලෙවි කරන වැරැදි

අනෙක් අතින් තමන් කළ නිවැරදි වැඩ අලෙවි කර ගැනීමට ආණ්ඩුව දන්නේ නැත. හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දී ආණ්ඩුව කළේ කරන්නට තියෙන හොඳම දේ බව ආර්ථිකය ගැන දන්නා කවුරුත් පිළිගන්නා සත්‍යයකි. එයට වෙන කරන්න දෙයක් නැත. දැන් එහි විශාල ආර්ථික වර්ධනයකට අඩිතාලම වැටෙනු ඇත. එහෙත් එය හරියට මහජනයාට කියන්නට ආණ්ඩුවට හැකිවූයේ නැත. සෑහෙන පිරිසකට ගිය අදහස නම් හම්බන්තොට වරාය විකුණුවා යන්නයි. එය පට්ට කෙබරයක් බව මහජනයාට ඒත්තුගන්වන්නට ආණ්ඩුවට හැකිවූයේද යන්න සැක සහිතය.

හතළිස් පන්ලක්ෂයක් පාසල් සිසුන්ට ආණ්ඩුව සෞඛ්‍ය රක්ෂණයක් ලබාදී ඇත. විවිධ අසනීපවලට ගොදුරු වන දුප්පත් ළමයින්ගේ මව්පියන්ට මෙය විශාල අස්වැසිල්ලකි. එයින් දැනටමත් සිය ගණනක් දෙනා ප්‍රතිලාභ ලබා ඇත. මෙය හරියට මහජනයාට කියන්නට ආණ්ඩුවට හැකිවී නැත.

කියන්න බැරි වූ දේ

බඩුමිල ගැන වික්ෂය කීවේ නියඟය නිසා සහල් පොල් මිල ඉහළ ගියේය. නිසාය. රුපියල් සියයට තිබූ සහල් මිල හැටට හැත්තෑවට ගේන්න කෙටි කලකදී ආණ්ඩුවට හැකිවිය. පොල් මිල පාලනය තරමක් ප්‍රමාද වුවද එයටද පියවර ගැණිනි. දැන් මාස දෙකක් පමණ තිස්සේ හාල් රුපියල් හැටට හැත්තෑවට තිබිණි. විපක්ෂය හත්වෙනිදාත් කීවේ හාල් සීයයි පොල් එකසිය විස්සයි කියාය. එයට හරියට උත්තර දුන්නාදැයි සැක සහිතය.

උද්ධමනය වැඩි යැයි කීවද පසුගිය කාලයේ දිගටම එය පැවැතියේ සියයට හය හතක මට්ටමේය. ආණ්ඩුවට එය කියාගන්නට බැරිවීම නිසා විපක්ෂය කී දේ ජනතාවද කියන්න පටන් ගත්තේය.

ජනතාවට ඇතිවන ප්‍රශ්න ඇත්නම් සොයා බලා ක්‍රියාත්මකවීම අවශ්‍යයි. සහනයක් සැලසීමද අවශ්‍යය. එමෙන්ම තමන් කරන දේ ජනතාවට තේරුම්කරදීමට යාන්ත්‍රණයක් තිබිය යුතු වුවද ආණ්ඩුවට නැත්තේද එයමය.

මහින්ද රාජපක්ෂ කණ්ඩායම බොරුව ඇත්ත කරන්න දක්ෂයි. බොහෝවිට ජාතිවාදය ඇවිස්සුවේ බොරුවෙනි. මුලින්ම බලයට ආවේද අලි කොටි ගිවිසුමක් ගැන කියලාය. ඒ අතර කොටි සමඟ ගිවිසුම් ගැහුවේද මහින්දය. මුදල් දුන්නේය. දැන් ඒවා එළි වුවත් හරියට රටට කියන්නට ආණ්ඩුව දන්නේ නැත.

මෙවරද කීවේ රට බෙදන ව්‍යවස්ථාවක් ගැනය. එහෙම එකක් හදා නැති අතර ව්‍යවස්ථාව හදන කමිටුවේ මහින්දලාද නියෝජනය වෙති. කෙටුම්පත් හදන්නේ ඔවුන්මය. නමුත් ගමට ගොස් ඡන්දය ඉල්ලන්නේ රට බෙදන ව්‍යවස්ථාවට එරෙහිව. එය ඒත්තු ගන්වන්නටද ඔවුහු දක්ෂයෝ වෙති. විපක්ෂය මෙලෙස බොරුව ඇත්ත කරනවිට ඇත්ත කියා ඒත්තු ගන්වන්නට බැරිව ළතැවෙන්නේ ආණ්ඩුවයි. මෙම පසුබැස්මට එය ප්‍රධාන හේතුවකි.

මෙවැනි උදාහරණ ආණ්ඩුවෙන් ඉදිරිපත් කළ හැකිය. මේවාට උත්තර සොයාගැනීමට ආණ්ඩුවත්, විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය හා එහි නායකත්වයත් කටයුතු කළ යුතුය. එමෙන්ම සිදුවුණ වැරදි නිවැරදි කර ගැනීමද අවශ්‍යය.

ආණ්ඩුව තේරුම්ගත යුතු ප්‍රධාන කරුණක් නම් රටේ ජාතිවාදයට එරෙහිව විශාල සටනක් කළ යුතුව ඇති බවයි. එය සංවිධානාත්මකව, නිවැරදිව හා එඩිතරව කරන්නට ආණ්ඩුව ක්‍රම සහ විධි සොයාගත යුතුය. එසේ කළ නොහැකි වුවහොත් රට තවත් වරක් විනාශයට යනු ඇත. එයින් රට ගලවා ගැනීමට වහාම වැපිළිවෙළක් ක්‍රියාත්මක නොකළහොත් ආණ්ඩුවත් අමාරුවේය. රටත් අඳුරේය. මේ උදාවී තිබෙන්නේ තීරණාත්මක මොහොතකි.

සී. ජේ. අමරතුංග

නව අදහස දක්වන්න