කවුළුවෙන් වැටුණු ආලෝකය | දිනමිණ

කවුළුවෙන් වැටුණු ආලෝකය

 පෙපිග්නන් සිර මැදිරියේ ගෙවමින් සිටි පස්වන මාසයේදි ( මේ බව ඔහුට දැනගැනීමට ලැබුණේ පසුවය ) අවේලාවේ කළ දොරට තඩිබෑමකින් ඇබග්නේල් සිහින ලෝකයෙන් අවදි විය. දොරෙහි කුඩා කවුළුවක් විවර වූ අතර ඒ තුළින් ගලා ආ කට හඬෙන් ඇබග්නේල් මහත් විමතියට පත් විය. පුදුම වීමට හේතු දෙකක් තිබිණි. එකක් නම් මෙතෙක් කල් මෙම දොරේ මෙබඳු කවුළුවක් තිබූ බවක් ඇබග්නේල් නොදැන සිටීමය. අනෙක නම් මිහිපිට අපායට පය ගැසු පසු ඇමරිකානු උච්චාරණයෙන් කළ කතා කිරීමක් ඔහුට ඇසුණේ පළමු වරට වීමය.

“ෆ්‍රෑන්ක් ඇබග්නේල් ?“ කටහඬ ඇමරිකානු බවට ඇබග්නෙල්ට සැකයක් නොවීය. වහා දොර දෙසට බඩගාගෙන ගිය ඇබග්නේල් පටු විවරයෙන් පිටත බැලූ විට දක්නට ලැබුණේ මීට පෙර දැක නොතිබූ උස හින්දෑරි මිනිසෙක් ලේන්සුවකින් නාසය හා මුව වසාගෙන සිටින අයුරුය. සිරකුටියෙන් නික්මුණු දරාගත නොහැකි දුර්ඝන්ධය නිසා ඔහු පිළිකුලෙන් ඇකිලී සිටියේය.

“ ඔව් මම ෆ්‍රෑන්ක් ඇබග්නේල්. සර් ඇමරිකාවෙන්ද ? එෆ්.බී.අයි. එකෙන්ද එව්වේ?“

“මම පීටර් රැම්සේ, මාර්සෙල්ස්වල ඇමරිකානු තානාපති කාර්යාලයෙන්." ආගන්තුකයා පිළිතුරු දුන්නේ මුව වසාගෙන සිටි ලේන්සුව මඳකට ඉවත් කරමිනි. “සැපසනීප කොහොමද?"

ඇබග්නේල් ඔහු දෙස බලාගෙන සිටියේ දෙසවන් අදහාගත නොහැකිවය. “සැපසනීප කොහොමද?" ඔහු කතා කළේ දිගු කලකට පසුව හමු වූ මිතුරෙක් සමඟ අවන්හලකට ගොඩවැදී මධු බිඳක් තොලගාමින් සංවාදයේ යෙදෙන විටෙක මෙනි. මෙතෙක් කලක් සිතේ තෙරපාගෙන සිටි වේදනාව චනවලට පෙරලී එක්වරම ඇබග්නෙල්ගේ මුවින් පිටවන්නට ගත්තේය.

“මට කොහොමද?" ඇබග්නේල් එය නැවත ප්‍රතිරාව කළේ උමතු සිනාවක් පාමිනි. “මම කියන්නම්. මට අසනීපයි, ඇඟ පුරාම තුවාල, ඒ මදිවාට ඇඟේ නූල් පොටක්වත් නැහැ. හාමත්වෙලා. උකුණොයි මැක්කොයි ඇඟ පුරාම. නිදාගන්න ඇඳක් නැහැ. වැසිකිළියක් නැහැ. මම මගේම මලපහ උඩ වැටිලා ඔහේ වැතිරිලා ඉන්නවා. මුණ හෝදගන්න බේසමක්,වතුර පොදක් නැහැ. රැවුල බාගන්න රේසරයක් නැහැ. දත් බුරුසුවක් නැහැ. කොටින්ම මේක ඇතුලේ බල්බයක්වත් නැහැ. වෙලාව කීයද කියලා මම දන්නේ නැහැ. අද කවදාද, මේ මොන මාසෙද, මොන අවුරුද්දද කියලාවත් දන්නේ නැහැ. ජේසු ක්‍රිස්තුනි! මට මෙහේ සලකන්නේ පිස්සු බල්ලෙකුට වගේ. තවත් හිටියොත් මට පිස්සු හැදෙයි. මම මෙහේ ඉන්නේ පණ ඇද ඇද .

හුස්මක් නොගෙන එක හැල්මට කියවාගෙන ගිය ඇබග්නේල් ඉන් හටගත් වෙහෙස නිසාවෙන්ම බිත්තියකට වාරු විය. නමුත් ඒ කිසිවකින් සැලුණු බවක් රැම්සේගේ ඉරියව්වලින් පෙනුණේ නැත. අධික දුර්ඝන්ධය නිසා දැක්වු ප්‍රතිචාරය හැරෙන්නට ඇබග්නේල් පැවසු කිසිවක් අලුත් බව හඟවන ප්‍රතිචාරයක් රැම්සේ වෙතින් පළ නොවිණි. ඔහු හිස වැණුවේ උදාසීන ලෙසය.

“ඒකත් එහෙමද.“ රැම්සේගේ හඬ අසාමාන්‍ය ලෙස සන්සුන් විය. “මම හිතන්නේ මම මෙහෙම ආවේ ඇයි කියලා පැහැදිලි කළොත් හොඳයි. මම සාමාන්‍යයෙන් මගේ දිස්ත්‍රික්කයේ සිරගත වෙලා ඉන්න ඇමරිකානුවන්ව බලන්න වසරකට දෙපාරක් විතර යනවා. ඔයා මෙහෙ ඉන්න බව මම දැන ගත්තේ ළඟදී. ඔක්කොටම ඉස්සෙල්ලා කියන්න ඕනේ මගේ පැමිණීම ගැන ලොකුවට බලාපොරොත්තු තියා ගැනීමෙන් වැඩක් නැහැ. මොකද මොනම විදියකින්වත් ඔයාට උදව්වක් කරන්න මට කිසිම බලයක් නැහැ. ...මෙහේ ඇත්ත තත්වයත්, සිරකරුවන්ට සලකන විදිහත් මම දන්නවා. ඒ නිසාම තමයි මට ඒ ගැන මොනවත්ම කරන්නත් බැරි. ඔයාට මෙයාලා සලකන්නේ මෙහේ ඉන්න අනෙක් ප්‍රංශ හිරකරුවන්ට වගේම තමයි. ඔයාගේ දෙපැත්තේ කාමරවල හරි වෙනත් සිර මැදිරියක හරි ඉන්න සිරකරුවෙකුට වඩා වෙනස් විදිහට මෙයාල ඔයාට සලකලා නැහැ. ඒ හැමෝම ඉන්නෙත් මේ වගේම කුටිවල. කන්නෙත් ඔයාට දෙන කෑම. ඉන්නෙත් එයාලගේ මලපහ උඩ.

ඔයාට විතරක් වෙන් කරලා එයාලා විශේෂ දඩුවමක් දීලා නැහැ. එයාලා එයාලගේම සිරකරුවෙකුට වගේ ඔයාට සලකන තාක් කල් මට ඔයා වෙනුවෙන් කිසිම දෙයක් කරන්න පුළුවන්කමක් නැහැ. අඩුම ගානේ පැමිණිල්ලක්වත් කරන්න බැහැ. හැබැයි එයාලා ඔයා විදේශිකයෙක් කියලා පොඩි වෙනස්කමක් හරි කළොත්, එතකොට මට පුළුවන් ඔයා වෙනුවෙන් පැමිණිලි කරන්න. නමුත් ඒකෙන් වෙන හොඳක් තියෙනවා කියලා පොරොන්දු වෙන්නත් බැහැ. නමුත් මට ඔයා වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්. ප්‍රංශ බන්ධනාගාර මේ වගේ තමයි. ප්‍රංශ නීතිය සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම ගැන විශ්වාස කරන්නේ නැහැ. එයාලා අනුගමනය කරන්නේ පරණ කැලෑ නීතිය. ඒ කියන්නේ දතට දතක්, ඇහැට ඇහැක් කියන පළිගැනීමේ නීතිය. වරදකරු බව ඔප්පු වූ අපරාධකරුවකුට දඩුවම් කිරීමට එයාලා බැඳිලා ඉන්නවා.පිළිගන්න අමාරුවුණත් ඔයා වාසනාවන්තයි. ඉස්සර සිරකරුවන් මුහුණ දීපු තත්ත්වය මීට වඩා ගොඩක් බිහිසුණුයි.ඒ කාලේ දිනපතාම සිරකරුවන්ට පහර දුන්නා. නමුත් දැන් එහෙම නැහැ. ඔයාට කවුරු හරි වෙනස්කමක් කරනකම් මට ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ. “

රැම්සේගේ දේශනයේ වචනයක් පාසා ඇබග්නේල්ට දැණුනේ පිට හරහා කසයකින් පහර දෙනවාටත් වඩා වැඩි වේදනාවකි. තමාට ඇත්තේ මරණ දඬුවමට වඩා වැඩි දෙයක් බව දැන් ඔහුට පැහැදිලිය. නමුත් සැනසිලිදායක තොරතුරක් දීමටද රැම්සේ ඉදිරිපත් විය.

“මට දැන ගන්න ලැබුණු හැටියට ඔයාට මෙහේ ඉන්න ඉතිරිවෙලා ති‍යෙන්නේ තව දවස් තිහයි. ඔයාට නිදහස ලැබෙන එකක් නැහැ. එයාලා මට කියපු හැටියට වෙනත් රටකින්, රට මොකද්ද කියලා මම දන්නේ නැහැ, බලධාරින් එන්න නියමිතයි, ඔයා ඒ රටට ගෙනිහින් නීතිය ඉදිරියට පමුණුවයි. එකක් සහතිකයි. ඒ තමයි මොන රටට ගියත් එහිදි ඔයාට මුහුණ දෙන්න වෙන තත්වය මෙහෙට වඩා හොඳයි. ඔයා කැමති නම් මව්පියන්ට ඔයා ගැන කියලා යවන්න, මට පුළුවන් ඒ උදව්ව කරන්න.“

රැම්සේ ඇත්ත වශයෙන්ම කාරුණික පුද්ගලයෙකි. ඔහුගේ ඒ උපකාරය පැහැර හැරීමට අපහසු බව දැණුනද ඇබග්නේල් එය ප්‍රතික්ෂේප කිරීමට හිත හදා ගත්තේය.

“නැහැ, මිස්ටර් රැම්සේ, අවශ්‍ය නැහැ. ගොඩක් ස්තූතියි.“

“ මම ඔබට සුබ පතනවා ඇබග්නේල්. අපි නැවත හමුවෙමු.“ ඇබග්නේල්ට සමුදුන් රැම්සේ ආපසු හැරෙනවාත් සමඟම අධික දීප්තිමත් ආලෝකයකින් සිය දෑස් නිලංකාර වූයෙන් ඇබග්නේල් වේදනාවෙන් මුරගාමින් කුටිය පිටුපසට පැන්නේය. ඔහුගේ දෑස් වේදනාවෙන් ඇදුම් කමින් තිබිණි.එවෙලේ සිදුවු දේ ඇබග්නේල් දැනගත්තේ පසුවය. සිර කුටි පිහිටි එම කොරිඩෝව ආලෝකමත් කර තිබුණේ දිප්තිය අඩු වැඩි කළ හැකි විදුලි බල්බවලිනි. සිරකුටියක දොරක් හෝ කුඩා කවුළුව විවෘත කරන විට ඒවායේ ආලෝකය අඩුකරනු ලැබුවේ පූර්ණ අඳුරේ සිටින සිරකරුගේ දෑස්වලට හානි සිදු නොවන පිණිසය. රැම්සේ වැනි අමුත්තෙක් පැමිණි විට ඔහුට ගමන් මාර්ගය බලා ගන්නට ආලෝකය වැඩිකරනු ලැබ්. ඔහු කුටිය ඉදිරියට පැමිණි පසු යළි ආලෝකය අඩු කර තිබේ. ඔහු පිටව යන විට ආරක්ෂකයෙක් වැරදීමකින් එක්වරම ආලෝකය වැඩි කර තිබුණේ ඇබග්නේල්ගේ සිර කුටියේ කවුළුව වසා දැමිමට පෙරය. ඔහු වේදනාවට පත්වූයේ එබැවිනි. පෙපිග්නන්හි සිරකරුවන් ගැන එහි පාලනාධිකාරිය සුළු හෝ සැලකිල්ලක් දැක්වූවා නම් ඒ ඔවුන‍්ගේ පෙනීම ගැන පමණක්ය යන්න ඇබග්නේල්ගේ විශ්වාසයයි.

රැම්සේ ගිය පසු කුටියේ කොනක හිඳගත් ඇබග්නේල් යළිත් ඔහු කියු දෑ මෙනෙහි කරන්නට විය. “ඇත්තටම මගේ දඩුවම් කාලය අවසන් වේගනද එන්නේ? මේ මිනීපෙට්ටියට ඇවිත් මාස එකොළහක්ම මේ තරම් වේගයෙන් ගෙවී ගියාද?" දින වකවානු ගැන කිසිම හැගිමක් ඇබග්නේල්ට නොවිනි. නමුත් රැම්සේ කීවේ ඇත්තක් බව හේ විශ්වාස කළේය. ඉන් පසුව දින ගණන් තබා ගැනීමට ඇබග්නේල් උත්සාහ ගත්තද සාර්ථක වූයේ නැත. හැමවිටම ඒකාකාර අඳුර රජයන බිම්ගෙයක් තුළ කාලය ගතවෙන හැටි කෙසේ දැන ගන්නද? නමුත් කාලය ගෙවී ගියේය. දිනක් දොරේ කුඩා කවුළුව විවෘත වී ගොරහැඩි කටහඬක් ඉන් ගලා අවේය.

“පස්සට හැරිලා ඇස් වහගෙන බිත්තියට මුණ දාලා හිට ගන්නවා."

ඇබ්ග්නේල් හදවත වේගයෙන් ගැහෙන්නට විය. මේ නිදහස ලබන දවසද ? නැතහොත් සිදුවන්නේ කබලෙන් ලිපට වැටීමටද ?

“හැරෙන්න එපා. හ්ම්... දැන් හෙමින් හෙමින් ඇස් ඇරලා ආලෝකයට ඇස් හුරුවෙනකම් ඉන්න.“ රළු හඬින් කළ විධානයට ඇබ්ග්නේල් අවනත විය. “මම මේක මෙහෙම පැයක් ඇරලා තියෙනවා. මම ආපහු එනකම් ඔය විදිහටම ඉන්න."

හෙමින් ඇස් ඇර බැලූ ඇබග්නේල්ට පෙනුණේ කාමරය දිප්තිමත් කහා පැහැති ආලෝකයකින් නැහැවි ඇති අයුරුය. කාලාන්තරයක් පුරා අඳුරට හුරුව තිබු ඔහුගේ දුර්වල දෑස්වලට එම ආලෝකය ප්‍රබල වැඩි වූ නිසාම හේ යළිත් දෑස් වසා ගත්තේය. නමුත් ටිකෙන් ටික ආලෝකයට හුරුවත්දී වේදනාවකින් තොරව දෑස් විවරව තබා ගැනීමට ඔහුට හැකියාව ලැබිණි. නමුත් තවමත් කුටිය අවට දැකීමට තරම් ආලෝකය ප්‍රමාණවත් නැත. පැයකට පසු ආරක්ෂකයාගේ කටහඬ යළිත් ඇසුණි.

“ඇස් වහා ගන්නවා ආපහු. මම ආලෝකය තවත් වැඩි කරන්නයි යන්නේ" ඇබග්නෙල් අණ පරිදි කටයුතු කළේය. මෙවර ඇස් විවර කරද්දී ඇබග්නේල්ට ප්‍රථම වරට තමා මෙතෙක් සිරවී සිටි කුටිය පෙනුණි. අවට බලත් බලත්ම ඔහුගේ පිළිකුල දැඩි විය. එහි බිත්ති මුළුමනින්ම පෙඳ පාසිවලින් වැසී තිබුණු අතර සිවිලිමද දිය සීරාවෙන් තෙත බරිතව තිබිණි. පොළව ඔහුගේ මලපහවලින් වැසී වැසිකිළි පනිට්ටුව උතුරා යමින් එහි පණුවෝ නළියමින් සිටි අතර, උන් පොළව පුරා ද බඩගාමින් සිටියහ.හේ වමනය කළේය.

පැයකට පමණ පසු ආරක්ෂකයා පැමිණ ඇබග්නේල්ව කුටියෙන් පිටතට ගත්තේය. කෙළින් සිට ගැනීමට වාරු නැතිව, ඔහු අපහසුවෙන් බඩගාමින්,දණගාමින් ආරක්ෂකයා පිටුපස ගියේය. සිට ගැනීමට ගත් උත්සාහයේදී දැණුනු වේදනාව ඇබග්නේල්ට කිසිදා අමතක නොවේ. ඇවිදීම කෙසේ වතුදු මාස හයක් වකුටු කොටගෙන සිටි අත්, පා සිරුර සෘජුව තබාගැනීම අතිශය වේදනාකාරී වූ බව ඔහුට මතකය. ආරක්ෂකයා ඔහු විශාල කාමරයකට ගෙන ගියේය. එහි හිඳින ලෙස ඇබග්නේල්ට අණ කළ හෙතෙම කාමරයේ ඔහු තනිකොට පිට වී ගියේය. එහි තිබූ දැවැන්ත කැටපතින් දුටු දෙයින් ඇබග්නේල් ක්ලාන්ත නුවුවා පමණි. ඔහුට ඉන් පෙනුණේ සිය ජීවිතයේ දුටු බියකරුම මනුෂ්‍ය ප්‍රාණයයි.

ෆ්‍රෑන්ක් ඇබග්නේල් විසින් රචිත Catch Me If You Can කෘතිය සහ අන්තර්ජාල තොරතුරු ඇසුරෙනි

සිංහල කළේ
රුක්ලන්ති පෙරේරා

හෙට : යමපල්ලන් ළඟින් සුර දූතියන් අතට


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...