රසායනික අවි භාවිතය ඔප්පු වුණොත් පහර දෙනවා | දිනමිණ

රසායනික අවි භාවිතය ඔප්පු වුණොත් පහර දෙනවා

 සිවිල් වැසියන්ට එරෙහිව රසායනික අවි භාවිතා කරන බව ඔප්පු වුව හොත් සිරියාවට පහර දෙන බවට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් එරටට අනතුරු හඟවයි. ඔහු වාර්තාකරුවන් හමුවේ ප්‍රකාශ කළේ එම අවි තිබෙන හා සංවිධනාය කරන ස්ථාන වලට පහර දෙන බවයි.

එහෙත් තහනම් රසායනික අවි භාවිතයක් පිළිබඳ ප්‍රංශ බුද්ධි අංශ මේ දක්වා තහවුරු කර නැති බව ප්‍රංශ ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ඔහු මෙසේ ප්‍රතිචාර දැක්වුවේ සිරියාව තුළ ජනවාරියේ සිට ක්ලෝරීන් ප්‍රහාර එල්ල වූ බවට වාර්තා වීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. මේ මාසයේ මුලදී ද රසායනික ද්‍රව්‍ය පුරවන ලද බෝම්බයක් යැයි සැක කළ ප්‍රහාරයකින් පසුව ස්වසන අපහසුතාවයන්ට පත් වූ නව දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. ඉඩ්ලිබ් හි සාරාකෙබ් වෙත රජයේ හෙලිකොප්ටර් යානයකින් එම බෝම්බය හෙළූ බව සිරියාවේ විරුද්ධ පක්ෂ ප්‍රකාශ කළේය. එහෙත් සිරියානු රජය රසායනික අවි චෝදනාව ප්‍රතික්ෂේප කළ අතර එය සිවිල් වැසියන් ඉලක්ක කර එල්ල කළ බවට වන චෝදනාව ද තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේ වෙතත් රසායනික අවි භාවිතය යනු තම රජයේ රතු ඉර පැනීම බව ප්‍රංශ ජනාධිපතිවරයා පැරිසියේ දී සදහන් කළේය. එවන් සාක්ෂියක් ලත් වහාම තමන් කියන දේ කරන බවත් එහිදී ප්‍රමුඛත්වය දෙනු ලබන්නේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට බවත් මැක්‍රොන් පැවසීය. 

නව අදහස දක්වන්න