පසුගිය සමයේ මූල්‍ය අක්‍රමිකතා හෙළි කළ විගණකාධිපති දැන් ඒකාබද්ධයට ‘ද්‍රෝහියකු’ වෙලා | දිනමිණ

පසුගිය සමයේ මූල්‍ය අක්‍රමිකතා හෙළි කළ විගණකාධිපති දැන් ඒකාබද්ධයට ‘ද්‍රෝහියකු’ වෙලා

උපාලි කරුණාරත්න

විටෙක ඒකාබද්ධ විපක්ෂයට වීරයෙකු වූ විගණකාධිපතිවරයා පසුගිය පාලනයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ හෙළිදරව් කිරීමත් සමඟ ඒකාබද්ධ විපක්ෂයට ද්‍රෝහියෙකු වීම පුදුම සහගත බව දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ප්‍රකාශ කරයි. දූෂණ විරෝධී පෙරමුණේ උපදේශකවරයා එසේ ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂය විගණකාධිපතිවරයාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාස භංගය පිළිබඳ අදහස් දක්වමිනි.

විශ්වාස භංගයකින් විගණාධිපතිවරයා බිය වැද්දීමේ ක්‍රියාකාරීත්වය තුළින් සියලුම රජයේ නිලධාරීන් බිය වැද්දීමේ උත්සාහයක ඔවුන් ලැබූ ජනවරම උපයෝගී කර ගනීමේ වෑයමක එකාබද්ධ විපක්ෂය නිරත වන බව ද කී වර්ණසිංහ මහතා එය දූෂණ විරෝධී පෙරමුණ දැඩි පිළිකුලෙන් හෙළා දකින බව ද කීය.

පසුගිය පළාත් පාලන මැතිවරණයට පෙර විගණකාධිපතිවරයා රටේ පවතින ණය අර්බුදය පිළිබඳ පැහැදිලි විග්‍රහයක් සිදු කළ බවද පැවසූ වර්ණසිංහ මහතා එහිදී පසුගිය රාජපක්ෂ පාලන කාලයේ සිදුවූ ණය පිළිබඳ සඳහන් වීම ඒකාබද්ධ විපක්ෂයට රිදීමක් ඇතිකර ඇති බව ද කීය. එනිසා විගණකාධිපතිවරයාට එරෙහි විශ්වාස භංගයක් ගෙන එන බවද වර්ණසිංහ මහතා පැවැසීය.

ඒ මහතා මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් වෙයි

පසුගිය පළාත් පාලන මැතිවරණයට දින කිහිපයක් තිබියදී රජයේ ණය අර්බුදය සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා කළ පැහැදිලි කිරීම හා විග්‍රහය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය කුපිත වී ඇතිවා පමණක් නොව ඔහු බියවැද්දීම සඳහා ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට ඒකාබද්ධ විපක්ෂය දරන උත්සාහය පිළිකුලෙන් යුතුව දූෂණ විරෝධි පෙරමුණ ලෙස හෙළා දකින්නෙමු. පසුගිය පාලන සමයන්හි දේශීය හා විදේශීය වශයෙන් ලබාගෙන ඇති ණය කන්දරාව පිළිබඳව ඔහු කළ හෙළිදරව් කිරීම රටේ ආර්ථිකය මුහුණු දී ඇති අර්බුදය කොතරම් ද යන්න පිළිබඳව පැහැදිලි චිත්‍රයකි. එම පැහැදිලි කිරීම හා විග්‍රහය රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හා ණය අර්බුදය පිළිබඳව ඇඟ කිළිපොලා යන විමතිය දනවන විග්‍රහයකි.

එහිදී රාජපක්ෂ පාලන සමය තුළ රට ණයකර ඇති ප්‍රමාණය ඔහු පෙන්වා දුන්නා පමණක් නොව වත්මන් රජය යටතේ ගෙන ඇති ණය ප්‍රාණය ද ඊට පෙර පාලන සමයන්හි ණය පිළිබඳවත් ගෙවිය යුතු ණය හා පොලී ප්‍රමාණය පිළිබඳවත් ඒකපුද්ගල ණය ප්‍රමාණය පිළිබඳවත් පැහැදිලි කිරීමක් කරනු ලැබූ අතර එම විග්‍රහයේ දී රාජපක්ෂ පාලන සමයේ ලබාගත් ණය පිළිබඳව ඉදිරිපත් කළ ඉලක්කම් වලින් ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කෝපයට පත්ව ඇතිවා පමණක් නොව විගණකාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සූදානම් වෙමින් ඇත. රාජපක්ෂ පාලන සමයේ ලබාගත් ණය කන්දරාව රට ණය උගුලක සිරවී ඇති ආකරය පෙන්වා දීම නිසා විගණකාධිපතිවරයා ඔහුගේ ද්‍රෝහියෙක් හා සතුරෙක් වී ඇත. මේ විගණකාධිපතිවරයාම මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව සිදු වී ඇති පාඩුව සංඛ්‍යා ලේඛන උපුටා දක්වන විට ඔහු එදා වීරයෙක් වූවා පමණක් නොව ඔහුගේ සංඛ්‍යා ලේඛන උපුටා දක්වන්නට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන ලදී.

බැඳුම්කර වංචාවේ සිදු වූ පාඩුව පිළිබඳව විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ වාර්තා වලින් එදා ආණ්ඩු පක්ෂයේ ඇතැම් මැති ඇමැතිවරු කුපිත වූවා පමණක් නොව ඔහු සතුරෙක් හා ද්‍රෝහියෙක් ලෙස දුටුවේය. එදා ඔහුගේ ආරක්ෂකයින් ලෙස පෙනී සිටියේ ඒකාබද්ධ විපක්ෂයයි. දැන් ඔහුගේ හෙළිදරව් කිරීමෙන් රාජපක්ෂ පාලන සමයේ ණය කන්ද පෙනෙන්නට පටන් ගැනීම නිසා ඔහු දැන් තිත්ත වී ඇත. විටෙක වීරයා ලෙස බදා වැළඳ ගන්නත්, තම පාලන සමය ගැන තොරතුරු හෙළිදරව් කරන විට ද්‍රෝහියා කර විශ්වාසභංග ගෙන ඒමටත් කටයුතු කිරීමේ බන්දුල ගුණවර්ධනගේ න්‍යාය තුළ පෙනෙන්නේ කබරගොයා තලගොයා කරගැනීමේ න්‍යායයි.

ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මන්ත්‍රී බන්දුල ගුණවර්ධනට දිවට හා කටට ප්‍රතිපත්තියක් නැති බව මෙම විශ්වාසභංග යෝජනාවෙන් පැහැදිලි වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයෙන් ලබාගත් ජයග්‍රහණය සමඟ ඒකාබද්ධ විපක්ෂය මෙම විශ්වාසභංගය හරහා රජයේ ඉහළ නිලධාරින්, රාජ්‍ය සේවකයින්, දූෂණ විමර්ශන කටයුතුවල නිරත වන නිලධාරීන්, නීති කටයුතු කරන රජයේ නිලධාරීන් හා අධිකරණ විනිසුරුවන් ඇතුළු සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම බියවැද්දීමට දරන උත්සාහයක් බව අවධාරණය කරන අතර විගණකාධිපතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිකුලෙන් හෙළා දකින අතර විගණකාධිපතිවරයා රැකගැනීම සඳහා මූල්‍ය යහපාලනය අගයන බලවේග ඉදිරියට පැමිණෙන ලෙස ඉල්ලා සිටිමු.

නව අදහස දක්වන්න