55 වැනි සහෝදරයන්ගේ සංග්‍රාමයට තර්ස්ටන්-ඉසිපතන 23 දා පිටියට | දිනමිණ

55 වැනි සහෝදරයන්ගේ සංග්‍රාමයට තර්ස්ටන්-ඉසිපතන 23 දා පිටියට

නිරෝෂාන් ප්‍රියංකර

පාසල් මහා ක්‍රිකට් තරග බිමේ තර්ස්ටන් හා ඉසිපතන විදුහල් අතර සහෝදරයින්ගේ සංග්‍රාමයේ 55වැනි තරගය මේ මස 23 හා 24 දෙදින එන්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

නිපුන් ලක්ෂාන්ගේ නායකත්වයෙන් තර්ස්ටන් විදුහල තරගයට එක්වන අතර ඉසිපතන විදුහල තරගයට එක්වන්නේ අයන සිරිවර්ධනගේ නායකත්වයෙනි.

මෙවර තරගයේදී ප්‍රතිඵලයක් මෙන්ම තරගකාරිත්වය වැඩි කිරීමේ අරමුණින් පළමු ඉනිම ඕවර 60කට සීමා කිරීමට කටයුතු කර තිබෙන අතර එහි දෙවැනි ඉනිම සාමාන්‍ය පරිදී පැවැත්වෙනු ඇත.

මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පෙරේදා කොළඹ බී.ආර්.සී ක්‍රීඩා සමාජයේදී දෙවිදුහල්වල විදුහල්පතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පතිනි ආර්.රත්නසේකර මහත්මිය පැවැසුවේ පසුගිය වසර වල මෙන්ම අනෙකුත් විදුහල්වල මහා ක්‍රිකට් තරගවලට ආදර්ශයක් වන ලෙස මෙවර තරගය පැවැත්වීමට කටයුතු කර ඇති බවයි.

අත්දැකීම් බහුල ක්‍රීඩකයන් රැසක් කණ්ඩායම් දෙකේම සිටින බැවින් මෙවර තරගය ඉතා උණුසුම් එකක් වනු ඇතැයි ඉසිපතන විද්‍යාලයේ විදුහල්පති ප්‍රේමසිරි ඈපා මහතා කියා සිටියේය.

මෙවර තරග වාරයේ තරග 13ක් ක්‍රීඩා කර ඇති තර්ස්ටන් විදුහල ඉන් තරග 3ක පූර්ණ ජය ලබාසිටින අතර පළමු ඉනිමේ ජයග්‍රහණ 6ක්ද ලබා සිටී. එක් පූර්ණ ජයක් ලබා තරග 6කින් පළමු ඉනිමේ ජයග්‍රහණ අත්කරගෙන ඇති ඉසිපතන විදුහල තරග 11කට සහභාගිවී තිබේ.

එමෙන්ම පෙර වසර වල මෙන්ම දෙවැනි පෙළ කණ්ඩායම් අතර තරගය, ගුරුවරුන්ගේ තරගය, ශිෂ්‍ය නායකයන්ගේ තරගය, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ තරගයද පැවැත්වීමට මෙවරද කටයුතු යොදා තිබේ.

මීට සමගාමීව 38 වැනි වරට පැවැත්වෙන එක්දින තරග මාර්තු 4 වැනිදා පී.සරා ඕවල් පිටියේදීත්, විස්සයි20 තරගය තර්ස්ටන් පිටියේදීත් පැවැත්වේ.

මේ මාධ්‍ය හමුවට දෙපිලේ නායකයන් දෙදෙනා සමගින් ආදි ශිෂ්‍ය සංගම් නියෝජිතයන් රැසක්ද එක්ව සිටියහ.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...