මළ මූ සයුරක සිහින සවාරියක | දිනමිණ

මළ මූ සයුරක සිහින සවාරියක

27 වැනි කොටස

කෙටි කලකින්ම ඇබග්නේල්ගේ සිරුර බිය උපදවන ආකාරයේ වණයක් බවට පත්වූයේ නොකඩවා කැසීමෙන් හටගත් තුවාල කුටියේ අපද්‍රව්‍යය හේතුවෙන් තවදුරටත් ආසාදනය වීමෙනි. ඔහුගේ සිරුර නා නා විධ බැක්ටීරියාවන් රෝපණය කළ සජීවි දීසියක් බඳුවිය. මී ගුලක් බඳු ඇහිරුණු කුඩා කුටිය තුළ කෑලි කැපිය හැකි අඳුරේ අතපය දිගහැර හිරි ඇරීමට ගත් උත්ස­ාහයන්හිදි බිත්තිවල හා වහලයේ වැදීමෙන් සිදුවු තුවාලද සිරුරේ සෙසු කෘමි ආසාදන ගොන්නටම එකතු විය.

පෙපිග්නන්හි ගත කළ කාලය පුරාවටම එක වරක් හෝ සිරමැදිරියෙන් බැහැර යාමට ඇබග්නේල්ට අවස්ථාවක් ලැබුණේ නැත. ව්‍යායාමයක් ලෙස මඳකට ඉන් පිටව අත පය දිගහැර හිරි යැවීමට නොහැකි වීම ඇබග්නේල්ගේ ගතටත් වඩා වදයක් වූයේ හිතටය. වෙනත් බන්ධනාගාරවල මෙන්ම පෙපිග්නන්හි ද රැඳවියන්ට දවසේ සීමිත කාලයකට රූපවාහිනිය නැරඹීම, පොතක් පතක් කියවීම වෙනුවෙන් වෙන් කළ විවේක කාමරයක් තිබුණා ද නොදන්නා නමුත්, ඇබග්නේල් සිටියේ එවැනි වරප්‍රසාද හිමිවූවන්ගේ කුලකයේ නොවේ. ඔහුගේ තනියට හැමදාමත් ළඟ හුන්නේ අඳුරම පමණි. ලිපි ලිවීමට, යැවීමට හෝ ලිපි ලැබීමට හෝ ඔහුට වරම් නොතිබිණි. නෑදෑයකු, නීතිඥයකු, රතු කුරුස සංවිධානය හෝ ඇමරිකානු තානාපති කාර්යාලය සමඟ හෝ කතා කිරීමට ඉඩ දෙන ලෙසට නොයක්වර ඔහු කළ ඉල්ලීම් බිහිරි අලීන්ට වීණා වැයීමක් බදු විය. ආරක්ෂයකු ඔහු කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූයේ හිසට වැරෙන් පහරක් එල්ල කිරීමෙනි.

“ කතා කරන්න හදන්න එපා. ඒකට උඹට අවසරයක් නැහැ. උඹට කතා කරන්න, සින්දු කියන්න, උරුවම් බාන්න, මුමුණන්න වෙන මොන කෙංගෙඩියක්වත් කරන්න අවසර නැහැ. එහෙම කළොත් වෙන්නේ ගුටි කන්න." ඇබග්නේල්ට කිසිවක් කීමට ඉඩක් නොතැබු ආරක්ෂකයා මහා හඬින් දොරවසා දැම්මේය.

කුටිය තුළවූ පනිට්ටුව ඇබග්නේල්ගේ වැසිකිළිය විය. වැසිකිළි යාමෙන් පසු පිරිසිදු වීමට කඩදාසි හෝ වතුර හෝ ලැබුණේ නැත. වැසිකිළි යාමෙන් පසු පනිට්ටුව ඉවත් කෙරුණේද නැත. ටික දිනකින් ඇබග්නේල් ඉන් පිටවු දරාගත නොහැකි දුර්ගන්ධයට හුරුවිය. වැඩි කලක් යන්නට මත්තෙන් පනිට්ටුව පිරී පිටාර ගිය බැවින් ඇබග්නේල්ට සිදු වූයේ තමාගේම මලපහ මත නිදාගැනීමටය. ඒ වන විට ඔහු තවදුරටත් පිළිකුලක් දැනෙන්නේ නැති තරමට ගතින් හා ආත්මයෙන් වැහැරී අප්‍රාණිකව සිටියේය. හැරත් අන් විකල්පයක් ඔහුට තිබුණේද නැත.

ඇබග්නේල්ට කෙසේවෙතත් කුටිය අසලට පැමිණෙන ආරක්ෂකයන්ට තවදුරටත් ඉන් නිකුත්වු මනස විකල් කරවන දුර්ඝන්ධය දරාගැනීමට නොහැකි වූ බව ඔප්පු වූයේ ආරක්ෂකයෙකුගේ අනුදැනුම මත රැඳවියෙකු හොර රහසේ කුටියට ඇතුළුව පිටාර ගලමින් තිබු වැසිකිළි පනිට්ටුව ඩැහැගෙන ගිය බැවිනි. ටික වේලාවකින් එය නැවත ඇතුළට ආවේ හිස්වය. ඇබග්නේල් සිරමැදිරියේ ගත කළ කාලය පුරාවටම පනිට්ටුව හිස් කෙරුණේ හයවරක් හෝ ඊට වඩා අඩු වාර ගණනකි. මලපහවලින් වැනසුණු කුටිය සෝදා පිරිසිදු කෙරුණේ ‍දෙවරක් පමණි. ඒ දෙවාරයේම ආරක්ෂකයකුගේ අධීක්ෂණය යටතේ තවත් රැඳවියකු විසින් වතුර බටයක් ආධාරයෙන් කුටිය සෝදනු ලැබු අතර ආරක්ෂකයාගේ ඇස් වසා ගත තෙමා ගැනීමට ඇබග්නේල් ඒ අවසරයෙන් සමත් විය. මේ හැර අන් නෑමක් හෝ ඇඟ සේදීමක් ඇබග්නේල්ට ලැබුණේ නැත.

හිසකෙස් හෝ රැවුල කැපීමටද පුළුවන්කමක් නොතිබුණු ඇබග්නේල්ගේ පෙනුම වැද්දකුගේ සිරි ගත්තේය. උපතින්ම කෙස් වර්ධනය වීමේ වැඩි නැඹුරුවකින් යුතු ශරීරයකට හිමිකම් කී ඇබග්නේල්ගේ කෙස් උරහිසෙන් පහළටත්, රැවුල පපුවෙන් පහළටත් වැඩිණි. ඒවා අවුල්වී ගැටගැසී තිබුණේ ඔහුගේම මලමූත්‍රවලින් හොඳහැටි ස්නේහනය වීමේ ප්‍රතිඵලයක් ලෙසයි. නමුත් රූපය ගැන හැඟීමක් හෝ දැනීමක් එම කාලයේදී ඔහුට තිබුණේ නැත. අනෙක් අතට මලපහවලින් තමාවම අපිරිසුදු නොකරගෙන සිටීමට පුළුවන් කමක් තිබුණේද නැත. උකුණන්, මැක්කන් ඇතුළු එම අඳුරු කුටියට ඇතුළුවීමට තරම් කුඩා ශරීර ප්‍රමාණයෙන් යුතු අනෙක් සෑම කෘමියකුමත් ඇබග්නේල්ගේ ශරීරය තම නිවහන කර ගත්හ. ඔහුගේ රැවුල හා කෙස් වැටිය එබඳු කෘමීන්ට කදිම සුව යහනක් විය.

කෙටි කලකින්ම ඇබග්නේල්ගේ සිරුර බිය උපදවන ආකාරයේ වණයක් බවට පත්වූයේ නොකඩවා කැසීමෙන් හටගත් තුවාල කුටියේ අපද්‍රව්‍යය හේතුවෙන් තවදුරටත් ආසාදනය වීමෙනි. ඔහුගේ සිරුර නා නා විධ බැක්ටීරියාවන් රෝපණය කළ සජීවි දීසියක් බඳුවිය. මී ගුලක් බඳු ඇහිරුණු කුඩා කුටිය තුළ කෑලි කැපිය හැකි අඳුරේ අතපය දිගහැර හිරි ඇරීමට ගත් උත්සහයන්හිදි බිත්තිවල හා වහලයේ වැඳීමෙන් සිදුවු තුවාලද සිරුරේ සෙසු කෘමි ආසාදන ගොන්නටම එකතු විය.

පෙපිග්නන්හිදි ලැබුණු ආහාර වේල්වල ගුණාත්මකභාවය ප්‍රමාණවත් වූයේ ඇබග්නේල් යාන්තම් නොමරා තැබීමට පමණි. සිරගත වන විට රාත්තල් දෙසිය දහයක ශරීර බරක් ඇතිව සිටි ඇබග්නේල් බලා සිටියදී වැහැරී ගිය අතර, සති කිහිපයකින් ඔහුට තම බාහුවේ උඩු කොටස දෑඟිලිවලින් වට කිරීමට හැකියාව ලැබිණි. නමුත් මෙම අවසනාවන්ත ඛේදනීය ඉරණමට ගොදුරුවෝ තවත් සිටින බව ඇබග්නේල්ට අවබෝධ විය. පෙපිග්නන්හි යකඩ දොරටුවලින් සිරකොට මුද්‍රා තැබු බොහෝ කුටිවල සිටින්නේ තමා වැනිම කාලකණ්ණි දඬුවමකට යටත්වූ අවාසනාවන්තයින් පිරිසක් බව ඇබග්නේල් දැන ගත්තේ නොයෙක්වර එම කොරිඩෝව සිසාරා හමා ගිය දුක් අඳෝනා වැළපිලිවල හඬිනි. යාබද කුටිවල සිරකරුවන්ට එකිනෙකා සමඟ කතා කිරීමට තරම් බිත්ති ඝණකම් වැඩිවුවද, කුටිවල සිටින්නන් වේදනාවෙන් හා උමතුවෙන් මෙන් කළ මුරගෑම්, වැළපීම්, ශාප කිරීම් නිසා මෙම බන්ධනාගාරයේ තනිවී සිටින්නේ තමා පමණක් නොවන බව දැන ගැනීමට ලැබීම ඇබග්නේල්ට යම් සහනයක් ගෙනාවේය. ඒ ඇතැම් මුරගෑම් දරාගත නොහැකි වේදනාවෙන් හා ශෝකයෙන් කළ ඒවා වූ අතර තවත් ඇතැම්වා දරාගත නොහැකි කෝපයෙන් හා ද්වේශයෙන් කළ පළිගැනීමේ තර්ජන විය.

වැඩිකල් නොගොස්ම ඇබග්නේල්ට වැටහුණේ එලෙස ඇසෙන ඇතැම් මුරගෑම් තමාගේම බවය. ඔහුත් නොදැනුවත්වම තනිකමත් මිනිස් කටහඬක් ඇසීමට ඇති දැඩි අවශ්‍යතාවත් නිසා ඔහු තනිවම කතා කිරීමට පටන් ගෙන තිබිණි. තමා උමතුවී ඇති දැයි ඇබග්නේල්ට බියක්ද දැණිනි. කුටියේ දොර අසල හිට ගෙන ආරක්ෂකයන්ට තමාට මනුෂ්‍යයකුට මෙන් සලකන ලෙස අයදිමින් ඇබග්නේල් කෑගැසුවේ, ශාප කළේ කාලකණ්නිකම දරාගත නොහැකි වූ බැවිනි. උමතුවෙන් කරන මෙබඳු අඳෝනා අසා පුරුදු ආරක්ෂකයෝ සියල්ල නෑසු කන්ව සිටිමට තරම් සැහැසි වූහ. කෝපය හා අසහනය දරාගත නොහැකි විටක ඇබග්නේල් තම වැසිකිළි පනිට්ටුව පවා බිත්තිවලට දමා ගැසුවේ එහි අපද්‍රව්‍ය කුටිය පුරා විසුරුවා හරිමිනි. තමා මිය යන්නේ නම් යෙහෙකැයි ඔහුට සිතුණු වාර අනන්තය.

පෙපිග්නන් හි සිටින සිරකරුවන් බොහෝදෙනකු මෙම අමානූෂික හුදකලාව හා සැලකුම නිසාවෙන් උමතු වී ඇති බවට ඇබග්නේල්ට සැකයක් නොවීය. සති කිහිපයකින් සැබෑව හා මනෝලෝකය එකිනෙකින වෙන්කර හඳුනාගැනීමේ හැකියාව ඇබග්නේල් වෙතින් පළා ගියේය. ඔහු විවිධ මනෝලෝකවලත්, අතීත මතකවලත් සැරිසැරීමට පටන්ගෙන තිබුණේ එය ඇත්තක්ද බොරුවක්ද කියා වටහාගැනීමේ හැකියාව අහිමිව යද්දීය. වරෙක ඔහුට සිතුණේ තම ගුවන් නියමු කාර්ය මණ්ඩලය සමඟ රෝයල් ගාර්ඩ්න් අවන්හලේ විනෝද වෙමින් දිව පිනවන රස මසවුළු බුදිමින් සිටින බවකි. තවත් විටක ඔහු බ්‍රේවා වෙරළතීරයේ රන්පැහැ වැලි මතින් ඇවිද යමින් සිටියේ මොනික් සමඟ අතැගිලි පටලවා ගනිමිනි.

කාලය ගෙවී යත්දි ඇබග්නේල් එබඳු මනෝලෝකවල කරක් ගැසීම පුරුද්දක් ලෙස ඕනෑකමින්ම කරන්නට පටන් ගත්තේ තමාගේම යහපත ගැන සිතාය.හුදෙකලාවත් සමඟ උමතුභාවයට පත්වීමෙන් වැළකී සිටීමට ඔහු තමා සතු ඒ අසමසම පරිකල්පන හැකියාව ප්‍රයෝජනයට ගත්තේ විවිධ විසිතුරු අවස්ථා සිතින් මවාගනිමිනි. තමා මනෝලෝකවල සැරිසරන්නේ නම් එය වික්‍රමාන්විත ජවනිකාවන් සේ මනාව සැලසුම්කොට කළ යුතු බව තීරණය කළ ඇබග්නේල් තමාගේම විසිතුරු සිහින නිර්මාණය කොට ඒවා රඟ දක්වන්නට පටන් ගත්තේය. තමා වර්තමානයේ අත්විඳිමින් සිටින කටුක ඉරණම කරා තමා මෙහෙය වූ ඒ මහා වංචාකාරී මගඩි සැලසුම් කිරීමට යොදාගත් අද්විතීය පරිකල්පන ශක්තියම දැන් ඔහු සිරමැදිරිය තුළ තම දිවි රැක ගැනීමට යෙදවීය. පසුකලෙක ඇබග්නේල් කියා තිබුණේ එලෙස සැලසුම් සහගත මනෝලෝකවල ජීවත් නොවුවා නම් සිරකුටිය තුළම උන්මන්තකයකු ලෙස තමා මිය යන්නට හොඳටම ඉඩ තිබූ බවයි.

විටෙක ඔහු තමාගේම ගුවන් යානයක කපිතන් විය. මලපහ පිරුණු අඳුරු බිම්ගෙය, සුන්දර ගුවන් සේවිකාවන්ගෙන් හා උද්යෝගීමත් මඟීන්ගෙන් පිරීගිය ගුවන් යානයක් ලෙස උපකල්පනය කරමින් ඇබග්නේල් එය ගුවන්ගතකොට පදවාගෙන යන්නේ ගොඩබිම පාලන මැදිරිය සමඟ සම්බන්ධතාවද මනාව පවත්වා ගනිමිනි. ඇතැම් විටක ඔහු මයික්‍රෙෆෝනයකින් මගින් අමතන ආකාරයක් රඟ දක්වයි.

“නෝනාවරුනි, මහත්වරුනි දැන් මේ ඔබ අමතන්නේ කපිතාන්වරයායි. ඇබග්නේල් එයාර්ලයිනිස්හි බෝයිං 707 ගුවන් යානයට ඔබ සියල්ලන්ම උණුසුමින් පිළිගන්නවා. අපි මේ ගමන් කරමින් සිටින්නේ සියැටෙල් සිට ඩෙන්වර් දක්වායි. ගමන පුරාම යහපත් කාලගුණයක් පැවතියොත් මේ වේගයෙන්ම අපිට පියාසර කරන්න පුළුවන්. යානයේ ඔය දකුණු පැත්තේ අසුන්ගෙන ඉන්න නෝනාවරුන්ට මහත්වරුන්ට කවුළුවෙන් පිටත බැලුවොත් සුන්දර මවුන්ට් රේනියර් කඳුවැටිය දැක ගන්න පුළුවන්. අඩි 14,410 ක් උස මවුන්ට් රේනියර් තමයි වොෂින්ටනයේ තියෙන උසම කඳු. "

ඇතැම් විටක ඇබග්නේල් කූණාටු අතරින් හා කාර්මික දෝෂ මධ්‍යයේ වුවද යානය පදවාගෙන යාමට සමත් වන්නේ මගීන්, විශේෂයෙන්ම සුන්දර ලලනාවන් අතර වීරයකු බවට පත් වෙමිනි. තවත් විටෙක ඔහු සංචාරක බස්රථ රියැදුරක් බවට පත්වෙයි. නිව්යෝක්, සැන් ඇන්ටෝනියෝ, නිව් ඕර්ලියන්ස්, රෝමය වැනි නගර අතරින් සංචාරකයන් රැගත් බස්රිය පදවාගෙන යන අතරවාරයේ පසුකරන සුන්දර ස්ථාන ගැන හේ කදිම විස්තර කථනයක්ද ලබා දෙයි.

“ ඔය වම් පැත්තේ දකින්න ලැබෙන මහා මන්දිරය නෝනාවරුනි, මහත්වරුනි, අයිති ජේ. පී. ග්‍රීන්ස්ටෆ්ටයි. ඔහු මේ නගරයේ එක් නිර්මාතෘවරයෙක්. එයාගේ ජීවිත කාලෙම එක එකා මාර්ගවලින් හුඟක් මුදල් හම්බ කළා. කොච්චර හම්බ කළා ද කියනවා නම් අද එයා ඉන්නේ ෆෙඩරල් බන්ධනාගාරයේ.“

සිය විසිතුරු මනෝලෝකවලදී ඇබග්නේල් තමාට අවශ්‍ය ඕනෑම චරිතයකට පරිවර්තනය වූයේ අත්අඩංගුවට පත්වීමට පෙර ගත කරමින් සිටි වගකීම් විරහිත විනෝදකාමී ජිවිතයේදී මෙනි. වරෙක ඔහු ජනපතිවරයාව තීරණාත්මක සැත්කමකට ලක්කොට දිවි ගලවා ගන්නා සුප්‍රකට ශල්‍ය වෛද්‍යවරයෙකි. තවත් විටෙක නොබෙල් සම්මානයෙන් පිදුම් ලබන මහා ගත්කතුවරයෙකි. ඔස්කාර් සම්මාන දෝත දරාගත් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. ජිවීත බේරා ගන්නා කඳු නඟින්නෙකි. බේකරි හිමියෙකි. රතු ඉන්දියානු නායකයෙකි නැතහොත්, උපායෙහි අසමසම හැකියාවෙන් යුතු හොරෙකි. ඒ සියලුම රඟපෑම් අතර අතීතයේදී නොයක් සුරූපිණියන් සමඟ පෙම්සුව විඳි ආකාරය යළි යළිත් සිහිපත් කොට සිත සනසා ගැනීමටද හේ අමතක නොකළේය.

නමුත් ඒ සෑම ජවනිකාවක්ම අවසානයේදී වේදිකාවේ තිරය පහත් කළ යුතු විය. ඒත් සමඟ ඇබග්නේල්ට යළි පෙපිග්නන් අඳුරු බිම්ගෙයිහි යථා ලෝකය වෙත අවතීර්ණ වීමට ඒ හොඳ සිහි බුද්ධියෙනි. තමා මෙතෙක් වේලා සැරිසරමින් සිටියේ මනංකල්පිත සිහින ලෝකයක බැව් ඇබ්ග්නේල් දැන සිටියේය. දිනක් පෙපිග්නන් වෙත පැමිණි පසු එතෙක් සිදුනොවු ආකාරයේ පුදුමයකට ඇබග්නේල් මුහුණ දුන්නේය.

ෆ්‍රෑන්ක් ඇබග්නේල් විසින් රචිත Catch Me If You Can කෘතිය සහ අන්තර්ජාල තොරතුරු ඇසුරෙනි

සිංහල කළේ
රුක්ලන්ති පෙරේරා

හෙට : කවුළුවෙන් වැටුණු ආලෝකය

නව අදහස දක්වන්න