මගේ කතාවල හිස් මනෝභාව නෑ | දිනමිණ

මගේ කතාවල හිස් මනෝභාව නෑ

රංජිත් ගුණරත්න

විදේශ සේවයේ උසස් තානාන්තර දරන නමුදු, ඔහුට සිය මවුබස අමතක වූයේ නැත. මවුබසින් ලේඛන කලාවේ නිරත වීම අමතක කර දැමුවේ ද නැත. 'ජපානයේ ද්විතීය උසස් විද්‍යාලයීය සිසුවියකගේ ජීවන තොරතුරු', 'ජපානයේ ප්‍රාථමික විද්‍යාලීය සිසුවියකගේ දිවිය', 'ලී ක්වාන් යූ ගේ සිංගප්පූරු කථාව' වැනි පරිවර්තන කෘති ද, 'සකුරා මල්', 'දෙවියන්ට අමතක වූ අය', 'Dreams',' Nothing Grows Under Banniyan Tree(Contribution) නමැති කෙටිකතා ද, අහස හරි දුරයි නවකතාව ද රචනා කළ ඔහු, 'තානාපතිවරයකුගේ දිනපොතින්' නමැති තීරු ලිපි සංග්‍රහය සමඟින්, මෙවර පාඨක අභිමුවට පැමිණ ඇත. මේ එම කෘතිය පිළිබඳ රංජිත් ගුණරත්න සමඟ කළ කතාබහකි.

ඔබ තීරු ලිපිය අර්ථ දක්වන්නේ කොහොමද?

තීරු ලිපියකින් කෙරෙන්නේ, කෙනකුගේ අත්දැකීමක් හෝ කාලීන තේමාවක් ඔස්සේ කෙරෙන සාකච්ඡාවක්, සුඛනම්‍ය භාෂාවකින්, නිර්මාණශීලි ආකාරයට හා අව්‍යාජව, ප්‍රස්තූත විෂයට ගැළපෙන දෘෂ්ටිකෝණයකින්, කෙටි ආඛ්‍යනයක් විදිහට, ඉතා සංයමයකින් යුතුව, පාඨකයා වෙත ප්‍රක්ෂේපණය කිරීමයි. තීරු ලිපියක් මඟින් සමාජය තුළ මතයක් ගොඩනංවන්න ලේඛකයා උත්සාහ දරනවා. මේ ලක්ෂණ හේතු කරගෙන, තීරු ලිපි පාඨකයාට වඩාත් සමීප වීමක් දකින්නට පුළුවන්. මේ කෘතියේ අඩංගු කතා ඉදිරිපත් කිරීමට භාවිත කළේ, ඉහත කියූ ආකාරයේ ශිල්පීය ක්‍රමයි.

මේ කෘතිය තුළ අන්තර්ගත තීරු ලිපි, මීට ප්‍රථම පුවත්පතක පළවු ඒවා. වරක් ප්‍රකාශයට පත්වූ දෙයක්, නැවත පළ කිරීමේ අවශ්‍යතාව ඔබ අර්ථ දක්වන්නේ කොහොමද?

හැමදෙනා ම පුවත්පත් කියවන්නේ නැහැ. කෙනෙක් පසු කාලයක දී පරිශීලනය කිරීම පිණිස පුවත්පත් එකතු කරන්නේ නැති තරම්. එහෙත්, පොත් එකතු කිරීම සමාජයේ දක්නට ලැබෙන්නක්. මේ නිසා, කෘතියක් ප්‍රකාශයට පත් කිරීම මඟින්, යම් කිසි ලේඛනයක් කාලයක් තිස්සේ පරිහරණය කිරීමට අවස්ථාව සැලසෙනවා. ඒ වගේ ම, ග්‍රන්ථයක් විදිහට තියෙනකොට, තීරු ලිපි පෙළ කෙනකුට නොකඩවා කියවන්නත් පුළුවන්. වඩාත් වැදගත් කරුණ වෙන්නේ, මේ කතා, තරුණ පරපුර අතට පත් කිරීමෙන්, ඔවුන්ට සම්මතයෙන් පරිබාහිරව සිතන්නට පෙලඹ වීමයි. මේ කෘතියේ එන බොහෝ කතා කියවූ පසු, කෙනකුට නැවත නැවතත් සිතන්නට යමක් ඉතිරි කරනවා. මේ නිසා, මේ කතා පෙළ කෘතියක් වශයෙන් එළිදැක්වීමට කටයුතු කළා.

තානාපති සේවයේ යෙදී සිටිය දී ඔබ ලත් අත්දැකීම් ඇසුරින් මේ කෘතිය රචනා වී තිබෙන්නෙ. එම විරල අත්දැකීම් පාඨකයාට වැදගත් වෙන්නේ කොහොමද?

මෙහි සඳහන් වෙන්නේ, ටයි-කෝට් ඇඳගෙන, බෙන්ස් කාර්වල නැගලා, සාදවලට ගිහින් තමන්ට නැති පුරාජේරුවක් බලෙන් ආරෝපණය කරගෙන, හිස් වදන් දොඩන, තුන්වැනි ලෝකයේ හිස් මිනිසුන්ගේ මනෝභාව නෙමෙයි. තුන්වැනි ලෝකයේ තානාපති නිලධාරියකු, තමන්ගේ වෘත්තීය ජීවිතයේ දී බටහිර ලිබරල්වාදය, මැදපෙරදිග මූලධර්මවාදයට බර චින්තනය හා ආසියානු චින්තනය විනිවිද අත්දුටු විවිධ අත්දැකීම් සමූහයක්, මේ මඟින් සාකච්ඡා කෙරෙනවා. ඒ අතර මම ඇසුරු කළ කුඩා මිනිසුන්, හමුවූ ශ්‍රේෂ්ඨ නායකයන් වගේ ම, මා හා ගනුදෙනු කළ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිළිබඳ බුද්ධිමය විවරණයක යෙදෙනවා. සමහර අත්දැකීම් හරහා පුහු මිනිසුන්ගේ හරසුන් අදහස් පිළිකෙව් කරන අතරෙම, අපූර්ව රාජ්‍යතාන්ත්‍රිකයන් හා රාජ්‍ය නායකයන්ගේ අදහස් ගෞරවයෙන් යුතුව අගය කරනවා. විශේෂයෙන් ම මැදපෙරදිග ගෘහ සේවයට කොටු වූ ශ්‍රී ලාංකේය කාන්තාවන් ගෙන යන කටුක අරගලය හා ඔවුන් අනුදකින ලෝකය, ලේඛකයෙක් වශයෙන් මගේ භූමිකාව තුළ හිඳිමින්, මානුෂික බවකින් විවරණය කරන්නට මම උත්සාහ කළා. කවුරුන් හෝ ඔවුන් ගැන කතා කළ යුතුයි. අප ඔවුන්ගේ ගැටලූ නොදැක්කා සේ සිටීම, එම ශ්‍රී ලාංකිකේයයන්ට කරන බලවත් අසාධාරණයක්. මේ සියලූ කරුණූවලට අනුව, මේ කෘතිය පාඨකයාට නව්‍ය අත්දැකීමක් වේවි.

විදේශ සේවයේ නිලධාරියෙක් තම අත්දැකීම් ශ්‍රී ලාංකේය පාඨකයන් සමඟ බෙදා ගන්නා පළමු අවස්ථාව මේ කෘතිය කියායි මම හිතන්නේ. ඒ පිළිබඳ කතා කළොත්?

සාමාන්‍යයෙන් තානාපති සේවයේ නිලධාරීන්, තමන්ගේ අත්දැකීම් අන් අය සමඟ බෙදා හදා ගන්නේ නැති තරම්. එක් පැත්තකින් ඔවුන්ට එසේ බෙදා හදා ගන්නට තරම් රසවත් හා අර්ථවත් අත්දැකීම් අල්ප වීම මීට හේතු විය හැකියි. අනෙක තමන්ගේ වෘත්තිය හා බැඳුණු සිදුවීම්, ඉතා සියුම් ලෙස විග්‍රහ කරලා, විශ්ලේෂණය කිරීමේ හැකියාවක් කෙනෙක් තුළ තිබිය යුතුයි. ශ්‍රී ලංකාවේ සිටින බහුතරයක්, තානාපති සේවය ගැන එතරම් තොරතුරු දන්නේ නැහැ. විශේෂයෙන් ම මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකේයයන්, තානාපති කාර්යාලවල සමහර අයගේ අඩුපාඩු නිසා, තානාපති සේවය දකින්නේ යහපත් දෘෂ්ටිකෝණයකින් නෙමෙයි. මේ නිසා, මේ වෘත්තිය පිළිබඳ මහජනතාව තුළ තියෙන්නේ වඩාත් පැහැදිළි හා ළගන්නාසුළු චිත්‍රයක් නෙමෙයි. ශ්‍රී ලංකාවේ පොදු මහජනතාවගෙන් තරමක් ඈත්ව ඇති වෘත්තියක අත්දැකීම් ජනතාවට සමීප කරවීමෙන්, එක් පැත්තකින් විදේශ සේවය පිළිබඳ ඇති බොහෝ දුර්මත නිශේධනය කරන්න හැකි වෙනවා වගේ ම, අනෙක් පැත්තෙන් තානාපති නිලධාරියකුගේ වෘත්තීමය කාර්යභාරයේ ඇති වැදගත්කම, අවදානම හා විශේෂත්වය හෙළි දැක්වීමක් සිදු වෙනවා. මේ කෘතිය පුරා විදහා දක්වන්නේ, අපේ සමාජය, තානාපති සේවය හා දේශපාලඥයන් තුළ නිරායාසයෙන්ම තිබිය යුතු ගුණාංග සමූහක් පිළිබඳ අර්ථාන්විත විවරණයක්. මෙය ලෝකයේ අප නොදකින පැතිකඩක්, වෙනත් තලයක් ඔස්සේ ප්‍රතිනිර්මාණය කර ඇති කෘතියක්.

'තානාපතිවරයෙකුගේ දිනපොතින්' කිව්ව­ාම පාඨකයකුට හැඟෙන්නේ දිනපොත් ආකෘතියක්. ඒත්, මේ කෘතිය එවන් ආකෘතියක පිහිටා ලියූවක් නෙමෙයි.මේ පිළිබඳ කතා කළොත්?

වෙනත් රටවල ලේඛකයන් දිනපොත් ආකෘතියෙන් හා දිනපොත්වලින් උපුටා ගත් තොරතුරු මත ග්‍රන්ථ සම්පාදනය කර තිබෙනවා. මගේ කෘතියට 'තානාපතිවරයකුගේ දිනපොතින්' යන නාමය යෙදුවේ, එහි අඩංගු කතා, යම් කාල පරාසයක් ඔස්සේ ගලා ගිය සිදුවීම් ආශ්‍රිතව නිර්මාණය කරන ලද ඒවා වන නිසයි. ඒ වගේ ම, මම කලක් තිස්සේ ඇසුරු කළ අත්දැකීම් නිසයි. අනෙක මේ යෙදුම හරහා යම් කිසි සංකල්පනාත්මක ආකෘතියක් ගොඩ නගන්නට මම උත්සාහ කළා වගේ ම, කියවන්නා තුළ යම් කුතුහලක් ඇති කරන්නටත් මට අවශ්‍ය වුණා. එය සාර්ථක වුණා කියලයි මං හිතන්නේ.

මෙහි එන අත්දැකීම් එකකට එකක් වෙනස්. විදේශ සේවයේ කාර්යබහුලත්වය සමඟ අත්දැකීම් සමුදායක් කැටිකොට ලිවීමට ඔබ කාලය සොයා ගන්නේ කොහොමද? ඒවා මතකයෙන් දුරස් නොවී තබා ගත්තේ කොහොමද?

මම ඉතා ක්‍රමානුකූලව කාලය කළමනාකරණය කර ගන්නා කෙනෙක්. අල්ලාප සල්ලාප වෙනුවෙන් කාලය ගත කරන්නේ ම නැහැ. අනික මගේ නින්ද පැය හයකට සීමා කරලයි තියෙන්නේ. මම අද කළ යුතු දේ හෙටට කල් දාන්නේ නැහැ. මේ නිසා, මගේ රාජකාරී ජීවිතය ඉතා යහපත් විදිහට ගත කරන්න මට හැකිවෙලා තිබෙනවා. පවුලේ කටයුතුවලට පමණක් නෙමෙයි, සංගීතය ප්‍රගුණ කරන්න, ව්‍යායාම කරන්න, පොත පත පරිශීලනය කරන්න හා චිත්‍රපටයක් නැරැඹීමට මට කාලයක් තියෙනවා. බොහෝ දිනෙක මම උදෑසන පහට පමණ ඇවිදින්න යනවා. මේ පරිසරය තුළ ලේඛන කලාවට ඉඩක් වෙන් කරලයි තියෙන්නේ. ජීවිතය කාර්ය බහුල වීම, කෙනකුගේ මනස හා ශරීරය යහපත්ව තබා ගැනීමට ඉවහල් වෙනවා කියලයි මම විශ්වාස කරන්නේ.

මම බොහෝ කාලයක් තිස්සේ මගේ එදිනෙදා අත්දැකීම් සටහන් වශයෙන් තබා ගන්නවා. ඒ වගේම, සමහර සිදුවීම් මගේ සිතේ කාලයක් තිස්සේ දැඩිව සටහන් වී තිබෙනවා. මනස නිරවුල්ව තබා ගැනීම තුළ බොහෝ දේ මතකයේ ගබඩා කර තැබිය හැකියි. මෙහි අන්තර්ගත අත්දැකීම් එනෙකට වෙනස් බව සත්‍යයක්. එහෙම වෙලා තියෙන්නේ, මම අන් අයට වඩා මගේ වෘත්තීය ජීවිතයේ දී සම්ප්‍රදායක රාමුවෙන් තරමක් පරිබාහිරව කටයුතු කරන නිසයි.

මේ කෘතිය මඟින් පෙන්වා දෙන්නේ, තානාපති සේවය උපායශූර ගනුදෙනුවක් බවද?

තානාපති සේවය, නීති රීති හෝ සම්මුති ඔස්සේ පමණක් කළ හැකි ගනුදෙනුවක් නෙමෙයි. අනෙක යුද්ධයක දී වගේ ආයුධ බලයෙන් තමන්ගේ අදහස අනිත් පාර්ශ්වය වෙත බලහත්කාරයෙන් ආරෝපණය කිරීමකුත් නෙමෙයි. මේ රාජකාරිය තුළ ඇති පමණට නැමියාවක්, සුදුසු පමණ දැඩි බවක්, තැනට ඔබින අකාරයේ සුහදත්වයක් හා වෘත්තීමය හුරුබුහුටිකමක් තිබිය යුතුයි. තානාපති නිලධාරියෙක් වුණහම, නිරන්තරයෙන් ම නව දැනුමින් සන්නද්ධව සිටිය යුතුමයි. ඒ වගේ ම, තානාපති සේවය කියන්නේ, යුද්ධයට ආදේශකයක්. අනෙක කෘතහස්ත රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙක්, යමක් නොකියා සිටින්නට දෙපාරක් සිතනවා. ඒ ආකාරයට බැලුවහම, මේ කෘතියේ සමස්තය තුළ මේ ගනුදෙනුවේ යථා ස්වරූපය, විවිධ ස්ථර තුළ, විවිධ මාන ඔස්සේ සාකච්ඡා වෙනවා. ඒ මඟින් අප ගමන් කළ යුතු මාර්ගය ගැන සියුම් ඉඟි පළ කරනවා කිව්වොත් වඩාත් ම සුදුසුයි.

ඔබ මේ කෘතිය මඟින් වෙනත් රටවල, ආයතනවල කාර්යක්ෂම බව පිළිබඳ පවසනවා. උදාහරණයක් විදිහට බයිසිකල් ලයිසන් කතාව ගත්තොත්, ඒ කටයුතු සිදුවන ආකාරය පිළිබඳ අපට හිතන්නවත් බැහැ. ඒ තරමටම ඔවුන් කාර්යක්ෂමයි. මෙවැනි ශූර කටයුතු, අපේ රටවලට යොදා ගැනීමට හැකිවෙලා නැත්තේ ඇයි?

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක්, කුසගිනි වෙලාව අමතක නොකර යමක් අනුභව කරනවා. තමන්ගේ වැඩක් අතපසු කරන්නේ කලාතුරකින්. ඒ වුණත්, තමන්ගේ නොවන කටයුත්තක දී මේ තත්ත්වය වෙනස්. ඒ සඳහා පුද්ගලයාගේ ආකල්ප හා සිතුම් පැතුම් වගේ ම, ජීවන අත්දැකීම් බලපානවා. ඔහු ඒවා උකහා ගන්නේ සමාජයෙන්. එහෙත්, සමාජය තුළ හික්මීමක් හා විනයක් නැතිනම්, අර පුද්ගලයා වල් වැදෙනවා. එවන් සමාජයක් නිතර ම අස්ථාවරයි. මේ අනුව කඩා වැටීම හා පිරිහීම අප සමාජයේ සෑම ස්ථරයක ම දකින්නට පුළුවන් සංසිද්ධියක්. මෙය ඉහළ ඉඳන් පහළට යොදන දැඩි, එහෙත්, ධනාත්මක බලයක් ඔස්සේ වෙනස් කළ හැකියි. අනෙක අපේ රටේ බොහෝ දෙනෙක් නීති රීති අර්ථකථනය කරන්නේ, යමක් නොකරන අයට වාසි දායක විදිහටයි. මේ නිසා, රජයේ කාර්යාලයකට යන අයෙක් අතරමං වෙනවා. අවසානයේ එම පුද්ගලයා තම කාරිය කර ගැනීමට වෙනත් ක්‍රමවල පිහිට සොයනවා. ඒ මඟින් සංකීර්ණ ගැටලූ පැන නගිනවා. අපේ කාර්යාලවල සේවය කරන බොහෝ දෙනෙක්, යමක් කිරීමට වඩා නොකිරීම මඟින් කාලකන්නි සතුටක් ලබනවා. මේ දුර්වලකම් නොවන්නට, අපටත් කාර්යක්ෂම ජාතියක් වන්නට කිසිදු බාධාවක් නැහැ. නීති රීති තිබුණට මදි, ඒවා හරියට ක්‍රියාත්මක වීමත්, පිළිපැදීමත් එක සේ වැදගත්.

ඔබ මීට පෙර 'ලී ක්වාන් යූගේ සිංගප්පූරු කථාව' කළා. ඒ මඟින් සිංගප්පූරුව දියුණුව කරා ගිය හැටි පිළිබඳ අති සාර්ථකව කතා කෙරෙනවා. 'තානාපතිවරයකුගේ දිනපොත' මඟින් තව දුරටත් ලෝකයේ විවිධ මිනිසුන් දියුණුව කරා පියමනින ආකාරය පවසනවා. මේ පිළිබඳ ඔබේ අදහස මොකක්ද?

දියුණුව කියන එක රටේ භෞතික සම්පත් වැඩිවීම හෝ මිනිසුන් අතර සැරිසරන මුදල් ප්‍රමාණය හෝ අන්තර් ජාලයට සම්බන්ධ සංඛ්‍යාව වැනි නිර්නායක ඔස්සේ මනින්න බැහැ. මුදල් හදල්, පෙනුමෙන් හා දැනුමින් මිනිසුන් අතර පරතරයක් තිබුණත්, රටක දියුණුව සැබෑවට දකින්න පුළුවන් වෙන්නේ, හැදියාව හා සමානාත්මතාව යන මානවලින් බැලුවහම, ඔවුන් අතර පරතරයක් නොතිබෙන නිසයි. රටක චින්තන විප්ලවයක් ඇති වෙන්නේ, මේ සමානාත්මතාව අගයන, මනා හැදියාවකින් හා විනයකින් යුත් මිනිසුන් ගැවසෙන විටයි. එවන් වටාපිටාවක දියුණූව සොයා යන්නට මාර්ග ඇති තරම් විවර වෙනවා. මේ තත්ත්වය ඇති කිරීමට සිංගප්පූරුවේ නායකයෝ මුල් අවදියේ ඉඳන් ම ක්‍රමානුකූල සැලැස්මකට අනුව කටයුතු කළා. ඔවුන් බටහිර චින්තනයට වඩා, ආසියානු චින්තනය තමන්ගේ පදනම වශයෙන් භාවිත කළා. ඔවුන් සංවර්ධනය වෙනුවෙන් බටහිර න්‍යාය හිඟාකෑවේ නැහැ. ඒ නිසා, තමන්ගේ රටට අනන්‍ය වූ ක්‍රමයක් හඳුනාගෙන කටයුතු කළා.

ඉදිරි සාහිත්‍යමය අපේක්ෂා මොනවාද?

දැනට ඉංග්‍රීසි කෙටිකතා පොතක් ලියා අවසන්. එය ජාත්‍යන්තරව එළි දක්වන්නට කටයුතු කරනවා. ඒ අතර ග්‍රන්ථයක් සම්පාදනය කිරීම පිණිස ශ්‍රී ලංකා ඩයස්පෝරාව ගැන අධ්‍යයනයක යෙදෙනවා. මෙය කාලීන අවශ්‍යතාවක්. තවම අප විසින් ශ්‍රී ලංකා ඩයස්පෝරාව නිවැරැදිව හඳුනා ගත් බවක් දකින්න නැහැ. ඔවුන් තුළ ඇති ශක්තිය ධනාත්මකව යොදා ගත හැකි අකාරය අප තේරුම් අරගෙන නැහැ. එය අඩුපාඩුවක්. ඒ වගේ ම, ශ්‍රී ලංකාව හා බාහිර ලෝකය අතර ඇති ජාත්‍යන්තර සම්බන්ධතා ගැන ග්‍රන්ථයක් රචනා කරමින් සිටිනවා. නිදහසින් පසු ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු ප්‍රමාණාත්මක අගැයීමකට ලක්වෙලා නැහැ. මේ නිසා, ලෝකයා සමඟ අප කරන ගනුදෙනු, පීල්ලෙන් පිට පනින අවස්ථා පෙනෙන්නට තිබෙනවා. වරක් මා මෙවන් කෘතියක් විද්වතුන් කීප දෙනෙක් සමඟ එකතුව සම්පාදනය කළත්, විෂම ගති ඇත්තෝ එම කෘතිය ගබ්සාවකට ලක් කළා. මම දැන් වෙනත් අකාරයකින් මේ විෂය ගැන කෘතියක් තනිව ලියන්න පටන් අරගෙන තිනෙවා. මේ කෘති කිහිපයේ කටයුතු අවසන් කිරීමට මට වසර කීපයක් ගතවේවි.

ඉරෝෂිණී දීපිකා


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...