විගණකාධිපතිට එරෙහිව විශ්වාසභංගයක් ගෙනෙනවා | දිනමිණ

විගණකාධිපතිට එරෙහිව විශ්වාසභංගයක් ගෙනෙනවා

අනුර ප්‍රේමලාල්

ගෙවුණු වසර තුනේ ආර්ථික විනාශයක් වුනු හැටි ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය කරුණු සහිතව පෙන්වා දුන්නා. පහුගිය වසර තුනේ මේ අය අනුගමනය කළ පංචවිධ ප‍්‍රතිපත්තිය වුනේ පළිගැනීම, බදුගැහීම, බොරු කීම, දූෂණය, විකිණීම යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

පැරැණියි කියන දේශපාලන පක්ෂ සියල්ල අභිබවමින් පොහොට්ටුව ජයගත් බව බන්දුල ගුණවර්ධන මහතා තවදුරටත් පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (13) පුංචි බොරැල්ල ශ්‍රීවජිරාශ‍්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

පෞද්ගලික අංශය තමයි රටක ආර්ථිකය හසුරුවන්නේ. මේ රජය පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින්ට එළවමින් පහරදුන්නේ දූෂිතයින් අයථා ලෙස ලාභ ලැබූවන් කියමින්. සුපිරි වාසි බද්ද කියලා අතීතයට බලපාන ආකාරයේ බද්දක් ගෙනත් ඔවුන්ගෙන් බිලියන 50ක් ආණ්ඩුව පික්පොකට් ගැහුවා. මත්තල ගුවන් තොටුපළ විකුණන්නේ බිලියන 26ට. ඒ වගේ ගුවන් තොටුපළවල් දෙකක් හදන්න තිබුණා මේ සල්ලි වලින්. හොඳ ගෙවල්වල ඉන්න ව්‍යාපාරිකයින්ට මන්දිර බද්ද කියලා එකක් ගෙනාවත් කි‍්‍රයාත්මක කර ගන්න බැරි වුණා.

චීනයට, චීන ආයෝජකයින්ට, චීන රජයට බනිමින් නෙළුම් කුළුනේ ඉදිකිරීම්, කොළඹ වරායේ ඉදිකිරිම් නතර කළා. නොරොච්චෝලේ විදුලි බලාගාරය කඩාකප්පල් කරන්න උත්සාහ කළා. මේ විදියට තමයි පළිගැනීම් කළේ. දේශිය ආදායම් පනත මගින් දී තිබුණු සියලූ බදු සහන ඉවත් කළා.

මහින්ද යුගයේ ණය නිසා රට ගෙනියන්න බැහැ කියලා කතාවක් සමාජගත කරන්න උත්සාහ කළා. බැරිම තැන රජයේ විගණකාධිපතිවරයා ලවාත් මේ බොරුව කියෙව්වා.

මැතිවරණය ආසන්නයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ණය සම්බන්ධයෙන් අසත්‍ය අදහස් දක්වමින් සමාජය මුලා කිරීමට උත්සාහ කළ විගණකාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට පියවර ගන්නවා. ණය උගුලක රට හිරකිරීමේ කාර්යභාරය ගෙවුනු වසර තුනක සමයේ සිදුකළ මේ රජය එය මහින්ද රාජපක්ෂ රජය පිට පවරන්න යාම හේතුවෙන් 2018 ඇතිවන මූල්‍ය කඩාවැටීමේන් කිසිවෙකුට රට බේරා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවරණ සමයේ පුවත්පත් දැන්විමක් පළ කරමින් බැංකු බේරා ගැනීමට නම් ඔවුන්ට ඡන්දය දෙන්නැයි කීව්වා. ඡන්දෙට කළින් ජනාධිපතිතුමා කිව්වා එක්සත් ජාතික පක්ෂය ආර්ථිකය විනාශ කළා කියලා 10 වැනිදායින් පස්සේ මම භාර ගන්නවා කිව්වා. එතුමාට දැන් ඒ කරන්න පුළුවන්ද. දැන් එක්සත් ජාතික පක්ෂය වෙනම ගිහින් ගොඩනගනවාලූ.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර සිසිර ජයකොඩි මහතා-මේ ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් අපි නිතිපතා කියපු කාරණා ජනතාව මේ ඡන්දයේදී අනුමත කරලා තියෙනවා. ඒ නිසා දැන් ආණ්ඩුවට ජන බලයක් නැහැ. ස්ථාවර රජයක් නැහැ. ස්ථාවර නැති රජයක් තුල ආර්ථීකය ස්ථාවර වෙන්නේ නැහැ. 

නව අදහස දක්වන්න