බලාපොරොත්තු නොවූ ඡන්ද ප්‍රතිඵලය කුමක්ද ? | දිනමිණ

බලාපොරොත්තු නොවූ ඡන්ද ප්‍රතිඵලය කුමක්ද ?

නව පළාත් පාලන මැතිවරණ පනත යටතේ පැවැති පළමු පළාත් පාලන මැතිවරණය නිමාවට පත් වී ප්‍රතිළුල නිකුත් වී හමාරය. බොහෝ දෙනා බලාපොරොත්තු නොවු ජන්ද ප්‍රතිළුලයක් ලැබී තිබේ. පවතින රජයට එල්ල වුයේ රතු එළියකි.එය කොළ එළියක් බවට පත් කර ගත යුතුව තිබේ. ප්‍රථිළුලය සැපද? මෙම ප්‍රතිළුලයෙන් ගම්‍ය වන්නේ කුමක්ද? මේ දිනමිණ සිදු කළ වියත් මත විමසුමයි.


ජනතා ඉල්ලීම් වහා සොයා බැලිය යුතුයි
- කාන්තා හා මාධ්‍ය සාමූහිකය හිටපු අධ්‍යක්ෂිකා, කාන්තා ආර්ථික අයිතීන් හා මාධ්‍ය තාක්ෂණික උපදේශිකා ආචාර්ය සේපාලි කෝට්ටේගොඩ

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් මහජනතාවට පාලකයන්ට හොඳ පණිවුඩයක් ලබාදී තිබෙනවා. අවුරුදු තුනක් වත්මන් ආණ්ඩුව රට පාලනය කළා. මේ වගේ මැතිවරණ ප්‍රතිඵලයක් මහජනතාව ලබාදීමට එක් හේතුවක් පමණක් නොව හේතු කිහිපයක් බලපාන්නට ඇති කියා අපි හිතනවා. වත්මන් ආණ්ඩුව ඉදිරියට යන විට මේ ප්‍රතිඵලය ගැන හිතා ජනතාවගේ ඉල්ලීම් මොනවාද කියලා සලකා බලා කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම ප්‍රාදේශීය සභාවන්ට මන්ත්‍රීවරුන් තෝරා ගැනීමට පැවැති මැතිවරණයක්. මෙය මහ මැතිවරණයක් නොවන බව සැබැයි. නමුත් සලකා බැලිය යුතු ප්‍රතිඵලයක් ජනතාව ආණ්ඩුවට ලබා දී තිබෙනවා. පවතින ආණ්ඩුව තවදුරටත් ඉදිරියට යන විට ජනතාවගේ මේ තීරණය ගැන අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතුයි. මැතිවරණ ප්‍රතිඵලය ගැන කෙසේ වෙතත් අපිට එක් සතුටක් තිබෙනවා. මෙවර මැතිවරණයේදි වඩාත්ම වැදගත් දේ තමයි කාන්තාවන් 2000 කට පමණ ජනතා නියෝජිතයන් ලෙස පත්වීමට හැකි වීම. එය අගය කළ යුතු විශේෂ දෙයක්. ඓතිහාසික අවස්ථාවක්. වත්මන් යහපාලන ආණ්ඩුව යටතේ ප්‍රාදේශීය මට්ටමෙන් කාන්තාවන්ට අවස්ථාවක් ලබාදීම සතුටුයි. කාන්තා නියෝජනය සියයට 25 ක් තිබෙනවා. ප්‍රාදේශීය සභා පාලනය දැන් කාන්තාවන් සමග එක්ව සිදු කිරීමට පිරිමි පාර්ශ්වයට සිදු වෙනවා. මෙතෙක් කල් එම පාලනය පැවතුණේ පිරිමි පුද්ගලයන් සතුව. කාන්තාවන්ගෙන් ඉගෙන ගත යුතු බොහෝ දේවල් තිබෙනවා. බලය බෙදීම ගැනත් ඔවුන්ගෙන් ඉගෙන ගත හැකියි. බලය බෙදීම ගැන හොද අවබෝධයක් මෙවර කාන්තා නියෝජිතයින්ට තිබෙනවා. ප්‍රාදේශීය සභාව පාලනය ගෙන යා යුත්තේ කෙසේද කියන අවබෝධය කාන්තාවන්ට පවතිනවා. මෙවර පළාත් පාලන මැතිවරණයට කාන්තාවන් බහුතරයක් ඉදිරිපත් වුණේ එම අවබෝධය ඇතිව. එන්නන් වාලේ ආපු අය නොවේ. පුහුණුවීම්, දැනුවත් වීම් වලට සහභාගි වෙලා ලබාගත් අවබෝධය දැන් ඔවුන්ට පාවිච්චි කළ හැකියි. ප්‍රාදේශීය සභාවල කලින් තිබුණාට වඩා හොද ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් ඇති වන බවට අපට අපේක්ෂා කළ හැකියි. සියයට දෙකක්ව පැවැති කාන්තා නියෝජනය සියයට 25 ක් දක්වා ඉහළ දැමීම ගැන පැහැදිලි ලෙසම අප වත්මන් ආණ්ඩුවට ස්තුතිවන්ත විය යුතුයි.


ගමේ නියෝජිතයා යහපත් කල්ක්‍රියාවෙන් සිටිය යුතුයි
- කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ හිටපු මණ්ඩපාධිපති
ආචාර්ය ටියුඩර් වීරසිංහ

 පවතින ආණ්ඩුව පසුගිය වසර තුන පුරා ක්‍රියාත්මක කළ ආර්ථික, දේශපාලන, සංස්කෘතික වැඩසටහන් සම්බන්ධයෙන් ජනතා කැමැත්ත ප්‍රකාශ කිරීමක් ලෙස මේ මැතිවරණ ප්‍රතිඵලය දැක ගත හැකියි. පළාත් පාලන මැතිවරණය වුවත් ඉන් තේරී පත් වන මන්ත්‍රීවරුන්ගේ කල්ක්‍රියාව ගැන අපි හොද අවබෝධයකින් සිටිය යුතුයි. ගමට නියෝජිතයෙක් පත් කර ගැනීම මෙමගින් සිදු කරනවා. එසේ පත් කර ගැනීමේදි පත් වන නියෝජිතයා යහපත් කල්ක්‍රියාවෙන් යුක්ත විය යුතුයි. ප්‍රදේශයට වැඩක් කළ හැකි පුද්ගලයන් පත් කර ගැනීමට හැකි වීම මෙවර මැතිවරණයේ විශේෂත්වයක් වුණා.

ජනතාව පාලකයින්ට රතු සංඥාවක් නිකුත් කර තිබෙනවා. ආණ්ඩුව මේ ගැන සලකා බැලිය යුතුයි. තිස් වසරක යුද්ධයෙන් පසුව සාමකාමී වාතාවරණයක් දැන් ස්ථාපිත වෙලා තිබෙනවා.

ආර්ථික අමාරුකම් වලටත් වඩා ජාතිකවාදී දේශපාලනය කෙරෙහි ජනතාව අවධානය යොමු කර තිබෙනවා. යහපාලන ආණ්ඩුව ගෙන ගිය පාලනය ඔවුන්ගේ ප්‍රතිපත්තිවලට පරස්පරයි.

මැතිවරණය ආසන්නව පක්ෂ එල්ල කර ගත් වාග් ප්‍රහාර ද ජන විඥානය වෙනස් වීමට බලපෑමක් කළ හැකි සිතන්නට හැකියි. කෙසේ හෝ මේ සියලු සාධකවල බලපෑම් යටතේ ලැබුණු මෙවර මැතිවරණ ප්‍රතිඵල ගැන තවදුරටත් සිතා බලා කටයුතු කිරීමට ආණ්ඩුවට අවස්ථාවක් ලැබී තිබෙනවා.


ජනතා අවශ්‍යතාවන්ට රජයේ අවධානය යොමුවුණා මදි
- මහාචාර්ය කොලින් පීරිස්

රටක් දියුණු කරන විට පාලනාධිකාරිය විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. නමුත් ඒ කුමන වැඩසටහනක් ක්‍රියාත්මක කළත් මහජනතාවගේ කැමැත්තට, අවශ්‍යතාවන්ට අවධානය යොමු නොකරනවා නම් ඵලක් නැහැ. රජයේ ප්‍රධාන අවධානය යොමු කළ යුතු වන්නේ ජනතාව තෘප්තිමත් කිරීම සම්බන්ධවයි. උදාහරණයක් ලෙස ජනතාව පාන් කෑමට කැමතියි නම් අපි කළ යුතු වන්නේ පාන් කෑමට ඉඩ දීම මිස බත් ගුණයි කියා බත් කෑමට බල කිරීම නොවෙයි. මහජන මතයට ගරු කිරීම ආණ්ඩුවක් කරන විට ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. මෙවර මැතිවරණයෙන් ජනතාව ආණ්ඩුවට ලබා දී තිබෙන්නේ ලොකු පාඩමක්. මේ නිසා වත්මන් රජය ජනතාවගේ පැත්තෙන් සිතා විශාල වෙනසක් සහිතව ඉදිරි වසර දෙකහමාරක කාලය තුළ කටයුතු කළ යුතු වෙනවා. එමඟින් ගිලිහුණු ජනතා කැමැත්ත යළි ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

අපේ රටේ විශාල ණය බරක් තිබෙන බව කවුරුත් දන්නවා. ඒ ණය බර අතරේ රජය සෞඛ්‍යයට, අධ්‍යාපනයට විශාල ලෙස ප්‍රතිපාදන වෙන් කරනවා. මේ සියල්ල ඉතා බැරූරැම් කටයුතු. නමුත් ඒ සියල්ලත් අතරේ ජනතාවගේ අවශ්‍යතාවය ප්‍රධානත්වයෙහිලා සැලකිය යුතු බව මගේ හැඟීමයි.


රජයේ වැඩපිළිවෙළට ජනතා අකමැත්ත පළවෙලා
- කැලණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය අජිත් දිසානායක

මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන කණ්ඩායම් දෙකක් සිටිනවා. විශ්ව විද්‍යාල ආචාර්යවරයකු විදියට මම ඒ කණ්ඩායම් දෙක හඳුනා ගන්නේ රජය කරන කණ්ඩායම සහ රජය නොකරන කණ්ඩායම ලෙස. මේ අය තමන්ගේ මතයන් ජනතාව අතරට ගෙන ගියා. රජය කරන කණ්ඩායම ලෙස යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම සහ අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය විදියට රට තුළට තමන්ගේ මතයන් ගෙන ගියා.

හොරු ඇල්ලීම, වංචා දූෂණ, ණය බර ගැන ඒ අය කතා කළා. රටේ ආර්ථිකය කඩා වැටීම, සංවර්ධනයේ මන්දගාමී බව, රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකිරීම යනාදිය ගැන රජය නොකරන කණ්ඩායම කතා කළා.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ජනතා මතය විමසීමට අවුරුදු දෙක හමාරක් ප්‍රමාද වුණා. ප්‍රාදේශීය සභා, මහනගර සභා විසුරුවා මැතිවරණය පැවැත්වීමට රජය තීරණය කළා. මෛත්‍රී - රනිල් මහත්වරුන් රජයේ මතවාදය ජනතාව අතරට ගෙන ගියා. ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවට සමීප කරවීමට ඔවුන් කටයුතු කරනවා.

මැතිවරණ සිතියම දෙස බලන විට අපිට පෙනෙන දෙයක් තමයි උතුරු පළාතේ ඉලංගෙයි තමිල් අරසු කච්චු පක්ෂය ජය ගෙන තිබෙනවා. එම පක්ෂය නියෝජනය කරන ආර්. සම්බන්දන් මහතා තමයි පාර්ලිමේන්තුවේ සැබෑ ලෙසම විපක්ෂය නියෝජනය කරන්නේ. තවත් ප්‍රදේශ රැසක් ඒකාබද්ධ විපක්ෂය ජය ගෙන තිබෙනවා. කුලියාපිටිය, හලාවත, බදුල්ල මහ නගර සභා රජය ජයග්‍රහණය කළා. සමස්තයක් විදියට මේ මැතිවරණ ප්‍රතිඵලය දෙස බලන විට අපට පෙනී යන්නේ ජනතාව තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කර තිබෙන්නේ රජය පෙරළීමට නොව, රජය ගෙන යන වැඩපිළිවෙළ ගැන අකමැත්ත ප්‍රකාශ කිරීමටයි. ඒ නිසා ජනතාවගේ කැමැත්ත ගැන තවදුරටත් සිතන්නට රජයට අවස්ථාව ලැබී තිබෙනවා.


මර්දනකාරී රාජපක්ෂ රෙජිමයකට යළි ඉඩ දෙනවාදැයි ජනතාව සිතිය යුතුයි
- නීතිඥ නාමල් රාජපක්ෂ

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට පැමිණි නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බේරා ගත්තා කියන මතය අපි මුල සිට දැරුවා. 2015 වසරේ ආණ්ඩුව පෙරලුණේ නැත්නම් මහින්ද රාජපක්ෂ මහතා අද වන විට සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. අපේ ජීවිත පරිත්‍යාගයෙන් තමයි වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත් කළේ. වංචා දූෂණ මර්දනයට කිරීමට අපි ආණ්ඩුව පත් කළා. මහින්ද මහතාට ඔහුගේ හිතුමතේට වැඩ කරන්න අවස්ථාව යහපාලන ආණ්ඩුවෙන් ලබාදුන්නා. ඔහුට අවස්ථාව ලබාදෙමින් ජනතා කැමැත්ත හැරවීමට කටයුතු කරන්න එපා කියන පණිවුඩය අපි ආණ්ඩුවට ලබාදෙන්න කැමැතියි. ගෝඨාභය රාජපක්ෂ මහතා මර්දනයනට කැමැත්තෙන් සිටිනවා. ඔවුන්ට රටේ බලයට පැමිණීමට අවස්ථාව ලබාදුන්නොත් නැවතත් රට තුළ මර්දනකාරී අවස්ථාවක් ඇති වෙයි. ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ නැති වෙයි. මෙවර පළාත් පාලන මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායමට ලැබුණේ සියයට 44.65 ක ජයක්. ජනාධිපතිවරණයේදි ඔහුට සියයට 47.6 ක ජනතා කැමැත්තක් ලැබුණා. මේ ජනතා කැමැත්ත සංසන්දනයේදි ඔහුට ගියවරට වඩා අඩු කැමැත්තක් මෙවර ලැබී තිබෙන බව පැහැදිලියි. සිංහල ගෝත්‍රවාදය ඇවිස්සීමට රාජපක්ෂ මහත්වරු කටයුතු කරනවා. සිංහල බෞද්ධ ජනතාව අවුස්සමින් සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිවාදය ඇති කිරීමට ඔවුන් කටයුතු කරනවා.

සටහන - සන්ධ්‍යා කරුණාරත්න සහ සමන්මලී ප්‍රියශාන්ති 

නව අදහස දක්වන්න