ජනතාව ආණ්ඩුවට නිකුත් කළේ රතු සංඥවක් වුණත් ප්‍රතිඵල හරියට බැලුවොත් මහින්ද පරාදයි | දිනමිණ

ජනතාව ආණ්ඩුවට නිකුත් කළේ රතු සංඥවක් වුණත් ප්‍රතිඵල හරියට බැලුවොත් මහින්ද පරාදයි

පුරවැසි බලය සංවිධානයේ සාමාජිකයන් මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අයුරු. ඡායාරූපය සිරිපාල හල්වල

මෙවර පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලයෙන් ජනතාව ආණ්ඩුවට කර ඇති අනතුරු ඇඟවීම ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් මැනවින් තේරුම් ගෙන තමන් බලයට පත්වීමේදී ජනතාවට ලබා දුන් පොරොන්දු නොපමාව ඉටු කටයුතු කළ යුතු බව පුරවැසි බලය සංවිධානය පවසයි.

එමෙන්ම වත්මන් යහපාලන රජය කෙරෙහි ජනතාව තැබූ බලාපොරොත්තු ඉටු කිරීමට නම් තමන් අතින් සිදුව ඇති වැරදි අඩුපාඩු සකසා ගෙන ඉදිරියට යාමට රජය කටයුතු කළ යුතුව ඇතැයි ද එම සංවිධානය පෙන්වා දෙයි.

එමෙන්ම පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය අනුව සැබෑ ලෙසම මහින්ද රාජපක්ෂ මහතාගේ පොහොට්ටුවට ලැබී තිබෙන්නේ ජයග්‍රහණයක් නොව පරාජයක් බවද එම එම සංවිධානය පෙන්වා දෙයි. පුරවැසි බලය සංවිධානය කොළඹ සමාජය හා සාමයික කේන්ද්‍රයේ ඊයේ (13) පැවැත්වූ මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කැරිණි.


ඡන්ද පොරොන්දු ඉටුවුණේ නෑ

පුරවැසි බලය සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ

පෙබරවාරි 10 වැනිදා ලැබුණු තීන්දුව මේ රටේ ජනතාව අවුරුදු 3ක් තිස්සේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය දෙස බලා සිට ඒ පිළිබඳ අප්‍රසාදයෙන් ලබා දුන් තීන්දුවක් බව අපට ඉතාමත්ම පැහැදිළියි. එසේම බලයට පත්වීමේදී ජනතාවට දුන් පොරොන්දු ජනතාව බලාපොරොත්තු වූ ආකාරයෙන් ඉටු නොකිරීම නිසා ලැබුණු ප්‍රතිඵල තමයි මෙයින් පෙන්නුම් කරන්නේ.

මේ මැතිවරණ ප්‍රතිඵලය ජනතාව ආණ්ඩුවට නිකුත් කළ රතු සංඥාවක් නැතිනම් අනතුරු ඇඟවීමක්. ඒ සංඥාව ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් දැඩි ලෙස සැලකිල්ලට ගත යුතුයි. ඒ වගේම ලැබුණු ප්‍රතිඵලය ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් සම සමව භාර ගත යුතුයි. මැතිවරණ ප්‍රතිඵලය ලැබීමෙන් පසු කුමක් කීවත් මේ දක්වා තමන්ට කර ගැනීමට නොහැකිවූ කාර්යභාරය එයින් සාධාරණීකරණය වන්නේ නෑ.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ලැබුණු ජනතා තීන්දුව ජනතාව ඇන්දවීම නිසා ලැබුණු ප්‍රතිඵලයක් නොවන බවත් කිව යුතුයි. වත්මන් රජය 2015දී ජනතාවට ලබා දුන් පොරොන්දු මඟහරින ආකාරය ජනතාව දැක්කා.

ඒ වගේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ මහා පරිමාණ දූෂණ වංචාවලට වගකිව යුත්තන් නීතිය ඉදිරියට ගෙන්වා දඬුවම් කිරීම කියන කරුණු දෙක ඉෂ්ට නොකිරීම නිසයි ජනතාව මේ තීන්දුව ගත්තේ. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ ක්‍රියාවලිය ආරම්භ කළත් එය ජනතාව සමඟ එක්ව ඉදිරියට යන ක්‍රියාදාමක් බවට පත් නොකර එය පාර්ලිමේතුවට පමණක් සීමා කළා. ඒ මත මහින්ද රාජපක්ෂ ඇතුළු පරාජිත බලවේගයට ඒ පිළිබඳ නිශේධනාත්මක හැඟීමක් ඇති කිරීමට හැකියාව ලැබුණා. බොහෝ පිරිසක් ඒ මතය පිළිගත්තා. එයත් මේ ඡන්ද ප්‍රතිඵලයට බලපෑවා. වංචා දූෂණ සම්බන්ධයෙන් සාක්ෂි තිබුණු කරුණු සම්බන්ධයෙන් පවා කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව ක්‍රියා කළේ නෑ. ඒ නිසා පෙබරවාරි 10 ජනමතය හොරා වෙනුවෙන් පාවිච්චි කළ ඡන්දයක් ලෙසයි අපි දකින්නේ. ඒ මොහොතේ ජනතාවගේ විරෝධය එල්ලවී තිබුණේ හොරා ආරක්ෂා කළ ආණ්ඩුවට එරෙහිවයි.

පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව පැරදී ඇති නිසා ආණ්ඩුවට සුජාතභාවයක් නෑ, එය විසුරුවා හැර මැතිවරණයක් පවත්වන ලෙස හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිස පවසනවා. පළාත් පාලන මැතිවරණයකින් ආණ්ඩුවක් තවදුරටත් පැවතිය යුතුද, නැතිද කියා තීරණය කරන්න පුළුවන් නම් මහා මැතිවරණයක් එපා කියලයි අපිට කියන්න තිබෙන්නේ.

පළාත් පාලන මැතිවරණ, පළාත් සභා මැතිවරණ, මහා මැතිවරණ හා ජනාධිපතිවරණ වෙන වෙනම තිබෙන්නේ ඒවා එකිනෙකට සීමාවන් තිබෙන නිසයි. මේ අය මේ දේවල් කියන්නේ මේ සීමා නොදැන නෙවෙයි. ඔවුන් සිතාමතාම උත්සාහ දරන්නේ මේ තුළින් ආණ්ඩුවේ අවුල් වියවුල් ඇති කර ආණ්ඩුව ගෙදර යවන්නයි.

මෙවර පළාත් පාලන මැතිවරණයේදි පොහොට්ටුවට ලැබුණ ඡන්ද ප්‍රතිශතය 44%යි. ඔවුන්ට එරෙහිව ලැබී තිබෙන ඡන්ද ප්‍රතිශතය 51%ක පමණ වෙනවා. ඒ නිසා මේ ප්‍රතිඵලය මහා මැතිවරණයක හෝ ජනාධිපතිවරණයක ප්‍රතිඵල ලෙස ගත්තත් මහින්ද රාජපක්ෂ පරාදයි.


රාජපක්ෂ රෙජිමයට යළි ඉඩ නොදෙමු

පුරවැසි බලය සම කැඳවුම්කරු කේ.ඩබ්ලිව්.ජනරංජන

පුරවැසි න්‍යාය පත්‍රයට අනුව ආණ්ඩුව කටයුතු නොකළ නිසා ලැබුණු ප්‍රතිඵයක් මේක. ආණ්ඩුව තමන්ගේ වගකීම තේරුම් ගෙන කටයුතු නොකිරීම නිසයි මේ ප්‍රතිඵලය ලැබුණේ. ඒ නිසා ආණ්ඩුව ඉදිරියේදී තමන්ගේ වැඩපිළිවෙළ තමන්ගේ ක්‍රියාවෙන් ම පෙන්වීමට කටයුතු කළ යුතුයි. පක්ෂය මුල් තැන තබා කටයුතු නොකර ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට අධිෂ්ඨාන කර ගත යුතුයි. කෙසේ වෙතත් පරාජිත රාජපක්ෂ රෙජිමය නැවත බලයට ගේන්න අපි ඉඩ නොතබන බවත් අපි කියනවා


ආණ්ඩුව ගොඩක් වැඩ කළා

පුරවැසි බලය සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය

වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමේදී ජනතාවට පොරොන්දුවූ දේවලින් යම් ප්‍රමාණයක් මේ වනවිට ඉටු කර ඇතත් ජනතා අපේක්ෂා ඉන් ඉහළ තලයක තිබීම නිසයි මෙවැනි මැතිවරණ ප්‍රතිඵලයක් ලැබී තිබෙන්නේ.

ඒත් මේ ප්‍රතිඵලය මත ආණ්ඩුව විසුරුවන්න බෑ. ආණ්ඩුව බොහෝ ප්‍රතිසංස්කරණ ගෙන ආවා. ස්වාධීන කොමිෂන් සභා පිහිටෙව්වා. වැටුප් වැඩි කළා. පෙට්‍රල් භූමිතෙල් මිල අඩුකළා. ඒත් ඒවා ජනතාවට දැනුණේ නෑ. පසුගිය රජය සමයේ සිදුකළ පුද්ගල ඝාතන, පැහැරගැනීම්, වංචා දූෂණ ගැන වේදිකාවේ කතා කළත් ඒවා සම්බන්ධයෙන් තීතිය ක්‍රියාත්මක කර වරදකරුවන්ට දඬුවම් දීමට ආණ්ඩුව ක්‍රියා කළේ නෑ.

එහෙත් මේ මැතිවරණ ප්‍රතිඵලය මහා මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් ඉල්ලන්න කාරණයක් නෙවෙයි. ආණ්ඩුවේ පාර්ශ්ව දෙක අතර ආරවුල් හැදීමට කරන යෝජනා දෙපාර්ශයම ප්‍රතික්ෂේප කළ යුතුයි.

සිතාරා සේනානි, චන්දිමා කරුණාරත්න


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...