කිතුනු බැතිමත්හු අද අළු බදාදා දුක්ප්‍රාප්ති සමය අරඹති | දිනමිණ

කිතුනු බැතිමත්හු අද අළු බදාදා දුක්ප්‍රාප්ති සමය අරඹති

සමස්ත ලෝකවාසී කිතුනු බැතිමත්හු සමරන උත්තරීතර දේව වන්දනාව කිතු සමිඳුන්ගේ පාස්කු අභිරහස සිහිපත් කිරීමට සූදානම් වන ‘චතාරික’ සමයයි.‍

මිනිසා පවින් ගලවා ගැනීමට කුරුසියක් මත සිය ජීවිතය අත්හළ කිතු සමිඳුන්ගේ දින හතළිහක දුක්ප්‍රාප්ති සමඟ ආරම්භක දිනය වන්නේ අළු බදාදාය.

අද අළු බදාදායින් ඇරඹෙන්නේ එම චතාරිකය හෙවත් කොරොස්ම සමයයි. මේ දින හතළිහ අවසන් වන්නේ මහා බ්‍රහස්පතින්දා ලෙස නම් කෙරෙන බ්‍රහස්පතින්දා දිනය සවස කිතු සමිඳුන් සිය ගෝලයන් සමඟ අවසන් රාත්‍රී භෝජනය ලබාගත් දිනයෙනි. පසුදිනට එළිවනවිට දුක්ප්‍රාප්ති ශුද්ධවූ සතිය ඇරැඹේ. මෙදින රාත්‍රී කිතු සමිඳානෝ ජෙත්සමනි උයනේ යාච්ඥාවෙන් ගත කරමින් සිටියදී තම ගෝලයකුගේ එනම් ජුදාස්ගේ පාවාදීමෙන් පසු දින මහා සිකුරාදා දිනයේ කුරුසිය මත දිවි අත්හළහ.

කිතුනු දේව වන්දනාවේ ආධ්‍යාත්මික නැඹුරුව වෙනම යොමු කෙරෙන එම දුක්ප්‍රාප්ති දිනයට එක්වන කිතුනුවන් සිය විශ්වාස‍යේ උච්චතම අවස්ථාවට එළැඹෙන්නේ පාස්කු ඉරුදින කිතු සමිඳාණන්ගේ උත්තානය සිහිපත් කරමිනි.

කිතු සමිඳාණන් සිය ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කිරීමට පෙර දින හතළිහක් කාන්තාරයේ නිරාහාරව භාවනාගතව සිටීම, ඊශ්‍රායල් ජනතාව වසර හතළිහක් කාන්තාරයේ ගමන් කරමින් පොරොන්දු දේශය වෙත පැමිණීම යන ශුද්ධ ලියවිලි පාදක කරගනිමින් මේ දින හතළිහ සමරනු ලබයි. දූවිල්ලෙන් සෑදූ අපි නැවත දූවිල්ලටම හැරෙන බව අදහමින් දිවියේ නිස්සාර හා අස්ථාර වටහාගනිමින් ඒ බව ‘අළු’ මඟින් සංකේතවත් කරමින් කිතුනුවෝ ‘චතාරික’ සමය අරඹති. මේ කාලය පුරා වඩාත්ම ආධ්‍යාත්මික වශයෙන් එක්වන කිතුනු බැතිමත්හු යාච්ඥාව, කුරුස ගමන සිහිපත් කෙරෙන පාද නමස්කාර මෙහෙය, එක්වරු ශීලය රැකීම, දානමාන වෙත යොමුවන්නේ උත්සව අවස්ථාවන්ගෙන් හැකිතාක් දුරට ඉවත්වෙමිනි. මෙවර අළු බදාදා දිනයද විශේෂිත දිනයක් හා බැඳී ඇත. ඒ අද 14 ආදරවන්තයන්ගේ දිනය ලෙසද සමරනු ලැබීමයි. මේ ආදරවන්තයන්ගේ දිනය කිතුනු ඉතිහාසයේ එක්තරා පූජකවරයකුගේ සත් ක්‍රියාවන් බීජය ලෙස සලකමින් සමරන්නට ලැබූ විශේෂිත දිනයකි. එකල යුද වාතාවරණය මැද යුද්ධය සඳහා නික්ම යන සෙබළුන් සිය පෙම්වතියන් සමඟ විවාහ කරවීමට මේ පූජකවරයා මැදිහත්වීමෙන් එතුමන්ට සිරගතව සිය දිවියෙන් වන්දි ගෙවන්නට සිදුවිය. එතුමන්ගේ ඒ සද්ක්‍රියාව සිහිපත් කරමින් ආදරවන්තයෝ එදින විශේෂිත දිනය එනම් වැලන්ටයින් දිනය සමරන්නට වූහ. අතීතය එසේ වුවද අද එය වාණිජකරණය වීම තුළ විවේචනාත්මක දිනයක් බවට පත්ව ඇත. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...