සියවසක් සපුරන අකුරුගොඩ සිරි රත්නජෝති මහා විද්‍යාලය | දිනමිණ

සියවසක් සපුරන අකුරුගොඩ සිරි රත්නජෝති මහා විද්‍යාලය

ශිෂ්‍ය පාර්ලිමේන්තුව

විදෙස් ආක්‍රමණ හමුවේ සිහල රට තුළ සිහලකම පරිහාණියට බ්‍රිතාන්‍ය ජාතීන්ගේ භාෂාව සහ ආගම දේශයේ ගම් දනව් සිසාරා පැතිර යමින් පැවති යුගයක මාතර දිසාවේ තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පලොල්පිටිය ග්‍රාමයේ ක්‍රිස්තියානි පල්ලියක් හා ආගම පැතිරවීම අරමුණු කොටගත් පාසලක් බිහිවීම සිදු විය. විහාරස්ථානය පිහිටි ගමේම මෙය සිදුවීම රතනජෝති හිමියන්ගේ කනස්සල්ලට හේතු විය. එයට ප්‍රතිචාර ලෙස මෙම අකුරුගොඩ විද්‍යාලය බිහි වූ බව ගැමියන්ගේ මතයයි.

එවකට ඌරපොල ශ්‍රී මේධංකරාරාමයේ විහාරාධිපති හිමි වූයේ අකුරුගොඩ ප්‍රභූ පවුලකින් පැවිදිව රට දැය සමය සුරැකීමට පෙරට පැමිණි අකුරුගොඩ සිරි රතනජෝති නාහිමිගේ බව රතනජෝති පුරාණය පිරික්සීමේ දී පැහැදිලි වේ. අකුරුගොඩ ග්‍රාමයේ තමන්ට අයත් නිවෙසක බෞද්ධ පාඨශාලාවක් ලෙස ඇරඹි මෙම විද්‍යාලය 1918 දී සිසුන් 05 දෙනකුගෙන් පමණ තාවකාලික මඩුවක ඇරඹි බව පුරාවෘත්ත සාක්ෂි දරයි. වත්මන් විද්‍යාලය පිහිටි බිම් කඩට මෙම විද්‍යාලය රැගෙන එමින් අඩු පහසුකම් සහිතව පාසල පවත්වාගෙන යනු ලබනුයේ ද රතනජෝති නාහිමියන් විසිනි. මෙහි ආරම්භක විදුහල්පති අකුරුගොඩ චාල්ස් පීටර් රණසිංහ සෙනෙවිරත්න මහතාය.

අධිරාජ්‍යවාදී පාලන සමයක බෞද්ධ පාසලක් ඇරැඹීම එම එතරම් සුබනම්‍ය කටයුත්තක් නොවේ. ගෙඩනැගිලි, උපකරණ, වැටුප් ගෙවීම වැනි දහසක් විද්‍යාලයීය අවශ්‍යතා හමුවේ අභියෝග පැමිණිය ද ඒ සියල්ල ජය ගනිමින් අරමුණු සාර්ථකත්වය කරා වෙහෙයවන්නට සිරි රතනජෝති නාහිමියෝ සමත්වූහ.

කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සංගමය මේ සත් අරමුණු ඉටු කරගැනීමට දායක වෙමින් 1924 දී ලියාපදිංචි පාසලක් බවට පත් කරන ලදී.

විදුහල්පති ඩී. ධනපාල මහතාගේ යුගයේ පහළ බාලාංශයේ සිට කනිෂ්ඨ අංශය දක්වා පාසල් අධ්‍යාපනය ලැබීමට අකුරුගොඩ හා අවයට දරුවන් පින් කර තිබුණ ද, උසස් අධයාපනය ලැබීමට ඉහළ ආදායම් ලාභීන්ගේ දරුවන් පමණක් වාසනාවන්ත වීම අනෙක් දරුවන්ගේ අධ්‍යාපනය නතරවීමත් එක්තරා අවාසනාවක වූ බව වියපත් ගැමියන්ගේ මතයයි.

අකුරුගොඩ බෞද්ධ මිශ්‍ර පාසලේ ස්වර්ණමය යුගය 1946 දී විදුහල්පති තනතුරට පත් පී.එස්. මුතුකුමාරණ මහතාගෙන් ඇරඹෙන බව ප්‍රදේශවාසීහු පවසති. 1948 දී එතුමාගේ කැපවීමත් පරම විඥානාර්ථ සමාගමේ සහායත් නිසා ජ්‍යෙෂ්ඨ පාඨශාලාවක් බවට පත්වීම එයට කිදිම නිදසුනකි. එම වසරේම ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයට ඉදිරිපත් වූ සිසුන් සිව්දෙනාම සමත්වීම විශේෂත්වයකි. 1962දී මෙම විද්‍යාලය රජයේ පාසලක් ලෙස ස්ථාපති විය. විදුහල්පති ධුරයට පත් පියදාස කුමානායක එවකට පැවති රජය හා එක්ව විද්‍යාලයේ භූමිය අක්කර 01 රූඩ් 02 පර් 02 දක්වා පුළුළ් කරගනිමින් ස්ථිර ගොඩනැගිලි දෙකක් ඉදිකරවීමට සමත් විය. අකුරුගොඩ රජයේ මිශ්‍ර පාසල 1980 දී මහා විද්‍යාලයක් බවට පත් කරමින් නිර්මාතෘ අකුරුගොඩ සිරිරතනජෝති මාහිමියන්ට උපහාර පිණිස මෙම විද්‍යාලය සිරි රතනජෝති මහා විද්‍යාලය ලෙස නම් කරනුයේ පාසල් සංවර්ධන සමිතියේ ඉල්ලීම පරිදි විදුහල්හි වික්‍රමසිංහ විදුහල්පතිතුමන්ගේ පාලන සමය තුළදීය.

1989 – 2004 යුගය පී.ඩබ්ලිව්.එච්.බී.කේ. විජේරත්න මහතා, විදුහල්පති ධුරය, හොබවන අවධියේ ආදී සිසු ගුරු දෙගුරු සහායෙන් පාසල් ජල සම්පාදන පද්ධතිය ගොඩනැගීම එවකට කඹුරුපිටිය පොලිස් ස්ථානාධිපති පී.එම්.කේ. බී. සරත්චන්ද්‍ර මහතාගේ සහායෙන් බුදු මැදුර ස්ථාපති කිරීම අගය කළ හැකිය.

වසර සියය තුළ විදුහල්පතිවරුන් 18 දෙනා අතරින් බොහෝ දෙනා සඳහන් කරනුයේ මෑත කාලීනව වසර 14ක ආනන්ද පතිරණ යුගයේ පාසල් මාතාව සමබර පෙර ගමනක යෙදුණු බවයි. විද්‍යාලයට ආසන්න භූගෝලීය සාධක තුළ ක්‍රීඩාවට හිමි තැන අවම වී ඇතත් සෞන්දර්ය, සිංහල, ඉංග්‍රීසි, ගෘහ විද්‍යාවහා විද්‍යාව වැනි දැනුම මිනුම තරඟාවලීන් පාසල සිය ජයග්‍රාහී ස්ථානය ඉතා ඉහළින් සනිටුහන් කරගෙන තිබීම නිරතුරුව ඇගයීමට ලක්වේ. දෙමහල් ශාලාවක් ඉදිකිරීම, ආරක්ෂක තාප්පය හා ගේට්ටුව ඉදිකිරීම, පරිගණක ඒකකය ස්ථාපති වීම, ගාලු මිතුරෝ පදනම හා එක්ව ඉංග්‍රීසි ඒකකය ස්ථාපති කිරීම එම යුගයේ විද්‍යාලයට එක්වූ භෞතික සම්පත් සමූහයකි.

ප්‍රාථමික අංශය තුළ සැලකිය යුතු ඉහළ ජයග්‍රහණ ලැබීමට වාසනාගුණයේ යම් ඌණතාවකින් පෙළුණ ද සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දෙස බැලූ විට කලාපය තුළ ඉතා ඉහළ තලයක පාසල් නාමය සනිටුහන් වීම සතුටකි. විහ්‍රාමික විදුහල්පති සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ආනන්ද පතිරණ මහතාගෙන් 2015.02.15 දින ඇතිවන විදුහල්පති පුරප්පාඩුව පිරවීමට එවකට විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිව සිටි අමරසේන බඳවවක මහතාගෙන් සිදුවිය.

ඉහළ තලයක පැවති අධ්‍යාපන සංවර්ධනය තවදුරටත් රැකගනිමින් පාසලේ විෂය සමගාමී ක්‍රියාකාරකම් පුළුල්ල කරමින් පරිසර නියමු, බාලදක්ෂිකා, ප්‍රථමාධාර, මාධ්‍ය ඒකකය ආරම්භ කරන්නට කටයුතු කෙරුණි. දරුවන්ගේ කුසලතා සංවර්ධනයට සෞන්දර්ය, සෞඛ්‍ය, භාෂා තේමා රැස්වීම් හරහා යම් ජිවයක් ලැබුණි. සිසු ආකල්ප සංවර්ධනයට විධිමත් පෙ‍ළපොත් භාවිතය, පුණ්‍යානුමෝදනාවෙන් පසු කෑම පෙට්ටියක ඉඳුල් කඩක දවටා රැගෙන පැමිණි ආහාර හැන්දෙන් අනුභව කොට සෞඛ්‍යාරක්ෂාවට ප්‍රබල දායකත්වයක් සපයාගන්නට දරුවන් පෙළඹීම විද්‍යාලයේ ජල හිඟයට පිළියමක් ද විය.

දරුවන්ගේ මනස නිරවුල් කරනු වස් විවේකයෙන් පසු මෙත් වැඩීම සිදුවන අතර, ගුරු වන්දනාවෙන් ද ඊට ලැබුණේ මනා පිටු බලයකි. සෑම සිකුරාදා දිනකම සිත් පහන් කිරීමේ අඩ පැයකි. දිනපතා සිදුවන ශරීර සුවතා වැඩසටහන සිසු සමබර පෞරුෂය සුරක්ෂිත කරයි.

“ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘති බීජය පාසල තුළ රෝපණය කිරීමට දේශපාලන අධිකාරිය හා නිලධාරී සමූහය සමඟ එක්වෙමින් ගත් උත්සාහය ඵල දරමින් ලක්ෂ 300ක සංවර්ධන ක්‍රියාකාරකම් පාසල තුළ ක්‍රියාවට නැගෙද්දී පාසලේ ද්විතීයික විද්‍යාගාරය, භාෂාගාරය, ගණිතාගාරය, පරිගණක ඒකකය සියවස් සමරු සතියේ සිසු අයිතියට පත් කිරීමට නියමිතය. 2020 දක්වා ක්‍රියාත්මක මෙම වැඩසටහන තුළ සිරි රතනජෝති පාසල් මාතාවට මානව සහ භෞතික සම්පත රැසක් ලැබීමට නියමිතය.

විද්‍යාලයීය දෙමාපිය පූර්ණ දායකත්වයෙන් බුදු මැදුර නවීකරණය කර පිළිම වහන්සේ නිරාවරණය කිරීම ද මේ සතිය තුළ සිදු වේ. සියවස් සමරු සිහිවටනය විසි වසරකට පසු පාසල තුළ යළි ජීවය ලද උසස් පෙළ 12 ශ්‍රේණිය දරුවන්ගේ නිර්මාණයකි.

ගුරු සිසු විදුහල්පති ඇගයීම, පාසලේ නිර්මාතෘ අකුරු‍ොගඩ සිරි රතනජෝති නාහිමි ගුණ සමරුව, වෛද්‍ය සායනය, ලේ දන්දීම, ඇස් කණ්ණාඩි ප්‍රදානය, සංස්කෘතික පෙරහර , සර්ව රාත්‍රික පිරිත් දෙසුම හා සංඝගත දක්ෂිණාව සමරු සතියේ දිගහැරෙන වැඩසටහන් අතර වේ. සියවස් සමරු කලාපය එළි දැක්වීම හා විද්‍යාලයීය වෙබ් අඩවිය ජාලගතවීම සිදුවේ.

කේ.පී.ඩී. ද සිල්වා
කඹුරුපිටිය සමූහ

 

නව අදහස දක්වන්න