පැරණි තේ වගාවලින් අස්වැන්න අඩුයි | දිනමිණ

පැරණි තේ වගාවලින් අස්වැන්න අඩුයි

අවුරුදු පනහ, හැට පැරණි තේ වගාවන් නිසා මාතර දිස්ත්‍රික්කයේ තේ දලු අස්වැන්න අඩුවීමට හේතුවී ඇත. මේ තත්ත්වය මගහැරවීමට එම දිස්ත්‍රික්කයේ තේ නැවත වගාව පුළුල්ව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

දැනටමත් මේ අනුව කුඩා තේ හා රබර් මතු පුනර්ජීවන (ස්ටාර්) ව්‍යාපෘතිය යටතේ පැරණි තේ වගා හෙක්ටයාර් 1500ක් උදුරා නැවත තේ වගාවට සැලසුම් කර ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ සැලසුම් කර ඇති බිම් ප්‍රමාණයෙන් හෙක්ටයාර් 882ක් නැවත තේ වගා කිරීමට කුඩා තේ වතු හිමියන් 1360 දෙනෙක් දැනට නිරතවී සිටිති. එම වගාකරුවන් සඳහා මූලික සහනාධාර වාරික රුපියල් ලක්ෂ 180ක් ද ගෙවා ඇති බැව් ස්ටාර් ව්‍යාපෘතියේ මාතර ප්‍රජා සංවර්ධන නිලධාරී දීපාල් නිශාන්ත මහතා පැවසීය.

දිස්ත්‍රික්කයේ සැලසුම් කර ඇති බිම් ප්‍රමාණය 618 ද නැවත වගාව සඳහා ඉල්ලුම්පත් මේ දිනවල භාර ගැනීමට ද කටයුතු යොදා ඇත.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ මාතර ප්‍රාදේශීය කාර්යාලයෙන් හෝ මොරවක හා පස්ගොඩ උප කාර්යාලවලින් හෝ දිස්ත්‍රික්කයේ ඒ ඒ ප්‍රදේශවලට අනුයුක්ත කර ඇති තේ පරීක්ෂක ව්‍යාපෘති නිලධාරීන්ගෙන් හෝ ඉල්ලුම්පත් ලබාගෙන ඒවා පුරවා අදාළ ආයතනවලටම බාරදිය හැක.

හෙක්ටයාර් 1ක් තේ නැවත වගා කිරීමට රුපියල් 675,000ක් සහනාධාරයක් මුල් කාර්තුව තුළ ලබාදේ. මෙය වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලෙහි (IFAD) ශ්‍රී ලංකා රජයේ සංවර්ධන අධිකාරිය සහ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ එක්ව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියකි.

මෙම ව්‍යාපෘතිය යටතේ ගාල්ල, මාතර, රත්නපුර, බදුල්ල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයන් හි හෙක්ටයාර් 5500ක් තේ නැවත වගා කිරීමට ක්‍රියා කෙරේ. ව්‍යාපෘතිය 2016 සිට 2021 දක්වා වසර 06ක් තුළ ක්‍රියාත්මක වන අතර සමස්ත පවුල් 3200 තුළින් සාමාජිකයන් 144,000ක් සඳහා ප්‍රතිලාභ සැලසේ. 

කඹුරුපිටිය සමූහ - කේ. ජී. ඩී. ද සිල්වා

නව අදහස දක්වන්න