වසර 17ක් ක්‍රිකට් පිටිය වර්ණවත් කළ මාවන් | දිනමිණ

වසර 17ක් ක්‍රිකට් පිටිය වර්ණවත් කළ මාවන්

ෆවුස් මොහොමඩ්
අතපත්තු ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස..

සන්ඩේ ඔබ්සර්වර් මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් සම්මාන උළෙල

වසර 40ක ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙලේ දී එම කීර්තිමත් කුසලානය දිනූ ක්‍රීඩකයන් අතරින් මාවන් අතපත්තුට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. කලක් ජාතික කණ්ඩායමේ නායකයා ලෙසත්, විශිෂ්ටතම පිතිකරුවා ලෙසත් කාගෙත් ගෞරවාදරයට පාත්‍රවූ අතපත්තු ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙසත් වැදගත් කාර්යභාරයක් ඉටු කළේය.

වසර 1990දී ඔබ්සර්වර් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබූ කොළඹ ආනන්ද විදුහලෙන් බිහිවූ මේ විශිෂ්ට දකුණත් පිතිකරුවා ඒ වසරේදිම නොවැම්බර් මාසයේ ඉන්දියාවට එරෙහිව චන්දිගාර් හීදී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරද්දී 20 හැවිරිදි වියෙහි පසුවිය. හෙතෙම අවාසනාවන්ත ටෙස්ට් වරමකින් කණ්ඩායමට ඇතුළත්වූ අතපත්තු සිය පළමු ටෙස්ට් තරග 3දී ක්‍රීඩා කළ ඉනිම් 6න් 5කදීම බිංදුවට දැවී ගිය අතර අනික් ඉනිමේදී ලැබුවේ එක් ලකුණක් පමණි. මේ අවාසනාවන්ත ඉරණම නිසාම ටෙස්ට් පිටියේ බිංදුකාරයා ලෙස එකළ ඇතැම් විචාරකයන්ගේ උපහාසයට ලක්වීමටත් ඔහුට සිදුවී තිබිණි.

එසේ වුවත් ඊට වසර 7කට පසුව ඉන්දියාවේ මොහාලි නුවරදී තම 10 වැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී මංගල ටෙස්ට් ශතකය රැස් කිරීමට ඔහු සමත්විය. ඔහුගේ ඊළඟ ටෙස්ට් තරගයේදී ලකුණු 98ක දැවී ගියත් ඊළඟ වසරේ සිම්බාබ්වේ පිලට එරෙහිව මහනුවරදී ලකුණු 223ක් රැස් කරමින් සිය දස්කම් කදිමට විදහා දැක්වීමට අතපත්තු සමත්වුයේ විචාරකයන්ගේ නළල් තල රැළි ගන්වමිනි.

පිතිහරඹයේ තාක්ෂණය අතින් ඉහළම දස්කම් පෙන්වූ ටෙස්ට් පිටියේ විරල පිතිකරුවන් අතලොස්ස අතරට එක්වූ අතපත්තු ටෙස්ට් තරගබිමෙන් සමුගන්නා විට ද්විත්ව ශතක 6කට හිමිකම් කියමින් වාර්තාපොතට එක්වීමට සමත්විය. වසර 2007 නොවැම්බරයේ හොබාර්ට් නුවරදී ඔස්ට්‍රේලියාවට එරෙහිව සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ මාවන් අතපත්තු පළමු ඉනිමේදී ලකුණු 25ක් රැස් කළ අතර දෙවැනි ඉනිම වර්ණවත් කරමින් ලකුණු 80ක් ලබාගැනීමට සමත්විය.

ටෙස්ට් තරග බිමෙන් සමුගන්නා විට තරග 90කට ක්‍රීඩා කරමින් ඉනිම් 156කදී ලකුණු 5502ක් රැස් කිරිමට සමත්වු අතපත්තු ලැබූ ශතක සංඛ්‍යාව 16කි. අර්ධ ශතක ප්‍රමාණය 17කි. ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වූයේ සිම්බාබ්වේ පිලට එරෙහිව බුලවායෝ නුවරදී රැස් කළ ලකුණු 249යි. ටෙස්ට් වරම් ලැබූ 1990 වසරේදීම දෙසැම්බරයේ ඉන්දියාවට එරෙහිව නාග්පූර් නුවරදී එක්දින තරග වරම් දිනාගත් මේ විශිෂ්ට පිතිකරුවා1996 ශ්‍රී ලංකා පිල එක්දින ලෝක ශූරයන් ලෙස කිරුළ ජයගනිද්දී එම කණ්ඩායමේ සාමාජිකයකු වී සිටියේය. එම තරගාවලියේදී කිසිදු තරගයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව නොලැබුණත් ලෝක ශූර ශ්‍රී ලංකා පිලේ සාමාජිකයකු ලෙස එදා සෙසු සගයන් සමග එක්වී ජයග්‍රහණය සැමරීමට ඔහුටත් අවස්ථාව උදාවිය.

2007 වසරේ පෙබරවාරියේ ඉන්දියාවට එරෙහිව විශාකාපට්නම් නුවරදී සිය අවසන් එක්දින තරගයට ක්‍රීඩා කළ හෙතෙම තරග 268කදී රැස් කළ එක්දින ලකුණු සංඛ්‍යාව 8529කි. ඊට ශතක 11ක් සහ අර්ධ ශතක 59ක් ඇතුළත් විය.

ආනන්ද විදුහල් පිල වෙනුවෙන් විශිෂ්ට දස්කම් දක්වමින් සිටියදී ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබීම තම ජීවිතයේ වැදගත් සංධිස්ථානයක් බව පසුකලෙක ඔහු කීවේය. ඒ වනවිට මේ කීර්තිමත් සම්මානය දිනාගත් තුන්වැනි ආනන්දනීය ක්‍රීඩකයා ද ඔහු විය.

පාසල් තරග බිමේ දස්කම් දැක්වූවත් ජාතික කණ්ඩායමට සේන්දුවීමේ අවස්ථාවක් පිළිබඳ එකළ ඔහුට කිසිදු විශ්වාසයක් නොතිබිණි. එහෙත් ජාතික තේරීම් කමිටුවේ අවධානය දිනාගැනීමට හැකිවනු ඇතැයි යන ඒ විශ්වාසය ඇතිවූයේ මේ සම්මානය දිනාගැනීමෙන් පසුව බව ඔහු සඳහන් කළේය.

වසර 40ක ඔබ්සර්වර් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනාගත් සියලුම ක්‍රීඩකයන්ගේ විශ්වාසය තහවුරු කළ මේ සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා දිවිය ආලෝකමත් කළ අපූරු කඩඉමක් බව අදටත් කවුරුත් කියති.

ජාතික කණ්ඩායමේ නායකයා ලෙසත් සැළකිය යුතු කාර්යභාරයක් ඉටු කරමින් ක්‍රීඩාවෙන් සමුගත් අතපත්තු ඊට වසර කිහිපයකට පසුව එනම් 2014දී ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්විය. ඔහු වසර 1999 රෝයි ඩයස් ප්‍රධාන ස්ථීර පුහුණුකරු ලෙස කටයුතු කිරීමෙන් පසුව එම තනතුරට පත්වූ දෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසත් සැළකේ.

මොබිටෙල් සමාගමේ පුර්ණ අනුග්‍රාහකත්වය යටතේ මේ වසරේ පැවැත්වෙන සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙල මෙවැනි තවත් විශිෂ්ට තරුවක් ක්‍රිකට් පිටියට තිළිණ කරනු නිසැකය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...