නිදහස් කුසලාන තරගාවලියට මැතිව්ස් බලාපොරොත්තු පොදි බඳී | දිනමිණ

නිදහස් කුසලාන තරගාවලියට මැතිව්ස් බලාපොරොත්තු පොදි බඳී

ශරීරයේ පහළ කොටසේ සිදුකර ගෙන යන නව පුනරුත්ථාපන ප්‍රතිකාර ක්‍රියාවලියෙන් 2018 වසර තුළ තමාට ආබාධවලින් තොරව සිටීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා සීමිත ඕවර ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් විශ්වාස කරයි.

පසුගිය වසර පුරාම කලවේ නහර, වලලුකර හා දණිස් ආබාධවලින් පෙලුනු මැතිව්ස් ට ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩි කොටසක් අහිමි විය.

නායකත්වයෙන් ඉවත් වී මාස හයකට පසුව බංග්ලාදේශ සංචාරයට පෙර මැතිව්ස් යළි සුදු පන්දුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය බාර ගත් විට අළුත් බලාපොරොත්තු ඇති විණි. කෙසේ වෙතත් බංග්ලාදේශයේ එක තරගයකින් පසුව මැතිව්ස්ගේ පරණ කලවේ නහර ආබාධය යළි මතුවීම හේතුවෙන් ඔහුට පෙරළා සියරට පැමිණීමට සිදුවිණි.

බංග්ලාදේශ තුන්කොන් තරගාවලිය මෙන්ම ඉන්පසුව පැවැති ටෙස්ට් තරගාමාලාවද මැතිව්ස්ට අහිමි විය. සිය ප්‍රතිකාර අවසන් වීමෙන් පසුව විස්සයි20 තරගමාලාවට නායකත්වය දීම සඳහා මැතිව්ස් යළි බංග්ලාදේශයට යාමට නියමිතව තිබුණද ඔහුට ප්‍රතිකාර කරමින් සිටින වෛද්‍ය විශේෂඥයන්, ආබාධය සුව වූ වහාම නැවත තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවට නොයන ලෙසට අනතුරු අඟවා තිබේ. එබැවින් ඔහු ලබන මස පැවැත්වීමට නියමිත නිදහස් කුසලාන තරග බිමට පිවිසෙන තෙක් විවේක ගනු ඇත.

“මේ තරගාවලිය ගැන අනෙක් සියළු දෙනා වගේම මමත් ඉතාමත් උනන්දුවෙන් ඉන්නවා. එය සියළුම ක්‍රීඩකයන්ට ලැබෙන හොඳ අවස්ථාවක් වේවි. ඉන්දියාව ප්‍රබල ප්‍රතිවාදීන් මෙන්ම බංග්ලාදේශයද පසුගිය වසරවල සෑහෙන ප්‍රගතියක් ලබා සිටිනවා. මෙය ඉතාමත් තරගකාරී තරගාවලියක් වේවි කියා මා විශ්වාස කරනවා” මැතිවස් කියයි.

“මගේ ආබාධය නිසා අපි දැන් අපේ තරග උපාය වෙනස් කර තිබෙනවා. අතීතයේදී මා සුව වූ වහාම මම ගිහිං සෙල්ලම් කර තියෙනවා. එංගලන්තයේ සිටින විශේෂඥ වෛද්‍ය තමිඳු වෙදතිලක මහතා හා මෙහි සිටින මහාචාර්ය අර්ජුන ද සිල්වා හා අනෙකුත් විශේෂඥ වෛද්‍යවරු සායන වශයෙන් බලනවාට වඩා ස්කෑන් පරීක්ෂණ පැත්තෙන් බලන ලෙසට අවධාරණය කර තියෙනවා. අතීතයේදී මම තුවාල සුව වෙන්නට පෙර පිටියට ගිහිං ක්‍රීඩා කර තියෙනවා. මට දැන් දුවන්න, පුහුණු වෙන්න හා අනෙකුත් ක්‍රියාවන් කරන්න පුළුවනි. නමුත් අපේ තරග තිව්‍රතාව දැන් වෙනස් වෙලා. මගේ ආබාධ සම්පූර්ණයෙන්ම සුව වන තෙක් මම ක්‍රීඩා කරන්නේ නැහැ. මම නිතර නිතර ආබාධවලට ලක්වන එක මටත් මගේ කණ්ඩායමටත් අසීරු දෙයක්.”

“පුහුණු ක්‍රමවේදයන්, ජිම් ක්‍රියාවන් හා මගේ සූදානම් වීමේ ක්‍රම දැන් වෙනස් වෙලා. ඒත් අපට පුළුවන් වන්නේ ආබාධ අඩුකර ගැනීමටයි. හැමදේම හොඳයි කියලා සහතිකයක් දෙන්න බැහැ. කෙසේ වෙතත් ආබාධවලින් තොරව සිටීමට මම මට හැකි උපරිමයෙන් උත්සාහ කරනවා. මම දැන් මගේ ශරීරය ගැන ඉගෙන ගනිමින් සිටිනවා.”

විශේෂඥ පිතිකරුවෙකු ලෙසින් පමණක් ක්‍රීඩා කරන විට මැතිව්ස්ට ගැටළුවක් නැත. නමුත් කණ්ඩායම සමබර කිරීම සඳහා පන්දු යවන ලෙසටද කණ්ඩාමේ කළමනාකාරිත්වය නිතරම මැතිව්ස්ගෙන් ඉල්ලා සිටින අතර ඔහු කරදරේ වැටී ඇත්තේ මේ හේතුවෙනි.

“සියල්ල රඳා පවතින්නේ විශේෂඥයන් කියන දේවල් මතයි. මම සම්පූර්ණයෙන්ම ‘ෆිට්‘ වෙලා ඉන්න එක පළමු කාරණයයි. ඒ නිසා හදිසි වෙන්න වුවමනාවක් නැහැ. මම පන්දු යවන්න කැමතියි. නමුත් එතැනට එන්න මම හොඳ ශරීර සෞඛ්‍යයකින් ඉන්න ඕන” යනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් පවසන්නේ තරග බිමට තමන්ගේ ආගමණය බොහෝ විට විශාරද පිතිකරුවෙකු ලෙසින් පමණක් විය හැකි බවට ඉඟි කරමිණි. 

නව අදහස දක්වන්න