‘සහෘදයාම’ බුද්ධිමත් ශ්‍රාවකයන් වෙනුවෙන්මයි | දිනමිණ

‘සහෘදයාම’ බුද්ධිමත් ශ්‍රාවකයන් වෙනුවෙන්මයි

 l සුරංග හපුතොට

ගීතයට සංගීතයට යා යැකි දුර, අවබෝධයෙන් නොදත් බොහෝ දෙනා අවර ගණයේ නිර්මාණ බිහි කරන යුගයක, ගීතයක නියම රස නොදන්නාකමින් අවර ගණයේ ගීතයන්ට පෙම් බඳින යුගයක, 70, 80 දශකවල සිට ශ්‍රී ලාංකේය ශ්‍රාවක හදවත් වින්දනයේ උපරිමයට ගෙන යමින් අමන්දානන්දයට පත් කළ සුභාවිත ගීය යළි මතකයේ රඳවන්නට, ඒ වෙනුවෙන් යමක් කරන්නට සහ ගීතයක රස විඳීම කෙබඳු වූවක්ද කියා මනාව පසක් කරන්නට සොඳුරු වෑයමක යෙදෙන, කලාවට ලැදි ඔහු සුරංග හපුතොට නම් විය. මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධරයෙකු ලෙස සේවයේ යෙදෙන අතරවාරයේ ම ගී වින්දනය සඳහා වූ සංවාදාත්මක වැඩසටහනකට ජීවය දෙන ඔහු සමඟ රසමංජරියෙන් මේ කතාබහ යුගයේ කාලීන අවශ්‍යතාවක් වූ සුභාවිත ගීතය වෙනුවෙන් කැප වූ සංගීතමය වැඩසටහනක වතගොත පිළිබඳව ය.

l මොකක්ද මේ වැඩසටහන?

මේක ඇත්ත ම ගීත රසවින්දනය මුල් කරගත් සංවාදාත්මක වැඩසටහනක්. 70,80 දශකවල ඉඳලා මේ දක්වා බිහිවුණු සුබාවිත ගීත එකතු කරගෙන තමයි අපි මේ සංගීත වැඩසටහන පවත්වන්නෙ. "සහෘදයාමය" නමින් පවත්වන මේ වැඩසටහනේ දී අපි ගී රස වින්දනයට මූලිකත්වයක් දෙනවා. සරලව කියනවා නම් ගීතයක් කොහොමද ලියවිලා තියෙන්නෙ, මොකක්ද ඒ ගීතයේ සැබෑ අරුත, ඒ ගීතය රසවිඳින්නෙ කොහොම කියන දේවල් තමයි මේ වැඩසටහනට අන්තර්ගත වෙන්නෙ. 2018 "සහෘද යාමය" පළමු වැඩසටහන පැවැත්වෙන්නෙ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ. පෙබරවාරි 23 වෙනිදා සවස 7.00ට ආරම්භ වෙනවා. ගීත රසවිඳින්න එකතු වෙන්නෙ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්තනායක එම් හේරත් මහතා.

l "සහෘදයාමය" ආරම්භය සිදු වුණ ආකාරය ගැන කියනවා නම්?

2015 දි තමයි අපි මේක පටන් ගත්තෙ. ලොකුවට පටන් ගත්තු වැඩක් නෙවෙයි. අපි සිංදු අහන්න කැමති යාළුවො පස්හය දෙනෙක් එකතු වෙලා පොඩි වැඩසටහනක් කරමු කියලයි පටන් ගත්තෙ. මුලින් අපි සිංදු අහන්න පටන් ගත්තා. ඊට පස්සෙ තමයි නිකම් ම සිංදුවක් අහනවට වැඩිය එතනින් එයාට යන්න පුළුවන් විදිහෙ දෙයක් කරන්න ඕනෙයි කියන අදහස ආවෙ.

පුද්ගලිකව මම රත්න ශ්‍රී විජේසිංහ, බන්දුල නානායක්කාරවසම් වැනි කලාකරුවන් එක්ක තනි තනිවම වැඩසටහන් කිහිපයක් කරලා තියෙනවා. ගීතයක යටගියාව ගැන හොයන්න ඒ කාලෙ ඉඳල ම මට ලොකු කුතුහලයක් තිබුණා. ගීතය වෙනුවෙන් දෙයක් කරන්න තියෙන ඕනකමටයි මේ වගේ වැඩසටහනකට අතපෙව්වෙ. මුල්කාලෙ ලොකු සංවිධානාත්මක බවක් තිබුණෙ නෑ. අපි කිහිපදෙනෙක් ඉස්කෝලවලට එහෙම ගිහින් අවසර අරගෙන, සිංදුවක් දෙකක් කියලා, ඒ සිංදු රසවිඳින විදිහ දරුවන්ට කියලා දුන්නා. 2016 අවුරුද්දෙ ඉඳන් තමයි අපි මේ කටයුත්ත විධිමත්ව කරන්න තීරණය කළේ. මම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ කරන එකත් මට මේ වැඩේට ලොකු ශක්තියක් වුණා. මොකද රාජකාරි මට්ටමෙන් තරුණ කඳවුරුවල සහ නොයෙකුත් සමිති සමාගම්වල උදවියත් එක්ක මුහු වෙලා කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවනෙ. ඉතින් අපි තරුණ කඳවුරු එක්ක එකතු වෙලා ගී රස වින්දනය කියන දේ ඉදිරියට අරන් යන්න කටයුතු කළා. මුල් කාලෙත් අපි රෝහල්වල රෝගීන් වෙනුවෙන් නොමිලේ වැඩසටහන් පවත්වන්න කටයුතු කළා. අපේ වැඩසටහන තවත් විධිමත් කරගන්න හිතාගෙන තමයි අපි අත්තනායක එම්. හේරත් මහතාව මේ වැඩසටහනට සම්බන්ධ කරගත්තේ. එතුමා මගේ ගුරුවරයෙක්. එතුමත් එක්ක එකතු වෙලා අපි මේ වැඩසටහන වසරක් ගාණෙ කරගෙන යනවා.

l මේ වෙනුවෙන් එකතු වෙන පිරිස ගැන සඳහනක් කරමු නේද?

"සහෘදයාමය" වෙනුවෙන් සංගීතය සපයන්නෙ "තාල" කියන සංගීත කණ්ඩායම. සංගීතය මෙහෙයවන්නෙ විශාරද මහේෂ් අකලංක. ඔහු සංගීත ගුරුවරයෙක්. මේ වැඩසටහනත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න සියලු දෙනාම වගේ විශාරද මට්ටමේ සංගීත ගුරුවරු. වයලින් එක වාදනය කරන්නෙ කැන්ඩි හිල්වුඩ් විද්‍යාලයේ සංගීත සර් නුවන් දිසානායක. එතනින් එහාට ගීත ගායනයෙන් එකතු වෙන්නෙත් විශාරද මට්ටමේ අයමයි. ඊට අමතරව 2014, 15, 16 අවුරුදුවල සමස්ත ලංකා ජන ගායනාවලින් පළමු තැන දිනාගත් ශිෂ්‍යයන් දෙන්නෙකුත් ගීත ගායනයෙන් එකතු වෙනවා. මම කරන්නෙ "සහෘදයාමය" වැඩසටහන මෙහෙයවන එක. මේ වැඩසටහන සංවාදාත්මකවයි ඉදිරියට ගලාගෙන යන්නෙ. හැම අවුරුද්දෙ ම "සහෘදයාමය" මුල්ම වැඩසටහන කෙරෙන්නෙ ප්‍රියංගනී පෙතන්ගොඩ කියන අපේ ප්‍රාදේශීය ලේකම්තුමියගේ සම්පූර්ණ අනුග්‍රහය සහ ආශිර්වාදය ඇතිව. ඇත්තෙන් ම එතුමියගේ ආශිර්වාදය සහ අනුග්‍රහය තමයි මේ වැඩසටහනේ දියුණුවේ රහස. ඒ දේ මේ වෙද්දි අපිට ලොකු ශක්තියක් වෙලා තියෙනවා. ඒ වගේ ම මේ වැඩසටහන වෙනුවෙන් විශාල වියදමක් දරන්න වෙනවා. හොයලා බලලා කැමැත්තෙන් ම අනුග්‍රහය දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න පිරිසක් මාවනැල්ලෙ මේ වෙනුවෙන් ම සැදීපැහැදී ඉන්නවා. අපි මේ වැඩසටහනේ දී ගීත 15ක් ගායනා කරනවා. මේක ප්‍රේක්ෂකයා එක්ක කරන සංවාදාත්මක වැඩසටහනක්. ගීතය කියන්නෙ මේකයි, ගීතය රසවිදින්නෙ මෙහෙමයි, ඇත්තට ම ගායකයා ලියලා තියෙන්නෙ මේ අර්ථයෙන්. නමුත් අපි වටහාගෙන තියෙන්නෙ මේ අර්ථය, වර්තමානයේ ගීත කලාව තියෙන්නෙ කොතැනද වගේ දෙවල් ගැන කෙරෙන සාකච්ඡාවක් එක්ක ඉදිරියට ගලාගෙන යන වැඩසටහනක් මේක.

l මේ වැඩසටහනේ වර්තමාන හිමිකරු වගේ ම මෙහෙයවන්නා විදිහට ඔබ ගැනත් යම් හැඳින්වීමක් කළොත්?

මම සුරංග හතුතොට. ඉන්නෙ මාවනැල්ලෙ. පින්නවල මධ්‍ය මහා විද්‍යාලයෙන් තමයි ඉගෙනගත්තෙ. එතනින් පස්සෙ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. ඒත් ඒ කිසිම තැනකදි මම සංගීතය විෂයක් විදිහට හදාරලා නෑ. පැහැදිලිවම මට ගීත ගායනා කරන්නවත්, වාදනය කරන්නවත් බෑ. ඒත් මට හොඳට විඳින්න පුළුවන්. ගීතය හොඳින් ඇහෙනවා වගේ ම දැනෙනවා. ඒ වගේ ම සංගීතය ගැන විශාල ඇල්මක් තියෙනවා. අද කාලෙ ගත්තම මේ සුබාවිත ගීත කලාව පැත්තෙන් ලොකු හිඩැසක් තියෙනවයි කියන එක ගීතයත් එක්ක මුහුවෙලා කටයුතු කරද්දි මට පේන්න ගත්තා. ඒ හිඩැස පුරවන්න ගත්ත පුංචි උත්සාහයක් තමයි මේ වැඩසටහන. මගෙ මුල්ම රස්සාව වුණේ ගුරු වෘත්තිය. මේ වෙනකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිවරයෙක් විදිහට වැඩ කරගෙන යනවා.

l මේ වැඩසටහන වෙනුවෙන් ඔබේ ඉදිරි ඉලක්ක මොනවද?

මේ අවුරුද්දෙ අපිට අලුත් ඉලක්කයක් තියෙනවා. ගැබිනි මව්වරුන්ට මේ වැඩසටහන සංගීත චිකිත්සාවක් විදිහට නොමිලේ කරන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපේ කණ්ඩායමේ වෛද්‍යවරු කිහිප දෙනෙකුත් වැඩ කරනවා. ඉතින් අපි තෝරගත්ත රෝහල් කිහිපයකට ගිහින් ස්වේච්ඡාවෙන් ඒ ගැබිනි මව්වරු වෙනුවෙන් වැඩසටහනක් කරන්නයි බලාපොරොත්තුවෙන් ඉන්නෙ. සංගීතයෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන් කියන දේ අපි විශ්වාස කරනවා. හැම අවුරුද්දෙ ම අපි පළවෙනි වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ආරම්භ කළාට පස්සෙ මාසෙට එකක් දෙකක් වගේ අපිට වැඩසහටන්වලට ආරාධනා ලැබෙනවා. ඒ වගේ ම තමයි ගිය අවුරුද්දෙ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පවත්වපු වැඩසටහනට අපි කිසිම ප්‍රචාරයක් නොදී කරලත් කාර්ය මණ්ඩලයේ අයත්, ඒ අයගේ පවුල්වල උදවියත් එක්ක පන්සීයක විතර පිරිසක් සහභාගි වුණා.

මේ පාර අපි ප්‍රචාරණ කටයුතුවලටත් යම්කිසි අවධානයක් දීලයි තියෙන්නෙ. ඒ නිසා දාහක විතර පිරිසකගේ සහභාගිත්වය ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා, පෙබරවාරි 23 වෙනිදා පැවැත්වෙන සහෘද යාමය වැඩසටහනට. ඉතින් අපි ආරාධනා කරනවා තරු එළියෙ ගී අහන්න එන්න කියලා. ඒ වගේ ම තව එක අරමුණක් තියෙනවා. අපි මේ වැඩසටහන්වලදි කියන්නෙ වෙනත් අයිතිකරුවන්ගේ ගීතනෙ. ඉතිං දවසක ඒ ගීතවලට කර්තෘ භාගය ගෙවන්න හිත ඇතුළෙ පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. අපිට මේ වැඩසටහන්වලට යම්කිසි පිරිවැයක් දරන්න වෙනවා. ඒත් ඉදිරියට කරන වැඩසටහන්වලින් අපි ගායනා කරන ගීතවල අයිතිකරුවන්ට කර්තෘ භාගය ගෙවන්න පුළුවන්නම් හොඳයි.

ඒක කවදා කොයි විදිහට සිද්ධ වෙයිද දන්නෙ නෑ. දැනට බලාපොරොත්තුවක් විතරක් තියෙනවා හිතේ. පළවෙනි වතාවට අපි මේ පාර වැඩසටහනෙ දි දෙමළ සිංදුවක් ගායනා කරනවා. රෝජා ෆිල්ම් එකේ සිංදුව තමයි කියන්න හිතාගෙන ඉන්නෙ. ගීතය කියන දේ විඳින්න භාෂාව ප්‍රශ්නයක් නෙවෙයි කියන්නයි අපි උත්සාහ ගන්නෙ. ඉදිරි වැඩසහටනක දි ඉංග්‍රීසි ගීතයක් ගායනා කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

l වර්තමාන පරපුර පැරණි සුබාවිත ගීතයට ළං කරවන එක මොන වගේ අත්දැකීමක්ද?

ඇත්තට ම සමහර ඉස්කෝලවලට අපි ගිහිල්ලා ඉඳගන්නකොට, විශේෂයෙන් ම බාලිකා විදුහල්වලට... අපිට පොඩි සැකයක් තියෙනවා. මේ ළමයි මේ ගීත අහයිද කියලා. එහෙම සැකයකිනුයි අපි යන්නෙ. ඒ නිසාම අපි වැඩසහන් දෙකකට ලෑස්තිපිට යනවා. මේ අය මේ ගීත අහන්න අදිමදි කරනවා වගේ නම් අපි වැඩසටහනේ අන්තර්ගතයේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා ඊට වඩා ටිකක් විතර අලුත් ගීත කිහිපයකුත් කියන්න සූදානම් වෙලා යනවා. ඒත් කවදාවත් එහෙම කරන්න වෙලා නෑ. ඒ අය කැමැත්තෙන් ඒ ගීත රසවිඳිනවා. ඇත්තට ම මේ දේවල් මිනිස්සු අතරට නොයෑම සහ ඒ නිසාම ඔවුන් ඒ ගීත නියමාකාරයෙන් රසවිඳින්න දන්නෙ නැතිකම තමයි තියෙන්නෙ.

l සුබාවිත ගීතය වෙනුවෙන් වෙන් වුණු වැඩසටහන්වල අඩුවක් දකින්න තියෙන මේ වගේ කාලයක සහෘද යාමයෙන් ඉටු කෙරෙන මෙහෙවර ගැන කතා කරනවා නම්?

ඇත්තෙන් ම රසවිඳින්න පුළුවන් විදිහෙ වටිනාකමක් තියෙන ගීත අද අපෙන් ඈත් වෙලානෙ තියෙන්නෙ. දැන් මිනිස්සු හුරු වෙලා ඉන්නෙ රිද්මයටනෙ. රිද්මයත් එක්ක විතරයි බැඳිලා ඉන්නෙ. ඉස්සර සිංදු ගත්තම අර්ථය, ගායකයාගේ ප්‍රතිභාව වගේ හැමදේම ගොඩක් හොඳ මට්ටමක තිබුණා. ඒත් දැන් ඒ දේවල් මිනිස්සු අතරට යන්නෙ නැති ප්‍රශ්නයක්නෙ තියෙන්නෙ. සමහර ගීත අද අහන්නත් නෑ. අහම්බෙන් හරි ඇහුණම තමයි තමයි තේරෙන්නෙ මේ තරම් විඳින්න පුළුවන් සිංදු ඒ කාලෙ තිබුණද කියලා. අනික තමයි ගායකයන්ව, සංගීතඥයන්ව අද ලේබල් කරගෙනයි ඉන්නෙ. අමරදේව මාස්ටර්, මහගමසේකර වගේ දක්ෂ නිර්මාණකරුවන්ව මිනිස්සු හිතාගෙන ඉන්නෙ ඒ අය ඉන්දියානු රාගධාරි සංගීතය ආශ්‍රයෙන් විතරක් නිර්මාණ බිහි කරපු අය කියලයි. ඒත් ඇත්තට ම එහෙම නෑ. උදාහරණයක් විදිහට කියනවා නම් "ගයන ගැයුම් රඟන රැගුම් ඉවත හෙළයි සෝක සුසුම්" කියලා එක්තරා ගීතයක් තියෙනවා. ඒක චිත්‍රපටයක ක්ලබ් එකක ගායනා කරන ගීතයක්. ගොඩක් අය නොදන්නවා ඇති ඒක ලියලා තියෙන්නෙ මහගමසේකරයන්. සංගීතවත් කරලා තියෙන්නෙ අමරදේවයන්. ඒ වගේ ම "සිරිසාර බුලත් විට කාලා බලන්" කියන ගීතය ලියලා තියෙන්නෙත් මහගම සේකර. සංගීතය අමරදේවගෙන්. "ආරිච්චි බෝරිච්චි කම්බිකූරු බෝලමාල" ගීතයත් අන්න ඒ වගේ. ඔය කිව්ව පළවෙනි සිංදුව කැලිප්සෝ ස්ටයිල් එකට හදපු එකක්. දෙවෙනි එක නාඩගම්වල පටන් ගන්නකොට ම බහුබූතයගෙ නැටුම තියෙන්නෙ නන් නානේ නා කියලා.. අන්න ඒ ස්ටයිල් එකට හදපු එකක්. එතකොට "සිරිසාර බුලත්විට" ගීතය කපිරිඤ්ඤා ස්ටයිල් එකට හදපු එකක්. ඔය දේවල් දැන් මිනිස්සු දන්නෙ නෑනෙ. මිනිස්සු සංගීතය ගැන හිතනපතන විදිහෙ වෙනසක් කරලා, සුබාවිත ගීතය නියමාකාරයෙන් රසවිඳින්න පුළුවන් තැනට ඒ අයව අරගෙන එන්නයි අපිට ඕනෙ. ඉතින් ඒ අරමුණත් එක්ක දැනට මේ වැඩසටහන සාර්ථක තැනක තියෙනවා කියලා කියන්න පුළුවන්.

කාංචනා සිරිවර්ධන


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...