යන සල්ලි | දිනමිණ

යන සල්ලි

 ප්‍රජාතන්ත්‍රවාදය යන වචනයට විවිධ අර්ථකථන ඉදිරිපත් කර තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය යන වචනයේ ඉංග්‍රීසි වචනය ඩිමොක්‍රසි යන්නයි. එය ඩිමොස් සහ ක්‍රාතොස් යන ග්‍රීක් වචන දෙකේ එකතුවයි. ඩිමොස් යනු මහජනතාවයි. ක්‍රාතොස් යනු පාලනයයි. එහෙයින් ප්‍රජාතන්ත්‍රවාදය යන වචනයට මහජනතාවගේ පාලනයයි.

මහජනයා පාලනයට හවුල් වන්නේ ඔවුනගේ අභිමතය පළ කිරීමට ඡන්ද බලය පාවිච්චි කිරීමෙනි. ඩොනමෝර් සාමිවරයාගේ සභාපතිත්වයෙන් යුතු ඩොනමොර් කොමිසම මඟින් සර්ව ජන ඡන්ද බලය ශ්‍රී ලංකාවට හඳුන්වාදෙනු ලැබීය. ඒ 1931 දීය.

සර්වජන ඡන්ද බලය රහස් ඡන්දය, සමාන ඡන්දය පත්‍රිකා ඡන්දය සහ වැඩිහිටි ඡන්දය යන අංග ලක්ෂණවලින් යුක්තය. ගිය සතියේ ශ්‍රී ලංකාවාසි ජනතාව නැවතවරක් සිය සර්ව ජන ඡන්ද බලය පාවිච්චි කළහ.

මේ ඡන්ද විමසීම සඳහා රුපියල් බිලියන 4කට මදක් වැඩි මුදලක් වැයවන බවට ඇස්තමේන්තු කර තිබුණි. 2017 ජුනි මාසයේ මැතිවරණ දෙපාර්තමේන්තුව කියා සිටියේ මේ සඳහා රුපියල් බිලියන 3.5ක් වැයවන බවයි. එහෙත් 2017 දෙසැම්බරයේ අවසන් සතියේ කියාසිටියේ සේවක දීමනා වැඩිකිරීම් සහ සෙසු වියදම් වැඩිකිරීමට සිදුවීම නිසා පළාත් පාලන ඡන්ද විමසීමට රුපියල් බිලියන හතරකට වැඩි මුදලක් වැය කළ යුතුව තිබෙන බවයි.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඉහළ මිලක් ගෙවිය යුතුයැයි කියමනක් තිබේ. ඒ කියමන සත්‍යවී තිබේ. අලුත පත්වූ සභික සංඛ්‍යාව වැඩිවූවාසේම, ඔවුන් නඩත්තු කිරීම සහ පහසුකම් සැපයීම වෙනුවෙන් දැන් පෙරට වඩා විශාල මුදලක් වැය කළ යුතුව තිබේ.

ශ්‍රී ලංකාවේ මැතිවරණ වියදම ක්‍රමයෙන් ඉහළ යන ලකුණු පෙන්නුම් කරයි. 2013 මාර්තු මාසයේ පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරන ලද ලේඛණයකින් දස වසරක් තුළ ඡන්ද විමසීම් සඳහා වැය වූ මහජන මුදල ක්‍රමයෙන් වැඩිවූ අන්දම විදහා දැක්වේ.

ඒ අනුව 2005 ජනාධිපතිවරණයට වැය වූ මුදල රුපියල් දස ලක්ෂ 745 කි. 2010 ජනාධිපතිවරණය සඳහා වැයවූ මුදල එමෙන් දෙගුණයකටත් වැඩි මුදලකි. එනම් රුපියල් දස ලක්ෂ 1800 කි. 2015 ජනාධිපතිවරණය පිළිබඳ එම ලියවිල්ලේ සඳහන් වන්නේ නැත. එහෙත් 2015 ජනපතිවරණය සඳහා රුපියල් දස ලක්ෂ 2500ක් වැයව තිබේ. සැබෑ වියදම එමෙන් දෙගුණයක් වන බවට ඒ අවධියේ මාධ්‍ය වාර්තා පළවිය.

මැතිවරණ වියදම්

දිගින් දිගටම සෑම මැතිවරණයකම වියදම වැඩිවීමආසියාතික රටවල දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් බවට පත්ව තිබේ. බංගලි දේශයේ සහ ඉන්දියාවේ මැතිවරණ වියදම වැඩිවීම. එරට ආර්ථිකයට බලපාන අන්දම ගැන සිවිල් සංවිධාන හා බුද්ධිමත් කණ්ඩායම් දේශපාලන සංවාදයකට අරමුණු කරගත්හ.

ලොව මැතිවරණ වියදම් අතර ඉහළම වියදමක් සිදුවන්නේ අමෙරිකානු මැතිවරණ ව්‍යාපාරයටය. 2014 ඇමෙරිකානු ජනාධිපතිවරණයේ වියදම ඩොලර් බිලියන 6.5කි. ඉන්දියාවේ 2014 මැතිවරණ වියදම ක්‍රොර් 3500කි. ඉන්දියාවේ මැතිවරණ වියදම අමෙරිකාවේ මට්ටමට ළඟාවන බවට චෝදනා කළ විද්‍යාර්ථියෝ ර‍ටේ දිළිඳු බව තුරන්කිරීම, යටිතල පහසුකම් සැපයීම, පානීය ජල පහසුව සැපයීම, පවුල් සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම් සඳහා ඇති මහජන මුදල් සම්පත් මෙසේ වැය කිරීම අසාධාරණයක් යැයි හඬ නැඟූහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මැතිවරණ වියදම් අඩුකිරීමේ යෝජනා ගැන කරුණු සොයා බැලීමට ඉන්දියාවේ වගකිවයුතු අංශ අවධානය යොමු කර තිබේ.

ශ්‍රී ලංකාවේ මැතිවරණ සඳහා යන වියදම් හා දේපොළ නාස්ති පිළිබඳව මැතිවරණ නිරීක්ෂකයන් මෙන්ම සිවිල් සංවිධානද කණස්සල්ල පළ කළ අවස්ථා වාර්තා විය.

මැතිවරණවල දී රාජ්‍ය දේ‍පොළ අවභාවිතා කිරීම මේ අයුරින්ම හිස එසවූ ව්‍යසනයකි. 2015 ජනපතිවරණයේ රාජ්‍ය දේපොළ අවභාවිතාවන් පිළිබඳව ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර් නැෂනල් ආයතනය දෙසැම්බර් මුල් සතියේ සිට කරුණු හෙළි දැක්වීය. එවැනි ක්‍රියා මඟින් රාජ්‍ය ආදායම අහිමිවීම ආර්ථිකයට සිදුවු පාඩුවකි. ඉන්දියා මැතිවරණ කොමිසම එරට ඡන්ද අපේක්ෂකයනට ආචාර ධර්ම රාශියක් සහ අනුගමනය කළ යුතු උපමාන රාශියක් ඉදිරිපත් කර ඇත. මේ පිළිබඳව එරට රජය ද දැඩි ලෙස ක්‍රියාකරනු දැකීමට පිළිවන.

එහෙත් පසුගිය සතියේ පළාත් පාලන මැතිවරණයේදී රාජ්‍ය දේපළ අවභාවිතාව පිළිබඳ පැමිණිලි අසන්නට ලැබුණේ නැති තරම්ය. එසේම පෝස්ටර් කටවුට් ආදියේද අඩුවක්දක්නට ලැබිණි. පෝස්ටර් කටවුට් වසංගතය මොනතරම් රටේ ආර්ථිකයට බරක් ද යත් ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල් ආයතනය පෝස්ටර් සහ මැතිවරණ ප්‍රචාරක දැන්වීම් සඳහා යන නාස්තිකාර වියදම අඩුකරන මෙන් දේශපාලනඥයන්ගෙන් ඉල්ලීමක්ද කළේය.

මැතිවරණ පෝස්ටර් සඳහා රුපියල් ලක්ෂ 20 – 30 වියදම් කරන අපේක්ෂකයන් සිටින බවට ආරංචි පැතිර යන බව 2010 මාධ්‍ය සාකච්ඡාවන්හිදී ද ප්‍රකාශයට පත්විණි.

ඉන්දීය ආදර්ශ

2015 අගෝස්තු මහ මැතිවරණය සඳහා රුපියල් බිලියන 4ක් වැයවෙතැයි ඇස්තමේන්තු කර තිබුණි. එහෙත් අදාළ අංශ වියදම් අඩු කිරීමේ උත්සාහයක නිරත විය. යහපත් ප්‍රතිඵලද ලැබුණි.

මැතිවරණ කොමසාරිස්වරයා සියලු පාර්ශ්වයන් දැනුවත් කරමින් කියා සිටියේ නීතිවිරෝධිව පෝස්ටර් කටවුට් මුද්‍රණය කර ඒවා මැතිවරණ ප්‍රචාරයට යොදා නොගන්නා ලෙසයි. මේ ඉල්ලීමට මැතිවරණ අපේක්ෂක සහයෝගය ලැබුණි.

ඉන්දීය මැතිවරණ නීති රීතිවලට අනුව රජයේ ගොඩනැඟිලිවල ප්‍රචාරක පුවරු සවිකිරිම්, දැන්වීම් හා මැතිවරණ ප්‍රචාරක පත්‍රිකා ඇලවීම තහනම් ය. එසේම රජයේ තානායම්, රාජ්‍ය වෙළෙඳ සල් ආදියේ දේශපාලන රැස්වීම්, ආහාර පාන, සාද, ප්‍රීති උත්සව පැවැත්වීම සපුරා තහනම්ය.

ගිය සතියේ පළාත් පාලන මැතිවරණයේ දී නීති විරෝධි පෝස්ටර් ව්‍යාපාර, වාහන පෙළපාළි ප්‍රචණ්ඩකාරී ක්‍රියා, දේශපාලන මැරකම් පැවතුණේ අවම වශයෙනි. පොදුවේ ගත් කල එය ඉතාම සාමකාමි ස්වරූපයක් සහිතවීම නිසා මහජන මුදල් නාස්තිය අවම කළ මැතිවරණයකි. මෙවැනි සාමකාමි මැතිවරණ දැකීමට පිළිවන්වන්නේ ස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක පමණය. ස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ යහපත් ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමට හේතුවෙයි.

රටක දේශපාලන අස්ථාවරත්වය ඒ රටේ ව්‍යාපාරික කටයුතුවලට, කොටස් වෙළෙඳ පොළට මෙන්ම සංචාරක කර්මාන්තයට ද බලපෑම් එල්ල කරයි. ශ්‍රී ලංකාව පිළිබඳව මෙවැනි පුවත් පළවුවද, විදේශ වෙළෙඳ දූත පිරිස් නොකඩවා ලංකාවට පැමිණියහ. පාකිස්ථානු, තායිලන්ත හා මැලේසියානු වෙළෙඳ දූත පිරිස් ශ්‍රී ලංකාවට පැමිණි අතර සංචාරක පැමිණීමද අඩුවුනේ නැත.

ජීඑන්ඩීඊඑම් යනු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මඟින් සමාජයට හා ආර්ථිකයට වන්නා වූ හානි පිළිබඳව සොයා බැලීමේ නිරත සංවිධානයකි. ප්‍රචණ්ඩ ක්‍රියා විශ්ලේෂණය මඟින් ඔවුහු ඒ රටවලට සිදුවන හානි අවමකිරීමේ ලා ක්‍රියා කාරී වෙති. ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හා පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 1960 සිට වැඩිවීමක් දක්නට ලැබෙන බව කියන එම සංවිධානය 1977 හඳුන්වාදෙන ලද ලැයිස්තුවෙන් තරඟ ක්‍රමය තවතවත් ප්‍රචණ්ඩ ක්‍රියාවනට අනුබල දෙන ක්‍රමයක් යැයි තර්ක කරයි.

මැතිවරණයකින් පසු එකිනෙකා මරා ගැනීමේ ක්‍රමය නිසා ජීවිත හානි සහ දේපොළ හානි සිදුවන අතර නැවත ආණ්ඩු මාරුවීමෙන් පසු වන්දි ගෙවීම ශ්‍රී ලංකාවේ අත්දුටු ප්‍රතිකාරයයි. මේ සඳහා වැයවන්නේ ද මහජන මුදල් ය. මෙයද මැතිවරණ ක්‍රමය නිසා උපන් ධන නාස්තියකි. හිංසාකාරී දේශපාලන සංස්කෘතිය යන වචනය තුළම මේ සියලු අපරාධ හා ධන නාස්ති ඇතුළත් කිරීම ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන්නකි.

නීති ප්‍රතිසංස්කරණ

එහෙයින් මේ ක්‍රමයට තිතක් තබන මැතිවරණ නීතිරීති ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව කලක සිට ඉස්මතුව තිබුණි.

නව නීති රීතිවලට පින්සිදුවන්නට සාමකාමී මැතිවරණයක් පැවැත්වුවත් දෙසැම්බර් 9 සිට ජනවාරි 10 දින දක්වා වූ කාලය තුළ හිංසාකාරි ක්‍රියා සිදුවූ බවට පොලිසියට පැමිණිලි ලැබී තිබේ. එම කාලය තුළ පැමිණිලි 84ක් ලැබී ඇතැයි පොලිසිය කියයි.

මේ පැමිණිලි 84 අනුව ක්‍රියාකාරී වු පොලිසිය පුද්ගලයන් 42ක්අත්අඩංගුවට ගෙන ඇත. ඔවුනගෙන් 8ක් මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් යැයි පොලිසිය කියයි. සිද්ධි 11ක් හිංසාකාරි වූ තුවාල සිදුකිරීම් ය. සිද්ධි 36ක් තර්ජනය කිරීම් හා බියවැද්දීම්ය. එක සිද්ධියක් නාම යෝජනා පත්‍රය උදුරා ගැනීමකි. සිද්ධි 07ක් පෝස්ටර්වලට හානි කිරීම් ය. සිද්ධි 06ක් ගල්ගසා හානි කිරීම්ය. සිද්ධි 2ක් නිවාස බිඳ සොරකම් කිරීම්ය. තවත් සිද්ධි 2ක් මුදල් ප්‍රදානය කිරිම්ය. තවත් සිද්ධි දෙකක් මැතිවරණ රැස්වීම්වලට ගල්ගසා හානි කිරීම්ය. මේ හැර මැතිවරණ නීති උල්ලංඝණ ක්‍රියා පිළිබඳ පැමිණිලි ද තිබේ.

මෙයට පෙර පැවැති මැතිවරණවල දී සිදුවු ප්‍රචණ්ඩ ක්‍රියා අතර වාහන ගිනිතැබීම්, වෙඩි තබා මරණ සිදුකිරීම්, මැතිවරණ වේදිකා ගිනි තැබීම්, පක්ෂ කාර්යාලවලට පහරදීම ආදිය වාර්තා විය. අනුරාධපුර සිදුවූ දේශපාලනය මුල්කරගත් බෝම්බ ප්‍රහාරයකදී පුද්ගලයෝ 28ක් මිය ගිය අතර මරණකරුවන් වෙනුවෙන් වන්දි ඉල්ලා සිටීමක් වාර්තාව තිබේ. දේශපාලන වේදිකාවලට බෝම්බ ගැසීම් සිදුවිය.

නව මැතිවරණ ක්‍රමය ධන නාස්තියට හා සමාජ විසමතාවට සංවර්ධනාත්මක ආකල්ප එකතු කර ඇති අතර මහජනතාව ද මැතිවරණ ක්‍රියා සඳහා මූල්‍ය ආධාරදීමේ පිළිවෙතින් ඈත්වන බව පෙනෙන්නට තිබේ.එසේම කැවුම් කිරිබත් කා සතුට විඳගන්නා අතර පරාජිතයාට හිරිහැර කිරීමේ සිව් පා ගතිගුණ අතහැර දැමීමේ ප්‍රවණතාවක්ද එමඟින් දිස්වේ. එහෙයින් නව මැතිවරණ සංස්කෘතියක ආරම්භයක් දක්නට ලැබේත. සම්පත් සහ ධන නාස්තිය අඩුකිරීමේ මැතිවරණ සංස්කෘතිය රටේ ආර්ථික සෞඛ්‍යයට හේතුවේ.

කරුණාරත්න අමරතුංග


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...