තවත් ඡන්දයක් අහවරයි | දිනමිණ

තවත් ඡන්දයක් අහවරයි

 මේ ලිපිය පත්තරේ පළවන විට පළාත් පාලන ඡන්දෙ අහවර වෙලා. ජය පරාජයන් ගැන ජයග්‍රාහකයන් වගේම පරාජිතයනුත් නොයෙක් අර්ථකථන සපයන කාලේ. ඡන්දෙට කලින් වේදිකාවලින් ඇසුණු බැණ අඬගැසිලි, පාරම්බෑවිලි වෙනුවට චෝදනා හා ප්‍රතිචෝදනා තමා වැඩි වශයෙන් අපට මේ දවස්වල අහන්න සිද්ධ වෙන්නෙ. මේක තමා පසුගිය මැතිවරණ ඉතිහාසය දිහා ආපස්සට හැරිලා බලන විට අපේ ඇස් හමුවේ මැවෙන පොදු චිත්‍රය.

සාමාන්‍යයෙන් ගමේ ඡන්දය, පුංචි ඡන්දය වැනි නම්වලින් ‍මෙතෙක් කල් හඳුන්වා දීපු පළාත් පාලන මැතිවරණයේ මෙවර නම් ඒ පුංචි ගතිය දකින්න ලැබුණේ නැති බව අපි කවුරුත් හොඳාකාරවම දන්නවා. ඒකට ප්‍රධාන හේතුව තමා රටේ හැම දේශපාලන පක්ෂයක්ම වගේ මේ මැතිවරණය තම තමන්ගෙ බලය උරගා බලන අවස්ථාවක් බවට පත් කරගැනීම. දේශපාලන විචාරකයන් කියපු විදිහට මෙවර පළාත් පාලන මැතිවරණය ලංකාවේ දේශපාලන ගමන් මඟේ කිසියම් හැරවුම් ලක්ෂයක් සලකුණු කරන එකක් බවට පත් වුණා. හැම දේශපාලන පක්ෂයකම වගේම ඒ පක්ෂවල නායකයන්ගේත් අනාගතය කෙරෙහි ලොකු බලපෑමක් ඇති කරන මැතිවරණයක් බවට මෙය පත් වන බවයි අනාවැකි පළ කරමින් විචාරකයන් කියා සිටියේ.

රටේ ජනතාවගේ පැත්තෙන් බලන විට මේ මැතිවරණය වැදගත් වන්නේ කෙසේද කියා බලන එක තමා වැදගත්ම කාරණය හැටියට මම දකින්නේ. ජනතාවගේ පැත්තෙන් එසේ බලන කළ මුලින්ම පෙන්වා දිය හැකි වන්නේ මෙතෙක් කල් ජනතාවගේ මහත් පිළිකුලට ලක් වූ මනාප ක්‍රමය ඉවත් වීම ඔවුන් ලැබූ ලොකු ජයග්‍රහණයක් බවයි. මනාප බලු පොරය නමින් ජනතාව විසින් හඳුන්වනු ලැබූ ඒ ඡන්ද ක්‍රමය වෙනුවට කොට්ඨාසයට වග කියන මන්ත්‍රීවරයකු පත් කර ගැනීමට අවස්ථාව ලැබීම රටේ ප්‍රජාතන්ත්‍රවාදී ගමන් මග තවත් ශක්තිමත් කරන ලක්ෂණයක් ලෙසත් හඳුන්වා දෙන්න පුළුවන්.

හැබැයි ඒත් එක්කම ජනතාවගේ ජීවන බර තවත් වැඩි කරන සංසිද්ධියකුත් ඡන්ද ක්‍රමයේ ඇති වූ මේ වෙනසත් සමඟම සිදු වූ බව අමතක නොකළ යුතුයි. එය තමා ‍මෙපමණ කාලයක් මන්ත්‍රීවරුන් හාරදහස් ගණනකට පමණ සීමා වී තිබුණු ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රී ආසන සංඛ්‍යාව ඊට වඩා දෙගුණයකින් විතර ඉහළ යාම.

මෙයත් හරියට ජනතාවගේ ඔළුව අතගාලා ටොක්කක් ඇන්නා වගේ වැඩක්. මේ බර රටට දරන්න අමාරු බව මුල් දවස්වලම විචාරකයන් විසින් පෙන්වා දෙනු ලැබූවත් ඊට සාර්ථක ප්‍රතිචාරයක් දේශපාලනඥයන්ගේ පැත්තෙන් ලැබුණේ නැහැ. මේ ගැන මම එක්තරා වාමාංශික දේශපාලන නායකයකුගෙන් විමසූ විට කියා සිටියේ ඔවුන්ගේ පක්ෂයද ඊට එකඟ නොවුණත් යළිත් එය වෙනස් කරන්න ගියා නම් තවත් වසර කිහිපයකට මැතිවරණය කල් දැමීමට සිදුවන බවයි.

වැඩි වන මන්ත්‍රීවරුන්ට වැටුප් හා දීමනා ලබාදීමට වැය වන විශාල මුදලට අමතරව මින් ඉදිරියට ලංකාවේ හැම පළාත් පාලන ආයතනයකම ඉඩකඩ පුළුල් කරන්නත් ලොකු වියදමක් දරන්න සිද්ධ වෙනවා. ලංකාවේ දේශපාලන ආයතන දිහා බලන විට ලෝකයේ ලොකුම රටක වුණත් ඒ තරම් මන්ත්‍රීවරු සංඛ්‍යාවක් සිටිනවාද කියන ප්‍රශ්නය මතුවෙනවා.

පාර්ලිමේන්තුව, පළාත් සභා හා පළාත් පාලන වශයෙන් ක්‍රියාත්මක වන මේ ආයතනවල නඩත්තුව සඳහා වැය කරන අති විශාල ධනස්කන්ධයට සාපේක්ෂව ජනතාවට සැලසෙන සෙත මොකක්ද කියන ප්‍රශ්නය අලුත් පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වීමත් සමග ජනතාව පාරට බැහැලා ප්‍රශ්න කරනවා සිකුරුයි.

ඊයේ පෙරේදා රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳ පුවත්පත් සාකච්ඡාවකදී කරුණු දැක්වූ විගණකාධිපතිවරයා දැක්වූ අදහස් කිහිපයක් කෙරෙහි සමස්ත රටවැසියන්ගේම අවධානය යොමුවීම ඉතා වැදගත්ය කියා සිතෙනවා. මැතිවරණයක් ආසන්නව තිබියදී ර‍ජයේ ඉහළ නිලධාරියකු මෙසේ මාධ්‍ය ඉදිරියට පැමිණ රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳව බරපතල අනතුරු හැඟවීමක් කිරීම කෙතරම් සදාචාරසම්පන්නද කියා ඇතැමුන් නඟන ප්‍රශ්නයත් බැහැර කරන්න බැහැ.

ඔහුගේ විග්‍රහය පසුගිය අවුරුදු දහයක පමණ කාලපරාසයකට අයත්වන බව කියා සිටියත් බැලූ බැල්මට කෙනෙකුට හැඟී යන්නේ වර්තමාන රජයේ මූල්‍ය කළමනාකරණයට අදාළව පැවසූ දෙයක් හැටියටයි. කොහොම වුණත් විගණකාධිපතිවරයා ඒ ගණන් හිලව් ඉදිරිපත් කිරීමේ හරි වැරැද්ද රාජ්‍ය සේවා කොමිසම හෝ මැතිවරණ කොමිසමට තීරණය කරන්න ඉඩදීලා අපි ඔහු වගකීමකින් යුතුව හෙළිදරව් කළ දේ ගැන සළකා බලමු.

විගණකාධිපතිවරයා අවධාරණයෙන් කියූ කාරණය තමා මේ වන විට ලංකාවේ හැම පුරවැසියෙක්ම රුපියල් 417000 ක ණයකරුවකු බවට පත්ව සිටින බව. එසේම අයවැය ලේඛනය විහිළුවක් බවත් පසුගිය අයවැය ලේඛනයක් මඟින් කිසියම් කාර්යයකට වෙන්කළ මුදලින් සියයට පනහක් වියදම් කර නැති බවත් ඔහු කියා සිටියා. විගණකාධිපතිවරයා කළ බරපතළම ප්‍රකාශනය හැටියට මා සලකන්නේ රටේ සමස්ත ණය ප්‍රමාණය වයිමාගෙන් අහන්නය කියන කියමනයි. එවැනි හාස්‍යජනක ප්‍රකාශයක් නිකුත් කිරීම ඔහු වැනි උසස් නිලධාරියෙකුට තරම්වේදැයි යන ප්‍රශ්නය සාමාන්‍ය පුරවැසියකු තුළ වුවත් මතුවිය හැකි ගැටලුවක්.

රටේ බිම් මට්ටමේ ජනතාවට වඩා සමීප මන්ත්‍රීවරුන් දසදහසක් පමණ දැන් ගමේ හා නගරයේ පාලන ආයතනවලට අලුතෙන් පත් වී සිටිනවා.

මේ අය විවිධ දේශපාලන පක්ෂ මෙන්ම සියයට විසිපහක කාන්තා නියෝජනය ද සහිත ජනතා නියෝජිතයන් පිරිසක් බවත් අමතක කරන්න නරකයි. රටේ මූල්‍ය කළමනාකරණය අසාර්ථක වී රට ණයබරින් මිරිකී ඇතැයි රජයේ විගණකාධිපතිවරයාම ඉදිරිපත් වී පවසන මෙවැනි පසුබිමකදී රටේත්, ජනතාවගේත් යහපත වෙනුවෙන් මේ නවක මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් කෙබඳු කාර්යභාරයක් ඉටු කරයිද කියා රටම බලා සිටිනවා.

කමල් පෙරේරා
[email protected]


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...