ජුබිලි අම්බලම ගරා වැ‍ෙටයි? | දිනමිණ

ජුබිලි අම්බලම ගරා වැ‍ෙටයි?

 අද ‘සංහිඳ පාමුල’ සමඟ ඡායාරූප දෙකක් දැක්වෙයි. මෙම ඡායාරූප දෙකෙන් ම දැක්වෙන්නේ එකම ගොඩනැඟිල්ලකි. එක් ඡායාරූපයකින් දැක්වෙන්නේ එම ගොඩනැඟිල්ල කලින් පැවති ආකාරයයි. අනෙක් ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණය සඳහා එහි අයිතිය ඇති පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් පියස්ස ගලවා තාවකාලික තහඩු පියස්සක් සවිකර අවුරුදු ගණනක් ඒ ආකාරයෙන් ම තබා තිබියදී බිත්ති කඩා වැටී විනාශයට පත්ව ඇති ආකාරයයි. මේ ඓතිහාසික ගොඩනැඟිල්ල මෙසේ ප්‍රතිසංස්කරණයට සූදානම් කර වසර ගණනාවකි. කාලය ගෙවී ගියේ ය. මැතිවරණ ද පැවැත්විණි. එහෙත් ගොඩනැඟිල්ල පියසි ගලවා දමා ඒ ආකාරයෙන් ම තිබුණේ ය. එසේ වූ විට මෙසේ කඩා වැටීම අරුමයක් ද?

ගොඩනැඟිල්ල දැක්වෙන ඡායාරූපය ද එය මුල් කාලයේ (වසර සියයකට තරම් එපිට) ඉඳි කොට තිබූ ආකාරය පෙන්වන ඡායාරූපයක් නම් නො වේ. එදවස මෙම ගොඩනැගිල්ල ඉඳිකොට තිබී ඇත්තේ මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේ මෙන් විසල් දැවමුවා කුලුනු සහිත, කොට බිත්ති ඇති ගොඩනැගිල්ලක් ලෙසිනි. පසුව නවසිය හැටේ දශකයේ අගභාගයේ පමණ නගරයේ මහජන පුස්තකාලය බවට පත්කිරීම උදෙසා කොට බිත්ති වෙනුවට උස් බිත්ති මෙම ගොඩනැඟිල්ලට පැමිණ ඇත. වීදුරු තීරු සහිත ජනේල ඇතුළු ගොඩනැඟිල්ලේ පැරණි ස්වරූපයට නොගැළපෙන අංග එක් වී ඇත.

මෙම ගොඩනැඟිල්ල වනාහි ‘රුවන්වැල්ල නගර මධ්‍යයේ ඇති ඓතිහාසික ජුබිලි අම්බලමයි. එය අදින් අවුරුදු සියයකටත් පෙර ඉදිව ඇත්තේ මියගිය කාන්තාවක සිහිකරනු පිණිස ය. මියගිය කාන්තාව නමින් ‘ලිලී හැරියට් ඩේවිඩ්සන්’ ය. ලිලී මියයන්නී 1901 වර්ෂයේ දී ය. ඇගේ මරණය සිදුවන්නේ ලංකාවේ දී නොව දකුණු අප්‍රිකාවේ ප්‍රිට්‍රෝරියාහි දී ය. ඇගේ මරණය සිදුවූ ස්ථානය හා වර්ෂය ජුබිලි අම්බලමේ පැහැදිලිව ම දැක්වේ.

“SHE DIED AT PRETORIA SOUTH AFRICA 1901” ලිලීගේ සැමියා වන ‘වෝල්ටර් එඩ්වඩ් ඩේවිඩ්සන්’ ක්‍රි. ව. 1892 සිට ක්‍රි. ව. 1896 දක්වා කෑගල්ල දිස්ත්‍රික්කයේ සහකාර ඒජන්තවරයා ව සිටියේ ය. ( ඩේවිඩ්සන් වසර විස්සක් පමණ ලංකාවේ සේවය කරන්නට ඇතැයි සිතෙන්නේ ජුබිලි අම්බලමේ ඇති ඵලකයේ ඔහු ජාති, ආගම් හා කුල බේදයකින් තොරව වසර විස්සක කාලයක් ලංකාවේ ජනතාවගේ සැබෑ මිතුරකුව සිටි බව සඳහන් වන හෙයිනි.) ඇගේ මරණයෙන් කම්පාවට පත් ඩේවිඩ්සන් යුවළගේ ලාංකීය මිතුරෝ ඇය වෙනුවෙන් කරවනැල්ල - කෑගල්ල මාර්ගයේ රුවන්වැල්ලේ දර්ශනීය අම්බලමක් තැනූහ. ඒ අද මෙන් ප්‍රවාහන පහසුකම් දියුණු නොවූ එදවස ගමන් බිමන් යන්නන්ට විවේක ගන්නට ය. රැය ගෙවන්නට ය.

අම්බලමේ දාරුමය කුලුනු දහසයක අම්බලම සඳහා වියපැහැදම් කළ අයගේ නම් එක කුලුනකට එකක් බැගින් කුඩා පිත්තල තහඩු දහසයක සිංහලෙන් ලියා සවිකොට තිබිණි. කාලය හා නොසැලකිල්ල හේතුවෙන් අද ඒවා ගැලවී ගොසිනි. ඒ නම් අතර නුගවෙල රටේ මහතා, මීදෙණියේ රටේ මහතා, මාපිටිගම කෝරලේ, බටන්ගල කෝරලේ, පරුස්සැල්ලේ කෝරලේ, එක්නැලිගොඩ කෝරලේ, මුණසිංහ ආරච්චි, ඉඹුලානේ ආරච්චි, සේගු මරික්කාර් හාජියාර් හා චාල්ස් ස්ටුවර්ට් ආදීන්ගේ නම් තිබිණි. (චාල්ස් ස්ටුවර්ට් 1902 සිට 1906 දක්වා කෑගල්ලේ සහකාර ඒජන්ත පදවිය දැරූ තැනැත්තා ය. ඔහු අම්බලම ඉදිකිරීමට බරපැන දැරූවකු වීම 1902 -1906 අතර කාලයේ දී අම්බලම ඉදිකෙරෙන්නට ඇතැයි යන හැඟීම අප තුළ ඇති කරවයි.)

බොහෝ පැරණි අම්බලම් උදෙසා සෙල් කුලුනු උපයෝගී කරගෙන ඇතත් රුවන්වැල්ල ජුබිලි අම්බලම දාරුමය නිර්මාණයකි. එක ළඟ කුලුනු සතර බැගින් කුලුනු දහසයක් අම්බලමේ දක්නට ඇත. හැම කුලුනක ම මුලින්, මැදින් සහ අගින් මල් කැටයම් තුනක් කපා තිබේ. පේකඩ නෙළුම් මලක හැඩ ගන්වන්නට ශිල්පියා උත්සුක වී ඇත. දැවමය වහලය කැණිමඩලක් සහිතව නිමවා පෙති උළු සෙවිලි කොට තිබිණි.

ඇතුළු බිතු මත ඉරහඳ හා භේරුණ්ඩ පක්ෂියා බදාමයෙන් මතු කර දක්වා තිබේ. ඉරහඳ කොඩිය සතර කෝරලයේ කොඩියයි. භේරුණ්ඩ පක්ෂියා තුන් කෝරලයේ කොඩියයි. බ්‍රිතාන්‍ය අවධියේ දී පැරණි රජදවස පටන් පැවති පරිපාලන ඒකක වන තුන් කෝරලය හා සතර කෝරලය එක් කොට කෑගලු දිස්ත්‍රික්කය නිර්මාණය කෙරිණි.

අම්බලමේ ඇතුළත කාමර දෙකකි. එකක් එහි නවතින කාන්තාවන්ට හා ළමයින්ට නතර වනු පිණිස ය. අනෙක අම්බලමේ නවාතැන් ගන්නා වෙළෙන්දන්ගේ බඩු බාහිරාදිය තබනු පිණිස ය.

අම්බලම් අතීතයේ දී තැනුණේ ජනතා හිත සුව පිණිස ය. දුරබැහැරට පයින් මෙන් ම කරත්තවලින් ගමන් බිමන් යන අයට නවතින්නට ය. විවේක ගන්නට ය. ඒ ඇසුරින් අපේ ජනකවි හා ජනකතා ඇතුළත් ජන සාහිත්‍යය ද පෝෂණය විය.

ජාතික උරුමයක් වන එවන් අම්බලමක් ප්‍රතිසංස්කරණය කිරීම යහපත් කටයුත්තකි. මුලින් ඉදිකළ ආකාරයට කොට බිත්ති සහිතව ඉදිකරන්නේ නම් ඉතා යහපත් ය. එහෙත් පියසි ගලවා, පලංචි බැඳ, ගරා වැටෙන්නට හා විනාශ වන්නට ඉඩ දී බලා සිටින්නේ නම් බොහෝ පව් සිදුවනු නියත ය.

මහානාම දුනුමාල
[email protected]


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...