නම්බුකාර හොරු | දිනමිණ

නම්බුකාර හොරු

 ‘‘හොරකම් කරනවා කියන්නේ මොකක්ද ඇම්බන් මහත්තයා...“ කියා ටොම්සන් මහත්තයා ඇසුවේ ඇම්බන් මහත්තයාගෙනි. ඒ ඇසූ උන්නැහේත් අමුතු විදිහකට මූණ දික් කර ගෙන එතැනට ආවේය.

‘‘ ඇයි ටොම්සන් මහත්තයා.. එහෙම අහන්නේ... මං මොකක් හරි හොරකම් කළාද? “ කියා උන්නැහේ ඇසුවේය.

‘‘ අපොයි නෑ... උන්නැහේ මොනවා හොරකම් කරන්නද? “ කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘‘ මං මේ ඇහුවේ ඒ වගේ දෙයක් ගැන නෙවෙයි.. මං කියන්නේ හොරකම් කරනවා කියන්නේ මොකක්ද? කියලා ‘‘

‘‘ඇයි ටොම්සන් මහත්තයා.. ඕක හරිම සරල ප්‍රශ්නයක් නේ.. තමන්ට අයිතියක් නැති දෙයක් අත්පත් කර ගන්න එක... එහෙමත් නැතිනම් තමන්ට අයිති නැති දෙයක් තමන්ගේ වගේ තියා ගන්න එක... ඒක නේ හොරකම කියන්නේ.... ඉස්සර නම් ඔන්න හොරකම් කිව්වාම තිබුණේ කෙහෙල් කැන් හොරකම්.. පොල් හොරකම්.. හරක් හොරකම්... “ කියා උන්නැහේ කීවේය.

‘‘ ඒක ඇත්ත..“ කියා ගෙන ඇම්බන් මහත්තයාද එතැනට ආවේය.

‘‘ ටොම්සන් මහත්තයා දන්නවද කනප්පු කරකැවිල්ල... “

‘‘ මොකක් කිව්වා... කනප්පු කරකැවිල්ල... එහෙමත් කරකැවෙනවද කනප්පු...“ කියා උන්නැහේ පුදුමයෙන් ඇසුවේය.

‘‘අපොයි ඔව්... උන්නැහේ.. ඔය ගම්වල හොරකමක් වුණාම කනප්පුව යනවා හොරාගේ ගෙදරට යනකම්... එතකොට හොරා අල්ලා ගන්න පුළුවන්... මං පොඩි කාලේ දැකලා තියෙනවා එහෙම කනප්පුවක් ඇවිදිනවා....“

‘‘ ඔව්.. ඉතින් කොහොම කෙරුවත් හොරකම කියන්නේ මහ නින්දාසහගත දෙයක් නේ.. ඒක නීතියෙනුත් වැරදියි... සදාචාරයෙනුත් වැරදියි... එහෙම නේද? “ කියා උන්නැහේ කීවේය.

‘‘ මං මේ කියා ගෙන ආවේ ඇම්බන් මහත්තයා... මේ ඊයේ හැන්දෑවේ මං බස් එකක එන කොට දැක්ක දෙයක් ගැන.. “ කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘‘ ඒ කියන්නේ හොරකමක්ද? “

‘‘ ඒක තමයි මාත් මේ ඇහුවේ... දැන් ඔය බස්වල වීඩියෝ තිර තියෙනවා නේ.. මං ආපු බස් එකේ පෙන්නුවා සංගීත සංදර්ශනයක්... ඒකේ ඔන්න එක එක ගායක ගායිකාවෝ ඉස්සර කියාපු සින්දු දැන් බජව්වලට ගහලා වෙන ගායක ගායිකාවෝ කියනවා.. ඔන්න එක සැරේම කිව්වා දැන් මාමයි බෑනයි... කියලා.. මාත් ඉතින් බොහොම සන්තෝසෙන් බැලුවා අර රෝහණ බැද්දගේයි, බන්දුල විජේවීරයි මාමයි බෑනයි කියලා සින්දු කියන්නේ.. මෙන්න බැලින්නම් වෙන කොහෙද යන හාල්පාරුවෝ දෙන්නෙක් අර දෙන්නා වාගේ මාමයි බෑනයි සින්දුව කියනවා... මේක හොරකමක් නෙවෙයිද ඇම්බන් මහත්තයා...? “

‘‘ මොකද නැත්තේ... ඔය ටොම්සන් මහත්තයා දැකලා තියෙන්නේ එකයි... ඒ වුණාට ඔය වගේ නම්බුකාර හොරු තමයි ලස්සන සූට් ඇඳලා... තට්ටේ ගාලා... රැවුල වවලා... කොණ්ඩා වවලා.. මාර ‍මොඩ් පොරවල්.. අර දැන් කාලේ බාසාවෙන් කිව්වොත් පට්ට ගායකයෝ.... සංගීත සන්දර්ශනවලට ඇවිල්ලා අනුන්ගේ සින්දු හොරට කියලා සල්ලි හොයනවා... අනේ ඉතින් අර මුල් ගායකයෝ.. ඒ උදවිය බිස්නස් කාරයෝ නෙවෙයිනේ.. අහිංසක කලාකාරයෝ නේ.. ඉතින් මොනවා කරන්නද? “

‘‘ ඒ කියන්නේ ඇම්බන් මහත්තයා.. මේ රටේ නීතියක් නැද්ද? “ කියා උන්නැහේ පුදුමයෙන් ඇසුවේය.

‘‘ මොකද නීතියක් නැත්තේ... ඔය බුද්ධිමය දේපළ කියලා නීතියක් තියෙන්නේ... උන්නැහේලා කියන්නේ ඒ නීතියට අනුව නඩු දාලා අයිතිවාසිකම් ලබා ගන්න කියලා... මේ අහිංසක ගායක ගායිකාවන්ට මොන නඩුද? “

‘‘ ඇයි ඉතින් ගායක ගායිකා සංගම් හෙමත් තියෙනවා නේද? “ කියා උන්නැහේ ඇසුවේය.

‘‘ තියෙනවා නේන්නම්... ඒ විතරක් නෙවෙයි ඔය සංස්කෘතික අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හෙමත් තියෙන්නේ.... සංගීත සන්දර්ශනවල විතරක් නෙවෙයි... ඔය එෆ් එම් ගුවන් විදුලි නාලිකාත් කරන්නේ ඒකම නේ... අඩුම ගණනේ ගීතයක පද මාලාවට තියෙන ප්‍රකාශන හිමිකම අනුව ඒක ලියාපු තැනැත්තාගෙන් ලිඛිතව ලබා ගත්ත අවසරයක් නැතිව ඒවා අවභාවිත කරන්න බෑ... ඒ විදිහට බැලුවාම මේවා මහදවල් කරන ලජ්ජා නැති නම්බුකාර හොරකම්...“ කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘‘ ඉතින් අපි අහලා බලමුකෝ ඔය සංගීත සන්දර්ශන කරන උදවියගෙන්... මේ විදිහට නම්බුකාර හොරකම් කරන්නේ ඇයි කියලා...“ කියා උන්නැහේ ඇසුවේය.

‘‘ වැඩක් නෑ... ඒවා දැන් නීතිගත වෙලා වාගේ... ඕවා මොනවද උන්නැහේ.. දැන් ඔය ඉතිපි සෝ භගවා බජව් සින්දුවකට ගහලා නේ.. ඒවා ආණ්ඩුවේ ගුවන් විදුලි නාලිකාවලත් විකාශ වෙන කොට ඕවා මොනවද? මේක තමයි බල්ලො මරලා හරි සල්ලි හොයන සමාජයක් බිහි වීමේ ප්‍රතිඵල... නීතියකුත් නෑ... සදාචාරයකුත් නෑ.. ජනතාවත් නිහඬයි.. ඔය ඕනැ දෙයක් වෙද්දෙන් කියලා බලා ගෙන ඉන්නවා... කාටද කියන්නේ ඉතින්... “ කියූ ටොම්සන් මහත්තයා දිග සුසුමක් හෙළමින් හුන් තැනින් නැඟිට්ටේය.

බන්දුල පී දයාරත්න
[email protected]

නව අදහස දක්වන්න