නපුරු සිතුවිලි දුරැර ප්‍රඥාව නමැති ආලෝකය දල්වන උළෙල මහා ශිව රාත්‍රියයි | දිනමිණ

නපුරු සිතුවිලි දුරැර ප්‍රඥාව නමැති ආලෝකය දල්වන උළෙල මහා ශිව රාත්‍රියයි

 මහා ශිව රාත්‍රී වත් පිළිවෙත් මිනිස් සිත් සතන්හි හටගන්නා නපුරු සිතුවිලි නැමැති අඳුර දුරලා, ප්‍රඥාව නමැති ආලෝකය දල්වාලන බවත් ඒ අනුව මිනිස් වර්ගයා අතර සංහිඳියාව සහ සහජීවනය ඇතිවීමට මංපාදන බව මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටී

එම සුබපැතුම් පණිවුඩයේ මෙසේද සඳහන් වේ.

මිනිසා තුළ නිදන්ගතව ඇති මමත්වය හා අහංකාරය දුරු කිරීමට ඉවහල් වන “ප්‍රඥා ලෝකය පැතිරේවා” යන ප්‍රාර්ථනයෙන් යුක්තව සමස්ත ලෝකවාසී හින්දු බැතිමතුන් මහත් බැතියෙන් යුක්තව උපවාස සිලය සමාදන් වන්නා වූ මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් මෙම සුබපැතුම යොමු කරනුයේ සමස්ත ලෝකයටම ශාන්තිය උදාවේවායි යන ප්‍රාර්ථනය ද සමඟිනි.

පංචේන්ද්‍රයන්ට නතුව, සිත අයාලේ යා නොදී,  නිශ්චිත අරමුණක පිහිටුවා ගනිමින් දේව බැතියෙන් යුතුව ශිව භක්තිකයින් විසින් පිළිපදිනු ලබන උපවාස අතර මහාශිව රාත්‍රී උපවාසය සුවිශේෂී තැනක් හිමිකර ගනී. මෙදින නොනිදා රැය පහන් කරමින්, එම කාලය තුළ ශිව දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීමෙන් දැන හෝ නොදැන තමන් අතින් සිදු කෙරුණා වූ පාපයන්ට සමාව ලැබී, දුක්ඛ දෝමනස්සයන් දුරස්වී සිතට ශාන්තියත්, නිරත කාර්යයන්හි ජයග්‍රහණයත්, අවසානයේ මෝක්ෂයත් අත්කර ගැනීමට හේතුවන බව ශිව බැතිමතුන්ගේ විශ්වාසයයි.

එසේම මෙම ශිව රාත්‍රී වත් පිළිවෙත් සමඟ මිනිසා තුළ ඇති මමත්වයත්, අහංකාරයත් නැතිවි එයින් ස්වකීය ජීවිතය සුඛිත මුදිත කර ගැනීමට අවස්ථාව සැලසෙන බව ශිව බැතුමතුන්ගේ පිළිගැනීම වී තිබේ.

ඒ අනුව මහා ශිව රාත්‍රී උපවාසය මිනිස් සිත් සතන් හි හටගන්නා නපුරු සිතිවිලි නමැති අඳුර දුරලා, ප්‍රඥාව නමැති ආලෝකය දල්වාලයි. ඒ අනුව එය මිනිස් වර්ගයා අතර සංහිඳියාව සහ සහජීවනය ඇතිවීමට ද මංපාදයි.

මානව සංහතිය යහමඟ යවන්නටත් ආගමික විශ්වාසයන් හා සමාජ යහපැවැත්ම වඩ වඩාත් මිනිස් සමාජය තුළ තහවුරු කරන්නටත් හේතු වන මහා ශිව රාත්‍රී දිනය සමරන ශිව භක්තිකයන් සියලු දෙනාට මාගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.

නව අදහස දක්වන්න