ජනතාවට ලබා දුන් පොරොන්දු ඒ අාකාරයෙන්ම ඉටුකරනවා | දිනමිණ

ජනතාවට ලබා දුන් පොරොන්දු ඒ අාකාරයෙන්ම ඉටුකරනවා

 පළාත් පාලන මැතිවරණයට බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ ඇල්ලවත්ත කොට්ඨාසය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ රණවක මලිත් ඡන්ද 549ක් ලබාගෙන විශිෂ්ට ලෙස ජයග්‍රහණය කර ඇත. ජනතාවට පොරොන්දු රැසක් ලබා දෙමින් මැතිවරණයට ඉදිරිපත් වූ බවත් එම පොරොන්දු ඉටු කිරීමට තමන් කටයුතු කරන බවත් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව රණවක මලිත් මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය. මම කෙරෙහි විශ්වාසය තබා මා හට ඡන්දය ලබා දී මම ජයග්‍රහණය කිරීමට කටයුතු කළ සියලු දෙනාටම මගේ ප්‍රණාමය පළ කර සිටිනවා. මගේ දේශපාලන ගමන ඇරඹෙන්නේ 2001 වසරේ යොවුන් පෙරමුණේ සභාපතිවරයා ලෙසත් බළන්ගොඩ බලමණ්ඩලයේ උප සභාපතිවරයා ලෙයස. එදා සිට මේ දක්වා පක්ෂ නායකත්වයට අවනත වෙමින් ආසන සංවිධායකගේ ජයග්‍රහණ වලට කළ කැපවීම් නිසාත් ප්‍රදේශයේ වැඩි දෙනාගේ මනාපය මා වෙත ලබා දී තිබෙනවා. මෙතෙක් කළ පොදු සේවා තවදුරටත් ඉදිරියට ගෙන යන අතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ලෙස නිසි කළමනාකරණයකින් හා නිර්මාණශිලීව නියම සංවර්ධනයක් ඇති කිරීම සඳහා වසර ගණනාවක සිට සිදු කළ සැලසුම් ක්‍රියාත්මක කිරීමට ජනතාව මට අවස්ථාව ලබා දී තිබෙනවා.

කොට්ඨාසය තුළ ජනතාවට මෙතෙක් විසඳී නොමැති ගැටලු රාශියක් තිබෙන අතර ඒවාට විසඳුම් ලබා දීම සඳහා සැලසුම් සකස් කර තිබෙනවා. ඒ සැලසුම් අතර රාස්සගල නගරය කුඩා නගරයක් ලෙස සංවර්ධනය කිරීමටත් කොට්ඨාසය තුළ ඇති වතු සහ ග්‍රාමීය මාර්ග සංවර්ධනය කර යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා කටයුතු කරනවා. වසර දහයක පමණ කාලයක සිට වසා දමා ඇති මැද්දෙකන්ද ග්‍රාමීය වතු රෝහල නැවත නවීකරණය කර ජනතාවට ඒ තුළින් සෞඛ්‍ය පහසුකම් ලබා දීම සඳහා සැලසුම් සකස් කර තිබෙන අතර ඒවා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. ප්‍රදේශයේ වතු ආශ්‍රිතව ජිවත් වන ජනතිවගේ විශාල ගැටලුවක් සනීපාරක්ෂක පහසුකම් නොමැකිකම. ඒ සඳහා ඒ ගැටලුව විසඳීම සඳහා ප්‍රතිපාදන ලබාගෙන ජනතාවට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් ලබා දීම සඳහා විශේෂ වැඩසටහනක් ආරම්භ කරනවා.

කොට්ඨාසය තුළ ජීවත් වන ජනතාවට ඇති තවත් ගැටලුවක් තමයි රාජ්‍ය නිලධාරීන්ගේ සේවය ලබා ගැනීම සඳහා සේවා පියසක් නොමැති කමින් විශාල රස්තියාදුවකට මුහුණ පෑමට සිදු වී තිබීමයි. ඒ හේතුවෙන් ජනතාවගේ පහසුව සඳහා ප්‍රදේශයේ ඇති ඉඩම් කැබැල්ලක් හඳුනාගෙන සේවා පියසක් ඉදිකිරිම. ඒ තුළින් ග්‍රාම නිලධාරීවරයාගෙන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීවරයාගෙන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන්, ආර්ථික සංවර්ධන නිලධාරීවරයාගෙන් ලබා ගන්නා සේවා එකම ස්ථානයකින් ලබා ගැනිමට ජනතාවට පහසුකම් සලසනවා. මීට අමතරව ස්වයං රැකියා වල නිරත වන අයට අවශ්‍ය පුහුණුව ලබා දෙමින් ඒ අයගේ රැකියා කටයුතු වැඩි දියුණු කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරනවා. ස්වයං රැකියා සඳහා තරුණ තරුණියන්ට නව පුහුණුවක් ලබා දීමට ද වැඩසටහනක් ඇල්ලවත්ත කොට්ඨාසය තුළ ආරම්භ කිරීමට පියවර ගන්නවා.

 

සටහන සහ ඡායාරූපය- බළන්ගොඩ විශේෂ සම්පත් ප්‍රියනන්දන 

 

නව අදහස දක්වන්න