බදුල්ල මෙහෙමයි | දිනමිණ

බදුල්ල මෙහෙමයි

 බදුල්ල ඌව පළාතේ අග නගරයයි. මුහුදු මට්ටමේ සිට මීටර් 667ක් උසින් පිහිටා ඇති එය රමණීය නගරයකි. නගරය අසලින් ගලන බදුලු ඔය ඉපැරැණි බලකොටු නුවරවල පැවැති දිය අගල සංකේතවත් කෙරේ. ඌව නමැති ප්‍රතාපවත් රජුගේ රන් කිරුළ බදුල්ල නගරය නම්, බදුලු මුතියංගණ ඓතිහාසික පුණ්‍යභූමිය එහි සිළුමිණ වන්නේය.

බදුල්ල යන නාම සම්භවය පිළිබඳ විද්වත් මත කීපයක් වෙයි. බදුල්ල හෙවත් බදුලු නම් ගස් රැසකින් ආවරණය වූ ප්‍රදේශය බදුල්ල නම් විනැයි ජනප්‍රවාදයේ එන මතයයි.

උල්පත් හේතුකොටගෙන ඇතිවූ දඩ+උල්ල - දඹුල්ල, නා+උල්ල, ගිරි+උල්ල ආදිය මෙන් බද+උල්ල - බදුල්ල විනැයි තවත් මතයකි. බදුල්ල නගරයේ මහියංගණ මාර්ගයේ ඇති “නයිකැටපීල්ල” නම් ස්ථානයේ පිහිටි උල්පත් දෙකකින් එක් උල්පතකින් මතුවන ජලය ඇලෙන හෙවත් බඳන සුළු ස්වරූපයක් ගත් නිසා විය හැකිය. බුදුන් වැඩම කිරීමෙන් ආලෝකවත් වූ හෙයින් බුදු+අලු - බදුලු වී යැයි ද සඳහන් වේ.

මහාවංශයේ “බදලක්ථලි” යනුවෙන් සඳහන් වන්නේ බදුල්ල බව මකුළුදූවේ පියරතන හිමියන්ගේ අදහසය. මහා පරාක්‍රමබාහු කුමරුන්ගේ උපත සිදුවූයේ බදුල්ලේ අළුපොත නම් ග්‍රාමයේ යැයි පවතින ජනප්‍රවාදය පදනම්කොට ගෙන මෙම අදහස පළ කරන මකුළුදූවේ හිමි බදලක්ථලි යන්න බදුල්ලට ගැලපෙන බව ද සනාථ කරයි.

මෙම මතය අනුමත කරන නාවුල්ලේ ධම්මානන්ද හිමියන් සඳහන් කරන්නේ බදුල්ල යන්නට වෙනත් අදහසකි. ඒ ගස් සෙවණින් යුත් පෙදෙස “වදල යැයි” ඌවේ ගැමියන් අතර ව්‍යවහාර වෙයි. ඒ අනුව එදා නගරය පිහිටි ප්‍රදේශය විශාල වදුලක් වශයෙන් පැවති නිසා වදල+වදුල - බදුල, බදුල්ල විය යන්නයි. උන්වහන්සේ පවසන අන්දමට බදුල්ල, බදලක්ථලි යනුවෙන් පෙළ බසට නැගින.

පැරකුම් කුමරු බදුල්ලේ උපන් බවට පහත සඳහන් ජන කවියෙන් ද පැවසෙයි. එම කවිය අදත් ගැමියන් අතර ප්‍රචලිතය.

පැරකුම් කුඹ පලු කර ඔදැරි සිහ මෙන
රජකම් කළ මේ සිරිලක පළමු වන
පැරකුම් රජ උපන් බව පඬිදුන් කියන
මෙ උතුම් ගම තිබෙන්නේ අලුපොත නමින

මෙම අලුපොත ප්‍රදේශයේ රජ මැදුර පැවති ස්ථානය අදත් හඳුන්වන්නේ මාලිගාතැන්න යනුවෙනි. එහි ඇති පුරාණ නටබුන් රුහුණු රාජධානියේ විසූ කිසියම් රජකුගේ වාසභවන වූ බවට විශ්වාසයක් පවතී. මෙම අලුපොත නම් ග්‍රාමයේ පසු කාලයේදී තවත් ඓතිහාසික සිද්ධියක් වාර්තා වේ.

ඒ 1817 ඔක්තෝබර් මාසයේදී බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා විසින් වෙල්ලස්සේ සටන මැඩලීම සඳහා ඌරාගේ මාළු ඌරාගේම ඇඟේ තබා කැපීම වැනි දෙයක් සිදු කළේය. ඒ සිංහලයන්ට පහර දෙන්නට කැප්පෙටිපොළ නිලමේගේ නායකත්වයෙන් යුත් ඉංග්‍රීසි බලඇණියක් බදුල්ලට පිටත්කර යැවීමය. අලුපොතට පැමිණි කැප්පෙටිපොළ නිලමේට කෙසේවත් තම සහෝදර විමුක්තිකාමීන්ට එරෙහි වන්නට ශක්තියක් නොවීය. ඒ අනුව තමන් සමඟ පැමිණි ඉංග්‍රීසි බලඇණිය ආපසු පිටත්කොට යවා සටන්කාමීන් හා එකතු වුණේය. ඒ 1817 නොවැම්බර් 01 වැනිදා අලුපොතදීය. එම ඓතිහාසික සිද්ධිය එදා ජන කවියා දුටුවේ මෙසේය.

“සිහල බලය වනසන්නට පර සුද්දා

කැප්පෙටිපොලගෙ බලය ද එළියට ඇද්දා
සංකර ලෙයින් නොතැණුනු ගැති කුල වද්දා
ඔහු දිවි පුදා යළි දෙව් පදවිය ලද්දා

බදුල්ල දිස්ත්‍රික් සමූහ
ජයසේන විජේනායක 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...