ඡන්දෙන් පස්සෙත් දිග්ගලට එන්න | දිනමිණ

ඡන්දෙන් පස්සෙත් දිග්ගලට එන්න

 දිග්ගල යනු මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තවත් අති දුෂ්කර ගම්මානයකි. සුන්දර කඳු ගැටයක් මත පිහිටි එහි මේ වන විට පවුල් 35ක් පමණ ජීවත් වෙති. ගමේ බහුතරය ගොවිතැනින් ජීවත්වන අතර බොහෝ පිරිසක් සමෘද්ධිලාභීහු වෙති.

පානීය ජලය, විදුලිය සහ මාර්ග අපහසුතා හේතුවෙන් මේ ගම්මු දුෂ්කරතා රැසකට මුහුණ දී සිටිති.

ගමට ඒමට ප්‍රධාන මාර්ග දෙකකි. ගමේ බහුතරය යන එන මාර්ගය වන මීගහකිවුල - පිටමාරුව මාර්ගයේ කෝල්ගොඩ හන්දිය තෙක් වාහනයකින් පැමිණ එතැන් සිට දිග්ගල දක්වා යාමට වන්නේ දෙපා වාරුවෙනි. කොලලාවත්ත ගම හරහා වැටී ඇති දුෂ්කර මාර්ගයේ බොහෝ ස්ථාන සෝදා පාළුවට ලක්ව අබලන්ව ගොසිනි. පැය දෙක තුනක දුෂ්කර ක්‍රියාවකින් පසුව අපි දහඩිය වගුරු හෙලමින් දිග්ගල ගමට පිවිසුනෙමු. අප කිලෝමීටර් හයක් පමණ පැමිණ ඇති බව අසන්නට ලැබුණද ඒ ගමනේ වෙහෙස කිලෝමීටර් දහයකටත් එහාය. දිග්ගල ගම්මුන්ට නම් මෙය පැයක හමාරක ගමනක් බව කීවේ මේ ගමන අතරතුරදී මුණගැසුණූ ගුණසේන මහතාය.

බදුල්ල - මහියංගන මාර්ගය අතරතුර පිහිටි අරාව හන්දියෙන් හැරී කිලෝමීටර් හතරක් පමණ ගෙවාගෙන දික්යාය ගමට ගොස්, එතැන් සිට ඌවවත්ත ගම්මානය හරහා වැටී ඇති දුෂ්කර මාර්ගයේ තවත් කිලෝමීටර් 9ක් පමණ ගමන් කළ විටද දිග්ගල ගම්මානයට පැමිණිය හැක.

කුමන මාර්ගය ඔස්සේ ගමන් කළද අවම වශයෙන් කිලෝමීටර් හයක්වත් පයින් ගමන් කළ යුතු බව මේ ගමේදී අපට හමු වූ ඩී. එම්. ප්‍රේමරත්න මහතා කියා සිටියේය. ඔහු මෙසේද කීය.

“ දිග්ගල කියන්නෙ බොහොම පරණ ගමක්. ඒවගේම හරි සුන්දර වටපිටාවක් තියෙන ගම්මානයක්. එදිනෙදා ගොවිතැනක් කරගෙන බොහොම නිදහසේ ඉන්න ගම්මු පිරිසක් තමයි මේ ගමේ ඉන්නෙ.

ගමට මොන සම්පත තිබුණත් පාරක් නැහැ. එ්ක ලොකු අඩුවක්. හැම ඡන්ද කාලෙටම මේ ගමට එන අපේක්ෂකයො ගමට එන පාර හදල දෙනව කියල ගමේ මිනිස්සු රවට්ටන්නව.

පාර කපන්න පටන් ගත්තෙ අවුරුදු 15කට විතර ඉස්සර. ඒත් තාමත් ඒක අඩි පාරක් වගෙයි. අවුරුද්දක් ගාණේ පාර කපනවා. වැස්සට හෝදගෙන යනවා. මොනම වාහනයකටවත් එන්න බැහැ. දිය කඳුරු හරහා බෝක්කු පාලම් නැහැ. වැස්ස කාලෙට වතුර බහිනකම් කඳුරු දෙපැත්තට වෙලා ඉන්න ඕනි.

ඩී. එම්. ධනපාල මහතා - "ගමට වාහන එන්නෙ නැහැ. ගමේ මිනිස්සු බඩු මුට්ටු ඔළුවෙ තියාගෙන බෝගහතැන්න හන්දියට පයින් යන්න ඕනි.

ගමේ පාසලක් තිබුණත් පන්ති තියෙන්නෙ පහට විතරයි. හරියට ගුරුවරු නැහැ. ඒ නිසා ගමේ දරුවො හැතැප්ම පහ හයක් කළුගහකඳුරට යන්න ඕනි. හුලු අතු බැඳගෙන ගෙවල්වලින් යන දරුවො ආපහු ගෙවල්වලට එන්නෙ රෑ බෝවෙද්දි.

ඩී.එම්. චන්ද්‍රාවතී මහත්මිය - "ගම ළඟපාතක රෝහලක් නෑ. ගමේ කෙනෙක් ලෙඩ වුණොත් උස්සගෙන රෝබේරියට හරි මීගහකිවුලට හරි තමයි යන්නේ. ඒ නිසාම වෙලාවට ප්‍රතිකාර නොලැබුණූ කීප දෙනෙක්ම පහුගිය කාලෙ රෝහලට අරගෙන යද්දි මිය ගියා. ඒ හින්ද හුඟදෙනෙක් ලෙඩ සනීප කර ගන්න බලි තොවිල් නටනවා. සමහරු යක්කු අදහනව.

ඩී. එම්. ජයතිලක මහතා - "ගමේ මිනිස්සු ගොවිතැනට හරි දක්ෂයි. මේ අවට තිබුණූ පතන් ඉඩම් එළි කරල බොහෝ තැන්වල තේ වවලා. එළවළු පලතුරු වවනව. හොඳ දේශගුණය නිසා ඕනි දෙයක් හොඳට වැවෙනව. ඒත් ඵලදාව ගෙනිය ගන්න විදියක් නැහැ. දලු කැඩුවම ඒ ටික ඔළුවෙ තියාගෙන උඩ හන්දියට යන්න ඕනි. ගමේ ගස්කොළන්වල හැදෙන එලදාව නගරයට ගෙනියන්න බැරිව ගස්යට වැටිල විනාශ වෙනවා.

ඩී .එම්. උක්කුමැණිකා මහතිමිය - "ගම හරහා දොළ පාරවල් කීපයක්ම ගලා බහිනව. ඒත් ගමේ බොහෝ දෙනකුට හරියට බොන්න වතර ටිකක් නැහැ. එක්කො බොන්නෙ අපිරිසුදු වතුර. එහෙම නැතිනම් වතුර ගේන්න දුර බැහැර යන්න ඕනි.

අද රට කොච්චර දියුණූද. එත් මේ ගම්වල වැසිකිළියක් පවා නැති විශාල පිරිසක් ඉන්නවා. කටුමැටි ගහල, මානා හෙවිල්ලූ ගෙවලුත් මේ ගමේ තියෙනවා. හරියට හදපු ගෙවල් දෙක තුනකට වඩා නැහැ. රට හැම තැනම ටකරන්, උළු බෙදනව. ඒත් මේ ගම්වලට එවැනි දෙයක්වත් නොලැබීම කණගාටුවට කරුණක්.

දිග්ගල ගමේ තවත් අඩුපාඩු රැසකි. ගමට ඇති මේ අතොරක් නැති අඩුපාඩු ගැන ඔවුන් සිටින්නේ දැඩි කණස්සල්ලෙනි. ගමට ප්‍රජාශාලාවක්, ක්‍රීඩා පිටියක්, පෙර පාසලක්, පුස්තකාලයක්, තැපැල් කාර්යාලයක් මේ ආදී කිසිවක් නැතැයිද ඔවුහු පැවැසූහ.

ගමේ පිරිසක් කලකට පෙර කිතුල් මැදීම ජීවන වෘත්තියක් ලෙස සිදුකළද මේ වන විට එම කර්මාන්තයත් දැඩි පිරිහීමකට ලක්ව ඇතැයි දිග්ගල ගම්මු අප සමග පැවැසූහ. ගමේ තරුණ පරපුරට ජීවත් වන්නට මාර්ගයක් නැති නිසා බොහෝ පිරිසක් විවිධ රැකියා සොයාගෙන පිටස්තර ගම්වලට ගොස් එම ප්‍රදේශවලම පදිංචිවීම නිසා ගමේ ජනගහනය ක්‍රමයෙන් අඩු මට්ටමින් පවතින බවද මේ ගම්මු කියති.

කුමන අඩුපාඩු තිබුණද ඒවා මේ දිග්ගල ගම්මුන්ට ගැටලුවක් නොවේ.”අපි ලොකු ලොකු දේවල් ඉල්ලන්නෙ නැහැ. ගමට එන පාර හදල දෙන්න. ඒ හොඳටම ඇති. මොනව කරල හරි අපට ඊට පස්සෙ ජීවත් වෙන්න පුළුවනි.” දිග්ගල ගම්මු එක හඩින් එසේ කියති.

සටහන සහ ඡායාරූප
මීගහකිවුල එන් නවරත්න

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...