සභාව නිශ්ශබ්දයි! | දිනමිණ

සභාව නිශ්ශබ්දයි!

 අපගේ අවධානයට ලක්වන ප්‍රධාන කරුණු දෙකක් ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. පළමු කරුණ වන්නේ අධිමානය යි. ප්‍රාදේශීය සභාවකට පත් වූ එක් මහජන නියෝජිතයෙක් කියා සිටියේ මම ආණ්ඩු බලයටත් අභියෝග කරමින් කටයුතු කරන බව ය. තවත් මහජන නියෝජිතයෙක් කියා සිටියේ මගේ වැටුපත් මහජන සේවය සඳහා යොදවන බව ය. මේ තීරණ දෙකෙන් කුමක් නිවැරැදි ද? කුමක් වැරැදි ද? අපගේ අදහසට අනුව නම් ඉහත සඳහන් අදහස් දෙක ම වැරැදිය. මේ අදහස් මතින් පළාත් පාලනයක් කළ නොහැකි ය. ආණ්ඩුවක් ද කළ නොහැකි ය.

පළාත් පාලන මැතිවරණය යනු ආණ්ඩුව වෙනස් කරන මැතිවරණයක් නොවේ. එය දේශපාලනයේ මහා වෙනසක් කළ හැකි මැතිවරණයක් ද නොවේ. එහෙත් ජනමතය අනුව යම් බලයක් දේශපාලන පක්ෂවලට ලැබෙන්නට පුළුවන. එම බලය පාවිච්චි කළ යුතු විධිමත් ක්‍රමයක් ද තිබේ. ඒ විධිමත්භාවය උල්ලංඝනය කරන්නේ නම්; ඊට එරෙහිව මහ ආණ්ඩුවට ක්‍රියා කළ හැකි නෛතික ප්‍රතිපාදන තිබේ. ඒ හැරත් රටේ ප්‍රධාන පුරවැසියා හෙවත් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිවන විශේෂ බලයක් ද තිබේ. දැන් බොහෝ දෙනා ක්‍රියා කරනුයේ ඒ සියල්ල අමතක කරමින් ය.

මේ වනවිට පළාත් පාලන මැතිවරණය අවසන් ය. එහි ප්‍රතිඵල ප්‍රකාශය ද අවසන් ය. දැන් සිදුවිය යුත්තේ ගහ මරා ගැනීම නොව; ගම හා නගරය වෙනුවෙන් වැඩ කිරීම ය. ශ්‍රී ලංකාව ගම්මාන තිස් දහසකින් සමන්විත රාජ්‍යයක් බව ද ඒ අතර නාගරික ප්‍රදේශ දහසක් පමණ ඇති බව ද කියනු ලැබේ. පළාත් පාලන මැතිවරණයේ අභිප්‍රාය වන්නේ ඉහත කී ගම් හා නගර සංවර්ධනය කිරීමට අදාළ නියම සුදුස්සන් හා සුදුසු පක්ෂ බලයට ගෙන ඒම ය. මේ වනවිට මහජන අභිමතයට අනුව එම කාර්යය සිදු වී අවසන් ය. ඡන්දය අභියෝගයට ලක් කිරීම දැන් මෝඩ ක්‍රියාවකි.

ගම හා නගරය සංවර්ධනය කිරීමට සුදුසුම පුද්ගලයන් පත් වී තිබේ ද යනු ගැටලුවකි. මහජන නියෝජිතයන් ලෙස දැනට ම පත් වී ඇති පිරිස් අතර පවා දූෂිතයන් සිටින බව ද, අපරාධකාරයන් සිටින බවද, මිනීමරුවන් සිටින බව ද හෙළිදරව් වී තිබේ. එය භයානක චිත්‍රයකි. මැතිවරණ කොමිසම පෙන්වා දෙන අන්දමට මහජන නියෝජිතයන්ගෙන් හැටකට අධික පිරිසකට චෝදනා තිබේ. අපගේ ඉල්ලීම වන්නේ එම චෝදනා විභාග කළ යුතු බව ය. එසේ චෝදනා විමර්ශනයට ලක් නොවන්නේ නම්; එහි ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. එහි යහපාලනයක් ද නැත.

ගම සංවර්ධනය කරන්නේ කෙසේ ද? නගරය සංවර්ධනය කරන්නේ කෙසේ ද? ඊට අදාළ සැලැසුමක් මහජන නියෝජිතයාට තිබිය යුතුය. නගරය සංවර්ධනය කළ හැක්කේ වෙනත් උපායමාර්ග ඔස්සේ ය. ගම සංවර්ධනය කළ හැක්කේ ඊට ඉඳුරාම වෙනස් උපායමාර්ග ඔස්සේ ය. මේ තත්ත්වය බලයට පත් වූ මහජන නියෝජිතයන් දිගින් - දිගට ම කල්පනා කළ යුතුය. ඊට අදාළ සැලසුම් ද සකස් කළ යුතුය. සැලසුමක් නැති, දැක්මක් නැති මහජන නියෝජිතයන්ගෙන් අපට ප්‍රයෝජනයක් නැත. ජාතියට ප්‍රයෝජනයක් ද නැත. මෙය කාගෙත් අවධානයට ලක් විය යුතු වැදගත් මාතෘකාවකි. විවිධ සිද්ධීන්වලට මුවා වී හෝ බියට පත් වී හෝ ගමට හෝ නගරයට හෝ නායකත්වයක් ලබා දිය නොහැකි ය. පළමුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා යහපත් තැනැත්තකු විය යුතු ය.

ගමේ සංවර්ධනය ඇති කිරීමට නම්; ගමේ ප්‍රවීණයන් සමඟ මෙන් ම තරුණ පරපුර සමඟ හොඳින් සංවාද කළ යුතුය. එහෙත් එවැන්නක් සිදුවන බවක් පෙනෙන්නට නැත. ගමට අලුතින් පත් වී එන නායකයාට පිරිසක් විරුද්ධ වෙති. තව පිරිසක් සහයෝගය දෙති. තවත් පිරිසක් සිදුවන්නේ කුමක්දැ’යි බලා සිටිති. එබඳු අය ඇති කළ ඇතැම් උද්ඝෝෂණ ව්‍යාපාර නිසා රටේ දේශපාලනය විකෘති විය. තවත් දේවල් අපට අහිමි විය. මේ අනුව කළ යුත්තේ කුමක් ද? එකම දෙය වන්නේ මහජන නියෝජිතයන්ගේ වැඩ සැලැසුම් හඳුනාගෙන ඒ අනුව ක්‍රියා කිරීම ය. එහිලා අපගේ අවධානය යොමු විය යුතු ප්‍රධාන කාරණයක් වන්නේ මීට පෙර දූෂිතයෝ ලෙස පෙනී සිටි අයම නැවත ශුද්ධ නැතහොත් පාරිශුද්ධ මැතිවරණ පසුබිමක් ඉල්ලා සිටීම ය. එය එසේම සිදුවිය යුතුය.

ගම හා නගරය සංවර්ධනය කරන්නේ කෙසේ ද? පළමුව ගම ගතහොත් ගමේ විභව ශක්තීන් හඳුනාගත යුතුය. දෙවනුව ගතහොත් නාගරික ප්‍රදේශවල සංවර්ධනය සඳහා අපේක්ෂකයන් අවදියෙන් සිටිය යුතුය. කුමක් වුව එක දෙයක් කිව යුතුය. එනම්; මහජන අභිමතයට ඉඩ දෙනු යන්නය. පිටිසරබද පළාත්වල මේ තත්ත්වය වඩාත් හොඳින් සිදුවන බව පෙනී යයි. ඇතැම් මන්ත්‍රීවරයකු පත්කර ඇත්තේ සුදුසුකමට අනුව නොව; පුද්ගලයාගේ බලය හා පක්ෂය ලබා දෙන තල්ලුව මත ය. මෙබදු මිනිසුන් කප්පරක් මේ මැතිවරණයෙන් තේරී පත්වීමට ඉඩ තිබේ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...