වසන්තය කියන්නේ ඔබටයි මටයි | දිනමිණ

වසන්තය කියන්නේ ඔබටයි මටයි

ෆවුස් මොහොමඩ්

සැබෑ පෙම්වතුන්ට රජ සැප වැඩකට නැති දෙයකි. එවැනි භෞතික සම්පත් අතීතයේ සත පහකට ගණන් නොගත් රජ කුමරුන්ගේ සහ කුමරියන්ගේ පූජනීය පෙම් කතා අප අසා ඇත්තෙමු. එසේවුවත් අද කාලයේ නම් එවැනි පෙම්වතුන් ඉතා විරලය. නැති තරම්ය. මිල මුදල් ජීවිතයේ ප්‍රධාන සාධකය කරගත් නූතන ජන සමාජයේ ආදරයත් අලෙවි වන ගානය. එවැනි කාලයක ජපානයේ අකිහිතෝ අධිරාජයාගේ පළමු මිනිපිරිය සුරූපි මාකෝ කුමරිය වසර 2012දී තෝකියෝ සරසවියේදී සාමාන්‍ය පුරවැසියකු වන කෙයි කොමුරෝ සමග ඇතිකරගත් පෙම් පළහිලව්ව පුදුමාකාර එකකි. එය වචනයේ පරිසාමාප්ත අර්ථයෙන්ම සැබෑ ප්‍රේමයකි.

මාකෝ කුමරියගෙත්, කොමුරෝගෙත් ප්‍රේමයට ලොව පුරා කාගෙත් අවධානය යොමුවූයේ ඒ හා ඉස්මතු වූ තවත් කාරණාවක් නිසාය. ඒ ජපාන රජ නීතියට අනුව රජ කුමරියක හෝ කුමරුවකු සාමාන්‍ය පුද්ගලයකු සමග විවාහ වීම රාජකීයත්වය අහිමිවන කාරණාවක් බැවිනි.

දැනට නීති සමාගමක රැකියාවේ නිරතවෙමින් ජීවිතය ගැටගසා ගන්නා කොමුරෝ සමග සිය ජීවිතයේ ඉතිරි භාගය බෙදා හදා ගැනීමට සිතා සිටින මාකෝ කුමරියට විවාහයෙන් පසුව දුක් කන්දරා ගොඩකට මුහුණපෑමටත් සිදුවනු ඇත. මෙතෙක් කාලයක් රජ සම්පත් මැද සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සිටින මේ කුමරියට විවාහයෙන් පසුව සිදුවනු ඇත්තේ සාමාන්‍ය බිරියක මෙන් එදිනෙදා ජීවිතය ගෙවාදැමීමටය. සිය සැමියාගේ අවශ්‍යතා සපුරාලීමටය. රජ පවුලේ මෙන් දාසියන්ගේ සේවය ඇයට නොලැබෙනු ඇත. ඒ සියල්ල අතහැර ඇය මේ තරුණයාගේ අතගැනීමට බලා සිටින්නේ එතරම් වටිනා තවත් වස්තුවක් ඇයට මෙලොව නැති බව කියමිනි.

මේ දෙදෙනා ඔවුන්ගේ විවාහයට මුලින් දින වෙන් කර තිබුණේ මේ වසරේ නොවැම්බරයේදීය. එහෙත් ඊයේ පෙරේදා ඇය සිය විවාහය 2020 දක්වා කල් දැමීමට තීරණය කළ බව නිවේදනය කළේ ඒ සඳහා සූදානම්වීමට කාලය මදි බව කියමිනි.

26 හැවිරිදි වියෙහි පසුවන දෙදෙනාගේ විවාහය පෙනෙන හැටියට නම් මහා ඉහළින් සිදු කිරීමට නියමිත එකකි. ඇරත් ලබන වසරේදී අකිහිතෝ අධිරාජයා සිහසුනට සමුදීමට සූදානමින් සිටින බැවින් මේ ගෙවෙන්නේ එරට රාජකීය පවුලේ අතිශය කාර්යබහුල කාලවකවානුවකි. එබැවින් විවාහය ගැන වැඩිපුර අවධානයක් යොමු කිරීමට නොහැකි තරමට මාකෝ කුමරියටත් වැඩ වැඩිවී තිබේ. දැන් ඇගේ කල්පනාව අකිහිතෝ සීයාගේ සිහසුනෙන් සමුගැනීමට වැඩි අවධානයක් යොමු කරන්නටය. ඉන් පසුව නිදහසේ සිය විවාහයට සූදානම්වීමට ඇයට ඇති තරම් කාලය ඉතිරිවනු ඇත.

අසූපස් වන වියෙහි පසුවන අකිහිතෝ අධිරාජයාගේ විශ්‍රාම යාමත් සමග ජපානයේ රජ ඔටුන්නට හිමිකම් කියන ඔහුගේ වැඩිමල් පුතු නරුහිතෝ කුමරුගේ පදවි ප්‍රාප්තිය සිදුවනු ඇත. ඔහු මාකෝ කුමරියගේ ලොකු තාත්තාය. එබැවින් ඇයටත් මේ කාලය කාර්ය බහුලය.

අකිහිතෝ අධිරාජයාගේ බාල පුත් කුමරු වන ෆුමිහිතෝ කුමරුගේ සුරතල් දියණිය වන මාකෝ කුමරිය ජපාන රජ පවුලේ ඉතිහාසය තුළ ආදරය වෙනුවෙන් රජ සැප අත්හරින්නට යන දෙවැනි කුමරියයි. මීට පෙර 2005දී ඇගේ නැන්දණිය සයාකෝ කුමරියත් සාමාන්‍ය පවුලක තරුණයකු වූ යොෂිකි කුරෝදංගේ අත ගෙන රජ සම්පත් අත්හැරියාය. දැන් ඇය යන්නේද නැන්දණිය ගිය පාරේමය.

ජපානයේ පමණක් නොව ලොව පුරා කාගෙත් අවධානය යොමුවී ඇත්තේ රජ සම්පත් අත් හරින්නට තරම් මාකෝ කුමරියට හිත ගිය කොමුරෝ ගැනය. එහි ඇති අමුත්තක් නැත. ඔහුත් සෙසු තරුණයන් සේම සාමාන්‍ය රුවකට හිමිකම් කියන තරුණයෙකි. කඩවසම් භාවයෙන් ද ඔහුට වඩා කැපී පෙනෙන තරුණයන් ජපානයේ එමටය. එසේ වුවත් ආදරයට ඒ සියල්ල දෙවැනි බව ඇය ලොව සෙසු රජපවුල්වල කුමරියන්ට පමණක් නොව රූමත් බවින් ඉහළින් කැපී පෙනෙන තරුණියන්ට ද කදිම ආදර්ශයක් සපයා තිබේ.

මාකෝ කුමරිය සාමාන්‍ය රජ කුමරියක නොව ඉතා බුද්ධිමත් ඉහළ අධ්‍යාපනයක් ලැබූ කුමරියකි. ඇය ජපාන රජ පවුලේ විශ්ව විද්‍යාලයීය අධ්‍යාපනය ලැබූ පළමු කුමරිය ද වන්නීය. එවැනි පසුබිමක් ඇති රජ කුමරියක සාමාන්‍ය පවුලක තරුණයකු සමග පෙමින් බැඳීම ලොව පුරා ඇතැම් රටවල රාජකීය පවුල්වල රජ කුමරියන්ගේ නළල් තල රැලි ගැන්වූ කාරණාවකි. ඇරත් මේ සාමාන්‍ය තරුණයාගේ අත ගැනීම වෙනුවෙන් රාජකීයත්වයට පයින් ගැසීමට මාකෝ කුමරිය ගත් තීරණය ඇතැමුන්ට නම් විශ්මයජනකය.

එහෙත් සැබෑ ප්‍රේමයේ අරුත ලොවට කියා පාමින් මාකෝ කුමරිය සිය හිත ගත් තරුණයා සමග ජීවත් වීමට තීරණය කළේ ඒ සියල්ල පරිත්‍යාග කරමිනි. ආදරය ගැන ලියැවුණු කවි, කතා කියවමින් තම ප්‍රේමය තව තවත් අලුත් කරගනිමින් සිටින මාකෝ කුමරිය රජ මාලිගාවේ සියලු යස ඉසුරින් පිරුණු ජීවන රටාව අමතක කර සාමාන්‍යය ගැහැනියක මෙන් ජීවත්වීමට දැන් පුහුණුවෙමින් සිටින්නීය.

ඒ සියල්ලටම වඩා සුවඳ හමන ප්‍රේමයෙන් සිය ජීවිතය එකළු කළ මේ අපූරු තරුණයා ගැන ඇගේ සිතෙහි ඇත්තේ ගෞරවාන්විත සෙනෙහසකි. එය රජ සම්පත්වලට වඩා සියදහස් ගුණයකින් ජීවිතය සැපවත් කරන බව ඇය දැන සිටින්නීය. දැන් ඇය බලා සිටින්නේ වසර 2020 වස්සානය උදාවනතුරුය.

 

 

නව අදහස දක්වන්න